Print this Article


බොදු පුවත් (ඡායාරූප)
 

අපවත් වී වදාළ ප්‍රංශයේ ජේතවනාරාමාධිපතිව වැඩ විසූ ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝ නායක මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමියන් අපවත් වී මාසයක් සපිරීම නිමිත්තෙන් අනුරාධපුර දිස්ත්‍රික්කයේ උපතිස්සගම සියඹලාගස්වැව හා විලච්චිය නම්බිවැව ප්‍රදේශයේ අසරණ පවුල් තුනකට නිවාස ඉදිකරදීම සඳහා පසුගියදා මුල්ගල තබන ලදී. මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමිගේ ශිෂ්‍යයන් වූ මුලනේ ගුණානන්ද හා හකුරුවෙල චන්දාලෝක යන හිමිවරුන්ගේ මූලිකත්වයෙන් මෙම නිවාසවලට මුල්ගල තබන ලද අතර, මුල්ගල් තැබීමෙන් පසු එම ගම්වාසීන් සමඟ උන්වහන්සේ සේයාරුවකට මුහුණ දුන් අයුරු.

මොනරාගල බුදුමඟ බෝසත් සංවිධානය මඟින් දොඹගහවෙල නීලගිරි පුරාණ රාජමහා විහාරයේ චෛත්‍ය රාජයාණන් වහන්සේගේ තීන්ත ආලේපකර චෛත්‍යය වටා බුද්ධ ප්‍රතිමා වහන්සේ තැන්පත් කිරීම පසුගියදා සිදුකෙරිණි. විහාරාධිපති වෙහෙරගල ජිනරතන හිමියන්ගේ අනුශාසනා පරිදි පැවති මෙම පින්කමේ දී දායක දායිකාවන් විසින් බුදුපිළිම වහන්සේලා පෙරහරකින් වැඩමකළ අයුරු ඡායාරූපයෙන් දැක්වේ.
ඩී.එස් ගුණතිලක ඌව වෙල්ලස්ස විශේෂ

සියම් මහා නිකායේ මල්වතු පාර්ශවයේ, රෝහණ සංඝ සභාවේ මූලස්ථානය වන ,තිහගොඩ ඌරාපොල සිරිරතනජෝති පිරිවෙන් විහාරස්ථානයේ දී කුල දරුවන් තිදෙනකු පසුගියදා පැවිදි දිවියට ඇතුළත් කරගනු ලැබුණි. රතනජෝති පිරිවෙන් විහාරාධිපති, ශාස්ත්‍රපති ගෝණදෙනියේ තපස්සී හිමියන්ගේ ආචාර්‍ය උපාධ්‍යායත්වයෙන් මෙම ප්‍රවෘජා පුණ්‍යොත්සවය පැවැත්විණි.
එච්.ඩිලාන් පුෂ්ප කුමාර,නෙලුම්වැවේ අමිතසිරි හිමි නමින් ද,ආර්.ජී.විහඟ සත්සර,අගුණකොළපැලැස්සේ විජිත හිමි නමින් ද,ඩබ්ලිව්.ජනිත් ප්‍රදීප්කුමාර, කටුවන රාහුල හිමි නමින් ද සසුන් ගත වූහ. ආචාර්‍ය හිමියන් ඇතුලු මහා සංඝරත්නය විසින් එම සාමණේර හිමිවරු “සාමණේර ශීලයෙහි, පිහිට වූ අවස්ථාව ඡායාරූපයේ දිස්වේ.
පියසේන මද්දුමගේ ගොමිල මාවරල