Print this Article


සතිමත් බව මගේ ජීවිතයට සතුට උදා කළා - ජනාධිපති නීතිඥ ප්‍රසාන්ත ලාල් ද අල්විස්

සතිමත් බව මගේ ජීවිතයට සතුට උදා කළා - ජනාධිපති නීතිඥ ප්‍රසාන්ත ලාල් ද අල්විස්

මෙම ලිපියේ මුල් කොටස උඳුවප් පුර පසළොස්වක පෝදා (18) පත්‍රයේ පළ විය.

එක් දිනයක දී මගේ හිතවත් නීතිඥයකුගේ නිවසේ පැවති ධර්ම දේශනා පින්කමකට සහභාගී වෙන්න ලැබෙනවා. එදා වැඩි පිරිසක් හිටියේ නීතිඥයෝ. ධර්ම දේශනය සඳහා වැඩම කළේ දෙහිවල සුනන්ද හිමියන්. උන්වහන්සේ ගිහි කාලයේ නීතිඥවරයෙක්.

වයස අවුරුදු 30 යි. කොළඹ විශ්ව විද්‍යාලයේ කථිකාචාර්යවරයෙක්. ඔහුගේ සහෝදරයා හදිසි අනතුරකින් මිය යනවා. එදා ඔහු මේ සියල්ල අතහැර දාලා පැවිදි වෙනවා. උන්වහන්සේ සරල බණක් දේශනා කරනවා. “ඕනෑම දෙයක් භුක්ති විඳීන්න. අයිති කරගන්න එපා”. කියලා දේශනා කරනවා.

මේ වාක්‍ය මගේ හිතට තදින්ම කා වැදෙනවා. එදා සිට මම නිතරම සතියෙන් ඉන්නේ. කිසියම් දෙයක් භුක්ති විඳීනවා. හැබැයි අයිති කර ගන්නේ නැහැ. අපි තවම රහත් වෙලා නැහැ. සතුටින් පවුල් ජීවිතය ගත කරනවා. හරිම නිදහස්. හරිම සතුටුයි. ගිහියෙක් හැටියට මේ මොහොතේ හොඳටම ජිවත් වෙනවා.

මේ මොහොතේ ජිවත් වෙන පුද්ගලයා තරුණයි. කොණ්ඩේ යන්න පුළුවන්. වියපත් වෙන්න පුළුවන්. වයස කියන්නේ ඉලක්කමක් විතරයි. නමුත් ඔහු කවදාවත් වයසට යන්නේ නැහැ. මොන ප්‍රශ්න ආවත් සිහියෙන් ඉන්නේ.

මේ සතිමත් බව කියන සංකල්පය අද ලෝකයේ බොහෝ රටවල භාවිත කරනවා. අද ලෝකය භෞතික අතින් ලබා ඇති දියුණුවේ තරමටම මානසික දියුණුව සැහැල්ලුව ලැබුණා ද කියන එක ගැටලුවක්.

අමෙරිකාව, එංගලන්තය වැනි රටවල පසුගිය දශක හතරක පමණ කාලයක් පර්යේෂණ පැවැත්වීමේ ප්‍රතිඵලයක් හැටියට මනෝ චිකිත්සක ක්‍රමයක් ලෙස මෙය ලෝකය පුරා ප්‍රචළිත වෙලා තියෙනවා. මතක ශක්තිය වැඩිවීම, ආවේග පාලනය කර ගන්නට හැකිවීම, වේදනා කැක්කුම්වලට සහනය, බෝ නොවන රෝග නිවාරණයට , හොඳ පෞරුෂයක් ලබා ගැනීමට හැකි බව සොයාගෙන තිබෙනවා.

මේ සතිමත් බව අපේ පාසලේ දරුවන් අතරට ගෙනයාමේ අභිලාෂයෙන් සති පාසල ආරම්භ කළා. උඩඊරියගම ධම්මජිව හාමුදුරුවෝ එහි නිර්මාතෘ.

මේ වන විට පාසල් 454 සතිය උගන්නනවා. මේ සම්බන්ධ ව අධ්‍යාපන අමාත්‍යාංශය මඟින් චක්‍රලේඛයක් නිකුත් කර තිබෙනවා. එහි ප්‍රතිපත්ති, උපක්‍රම, සහ නීතිය පිළිබඳ ගෞරවණීය උපදේශක මමයි. මෙය සියලු ජාති, ආගම්වලට පොදුයි. මේ තුළින් අප බලාපොරොත්තු වෙන්නේ සතිමත් ජාතියක්, සතිමත් ලෝකයක්.

වගකිවයුතු නිලයක් දරද්දී අපට ඒ වෙනුවෙන් කැපකිරීම් කරන්න වෙනවා. නමුත් බිරිඳ හා දරුවන් සමඟ ගත කරන ජීවිතයට එය බාධාවක් කර නොගත යුතුයි.

විවේකයක් ලැබුණු අවස්ථාවක දී මම පොත් කියවන්න, සංගීතයට සවන් දෙන්න කැමතියි. ඒ වගේම හැකි සෑම අවස්ථාවක ම පින්කම්වලට සහභාගී වෙනවා. අපි කොළඹ හුණුපිටිය ගංගාරාමයේ දායකයෝ.

මේ වන විට කඨින පින්කම් හතරක් සිදු කර තියෙනවා. ඒ හැම පින්කමක්ම සිදුකළේ බුදුරදුන් කෙරෙහි මහා ශ්‍රද්ධාවෙන් හා ප්‍රඥාවෙන්. 2005 වසරේ දී හා 2012 වසරේ දී ගංගාරාමයේ කඨින පින්කම සිදුකළා.

2015 දී අරන්කැලේ කඨින පින්කමත් ගිය වසරේ දී අස්ගිරි මහා විහාරයේ කඨින පින්කමත් සිදුකළා. ගලබොඩ ඥානිස්සර හිමියන්ගේ ජීවිත කතාව “ගංගාරාමයේ පොඩි හාමුදුරුවෝ “ නමින් 2014 දී කෘතියක් ලෙස රචනා කළා.

බුද්ධ ශාසනයේ අයිතිය වෙනුවෙන් සහ භික්ෂුන් වහන්සේලාට සැබෑවටම අසාධාරණයක් වූ සෑම අවස්ථාවක දී ම මම නීතිය පැත්තෙන් පෙනී සිටිනවා. 2004 වසරේ දී යම්කිසි ආයතනයක් විසින් බිකිනි ඇඳුම්වලට බුදු පිළිම මුද්‍රණය කරලා තිබුණා. බුද්ධ පිළිමය ඉටිපන්දමක් ආකාරයට සාදා තිබුණා. “බුද්ධ බා “ නමින් සංගීත තැටි නිෂ්පාදනය කරලා වෙළඳ පළට නිකුත් කරලා තිබුණා. මම ඒවා ශ්‍රේෂ්ඨාධිකරණයට ඉදිරිපත් කළා. ඒ අනුව බුදු රුවට නිගරුවන ආකාරයේ කිසිදු දෙයක් නොකළ යුතුයි කියලා චක්‍රලේඛයක් සියලුම පොලිස් ස්ථානවලට නිකුත් කළා. රේගු නිලධාරින් දැනුවත් කළා. සියලුම ආගම් කර්තෘවරුන්ට මෙය සාධාරණීකරණය කළා. මේ නඩුවේ පෙත්සම්කරු වුයේ දරණාගම කුසලධම්ම නාහිමියෝ. එවකට විදේශ කටයුතු ඇමතිව සිටි ලක්ෂ්මන් කදිරගාමර් මහතා කරන ලද ඉල්ලීමකට අනුව යුනෙස්කෝ සංවිධානය විසින් කිසිම ආගම් කර්තෘවරයකුට නිගරු නොකළ යුතු බව සම්මත කර ගත්තා. තවත් විශේෂ පින්කමකට දායකත්වය ලබා දීමට අවස්ථාව ලැබුණා. ඒ තමයි බුද්ධගයාවේ ශ්‍රී මහා බෝධිය රැක ගැනීමට වක්‍රාකාරව දායක වීමට ලැබීම. ඒ පිළිබඳ නිශ්ශබ්ද ආඩම්බරයක් තියෙනවා.

මේ කටයුතුවලට අමතරව නාගානන්ද බෞද්ධ විශ්ව විද්‍යාලයේ බෞද්ධ නීති දර්ශන දෙපාර්තමේන්තු ප්‍රධානී සහ බෞද්ධ හා පාලි විශ්ව විද්‍යාලයේ පාලක සභික ලෙස ද කටයුතු කරනවා.

“සන්තුෂ්ටි පරමං ධනං “ බුදුරජාණන් වහන්සේගේ දේශනාවට අනුව සතුට කියන්නේ අවබෝධය මත තෘප්තියට පත්වීමයි. සැබෑ සතුට තියෙන්නේ එතැනයි. මේ මොහොතේ ජිවත් වන මම නිතරම ජීවිතය දෙස බලන්නේ අවබෝධයෙන්. සතිමත් බව මගේ ජිවිතයට සතුට උදා කළා. ඒ නිසා කවදා හෝ දිනයක මේ ලොව හැර යන දවසක ඒ ගමනත් සතුටින් යා හැකි බව මගේ විශ්වාසයයි.