Print this Article


හිඟේ නැතිව දෙවියෝ මුර කරනව ද - මගේ ඇත් රජුනි හිමි අද කොතැනක ද

හිඟේ නැතිව දෙවියෝ මුර කරනව ද - මගේ ඇත් රජුනි හිමි අද කොතැනක ද

" ජීවිතාවබෝධයක් නොමැතිව ජීවිතය ගෙවන තරුණ කාන්තා පරපුරට තමාගේ ජීවිතය අර්ථවත් කර ගැනීමට යශෝධරාවත කාව්‍ය බෙහෙවින් මහෝපකාරී වනු ඇත. "

සිදුහත් කුමරු අලුත උපන් සිඟිති රාහුල පුතු හා යශෝධරා දේවියගෙන් වෙන්ව ගිහි ගෙය හැර දමා යෑම ලෟකිකත්වයෙන් නික්මී ලෝකෝත්තර තත්ත්වයට පත්වීමේ මූලික අරමුණෙහි පළමු පියවර ලෙස විග්‍රහ කර ගත හැකි ය.

සාමාන්‍ය මනුෂ්‍යයකුට කළ නොහැකි වූ එම අසහාය කැපකිරීම පරම පූජනීය වූ උත්තරීතර මනුෂ්‍යත්වයක ශ්‍රේෂ්ඨතම අවස්ථාවකි. එම අසහාය කැපකිරීම තුන් ලොවක් සනහාලීම පිණිස ම ය. ලොව්තුරු සුවය තමන් පමණක් විඳීමේ අදහසින් නොව, ලොව සියල්ලන්ගේ යහපත උදෙසා ම ය.

සාරා සංඛ්‍ය කල්ප ලක්ෂයක් පාරමී පුරණය කරමින් තමන් වහන්සේ විසින් අවබෝධ කොටගත් ලොව්තුරු සුවය යශෝධරාවන්ට ද ලබා දීමට පැමිණෙන බවට කවියා ප්‍රකාශ කරන්නේ ය. ශෝධරාවන් කෙරෙහි කුමරු තුළ පැවැති මහත් වූ ළෙන්ගතුකමිනි. එහෙත් යශෝධරා දේවිය තුළ ද සිදුහත් කුමරු පිළිබඳව ඇත්තේ අප්‍රමාණ දයාවකි. සංසාරගත බැඳීමකි. එහෙත් කුමරු හා සිඟිති පුතු තනිකර දමා යෑම පිළිබඳ ව මොහොතකටවත් අහිතක් නොසිතන යශෝධරාවෝ සෑම මොහොතකම සිදුහත් කුමරුගේ සැපත ප්‍රාර්ථනා කරයි.

හිමයේ ගොසින් මල් යහනක සිටිනව ද
කොමළ අනගි සිරිපා දෙක රිදෙනව ද
හිඟේ නැතිව දෙවියෝ මුර කරනව ද
මගේ ඇත් රජුනි හිමි අද කොතැනක ද

ප්‍රසාද තුනක් තුළ අතිශය සුඛෝපභෝගී සුකුමාල කුමාර ජීවිතයක් ගත කළ සිදුහත් කුමරු වනයට ගොසින් මල් යහනක සැතපෙනවා ඇතැයි ඇය සිතයි. පයින් ඇවිදගෙන ගොසින් කොමළ සිරිපා දෙක රිදෙනව ද? අසමින් ඇය දුක්වෙයි. කෙසේ හෝ අඩුපාඩුවක් නොමැතිව දෙවියෝ මුර කරනවා ඇතැයි සිතන යශෝධරාවන් කුමරුන් කොතැනක සිටිනවාදැයි සිතමින් අපමණ දුකට පත්වෙයි.යශෝධරා දේවිය තමාගේ සෙනෙහෙබර ස්වාමියාට කෙතරම් ආදරයක් , සෙනෙහසක් ප්‍රකාශ කරනවා ද? අනේ මගේ හිමියනි, මා අතහැර ගියත් ඔබට කිසිම කරදරයක් නොවේවා. ඔබට කරදරයක් නම් වෙන්න එපා ඇයගේ එකම ප්‍රාර්ථනය යි. පියා ගෙදරින් නික්ම ගොස් ඇති අවස්ථාවල පැරැණි අම්මාවරු සොයා බලන පුරුද්දක් එදා සමාජයේ පැවතුණ ද, වර්තමානය තුළ එම ස්වභාවය වෙනස්වෙමින් පවතී. එම තත්ත්වය නැවත ගොඩනඟා ගන්නේ නම්, පවුලක සොඳුරු බව ආරක්ෂා කරගත හැකි ය. යශෝධරාවත නමැති උපදේශාත්මක රසකෘති පරිශීලනය කරනවා නම්, රස විඳිනවා නම්, වර්තමාන කාන්තා පරපුර නොමඟ යන්නේ නැත. ඒ අනුව යශෝධරාවත කාව්‍ය සමාජයට විශාල පණිවිඩයක් ලබා දීමට සමත් වෙයි. පැරැණි අම්මාවරුන් වැඩිහිටි දරුවන් ලවා මෙවැනි කවි ගායනා කළ අතර අතීතයේ දී මළ ගෙවල් තුළ ද? මෙම කවි ගායනා කළහ.ස්වාමියා සමඟ රණ්ඩු නොකර අප්‍රමාණ සහයෝගයෙන් සාමයෙන්, පතිභක්තියෙන් කටයුතු කළ යුතු ආකාරය යශෝධරාවත කවියා පාඨක මනසේ මෙසේ සිතුවම් කර ඇත.

තෙමා වැටේ මගෙ සළුපිළි නෙත් පුරවා
අමා රසක් වැනි හිමි සඳ සිහි වෙනවා
දමා කුමරු වැඩියා මට සිහි වෙනවා
මෙමා ඇර ලියෝ ලෙව් තුළ ඇද්ද තවා

තම සෙනෙහෙබර ස්වාමි පුරුෂයාත් දරුවාත් සමඟ බිරිඳක් කෙසේ වෙහෙසිය යුතු ද? යන ආකාරය වර්තමාන කාන්තාව අවබෝධ කරගත යුතු ය.

ආහාරපාන, ඇඳුම්, පැළඳුම් පිළියෙළ කර දෙමින් ස්වාමි දියණිය භාර්යාවක් වශයෙන් නිවසක් තුළ කෙතරම් වෙහෙස වෙනවා ද? කෙතරම් ආදරණීය බැඳීමක් තිබෙනවා ද? ආදරයෙන් සෙනෙහසින් ස්වාමියා සමඟ සමඟි සම්පන්නව සිටිනවා නම්, කුමන අඬදබර ද?

වංක, සට කපටිකම් නැති බිරියක් ලෙස ජීවත්විය යුතු ආකාරය මේ කවියෙන් විග්‍රහ වේ.

රහසක් මගේ කවදාවත් නැත මෙතුරා
වෙහෙසක් වෙන්ට ඇරියේ නැත යශෝධරා
යහපත් මම අඬමි නිම නැතිව නුඹ කරා
දහසක් ගුණැති මම ව ද සොඳ යශෝධරා

සිදුහත් කුමරා ගිහිගෙය අතහැර දමා ගිය දවසේ සිට යශෝධරා දේවිය ද හරිහැටි කුසට අහරක් නැතිව, විසිතුරු ආභරණ සළුපිළි පැළඳීමෙන් තොරව, සුවඳ විළවුන් නොගල්වා ස්වාමියා නැති දුක දරාගෙන භාවනාවෙන් කාලය ගත කළ ආකාරය සඳහන් වේ. සැමියකුගේ දුකේ දී කම්පාවීම එකට සිටීම කෙතරම් අගය කළ යුතු ද?

දුකක් වන කලට අතමිට හිඟ වෙමින
සෙතක් වන් කලට වැඩියෙන් දයාවෙන
ඇදක් නොව කතුනි සැලකුවෝතින
කිමෙක් මොක් දකිනු බැරි යශෝධරා මෙන

කාන්තාවකගේ මාතෘත්වය, සෙනෙහබර බිරියකගේ වගකීම් අමතක නොකොට ක්‍රියා කිරීමේ අගය පැහැදිලි කර ගත හැකි ය. අර්ථ ශූන්‍ය වූ සමාජ සිරිත් විරිත් අනුකරණය කරමින් නිවැරැදි මාර්ගෝපදේශකත්වයක් නොමැතිකමින් ජීවිතාවබෝධයක් නොමැතිව ජීවිතය ගෙවන තරුණ කාන්තා පරපුරට තමාගේ ජීවිතය අර්ථවත් කර ගැනීමට ය. ශෝධරාවත කාව්‍ය බෙහෙවින් මහෝපකාරී වනු ඇත.

රැක පතිදම් යශෝධරා බිසවුන් ලෙසට
දුක සැප දෙකෙහි වෙනසක් නොව එක ලෙසට
එක හිමි පතා සිටියොත් ලඳුනි බැති කොට
සැක නැත සග පවග මතුවර ලැබෙනවට

මෙම කවිය වර්තමාන කාන්තා පරපුරට සුවිශේෂී ආදර්ශ පාඨයක් ලබා දෙයි. එනම් නිමක් නොපෙනෙන සසර කතරෙහි ස්වාමි දියණිය ලෙසින් පැමිණි යශෝධරාවන් තුළ තිබූ විස්මය දනවන අප්‍රමාණ වූ පතිභක්තියයි. අධිෂ්ඨානශීලී බුද්ධිමත් කාන්තාවකට පිරිසුදු චරිතයකින් යුක්තව, සීලය ආරක්ෂා කර ගැනීමටත්, සෙනෙහෙබර දරුවන් ආදරයෙන් හදාවඩා යහපත් පුරවැසියන් බවට පත් කිරීමටත්, දයාබර ස්වාමි පුරුෂයා කෙරෙහි අපමණ ලැදියාවකින් , පතිභක්තියකින් ක්‍රියා කිරීමටත්, යශෝධරාවන්ගේ චරිතාදර්ශය සමස්ත කාන්තා පරපුරට ම විශිෂ්ට ආදර්ශයක් එක් කරයි.