Print this Article


නුඹගේ අවලස්සන පෙනුම මටත් දැන් ප්‍රශ්නයක් වෙලා

භීමසේන ජාතක කතාව ඇසුරිනි:

නුඹගේ අවලස්සන පෙනුම මටත් දැන් ප්‍රශ්නයක් වෙලා

භීමසේන සිය අතවැසියාට රාජ නියෝගය පිළිබඳ ව කීවේ ය.

“ව්‍යාඝ්‍ර මළ සිරුර නගරයට ගෙනෙන බව මා කීවා. දැන් ඉතින් ඒ ගමට යන්නට සැරසෙන්න.”

භීමසේන ගේ මුහුණ අඳුරු වී ඇති සැටි චුල්ල ධනුග්ගහට පෙනිණි. ඔහු බිය පත් වෙලා.

“ව්‍යාඝ්‍රයා අල්ලන්නට මා එන්නට ඕනෑ නැහැ. එය නුඹට පිළිවන්.”

“බෑ.මට බෑ. මා විදින්න දන්නෙ නැහැ.”

“විදින්න ඕනෑ නැහැ. මම නුඹට උපායක් කියන්නම්. ඒ ගමේ මිනිස්සු රජතුමාට ඌ මරා දැමීම පැවරුවත් ඒ අයත් ඊට උත්සාහ ගන්නවා. ඌ ගමට පැමිණ වනයට ගිය පසු නුඹ වනයට පිවිසෙන තැන වැතිර සිටින්න. බය වෙන්න එපා. ව්‍යාඝ්‍රයා ඒවි. මිනිස්සු නුඹ ඉව කරන ව්‍යාඝ්‍රයාට පහර දේවි. ඌ මළ පසු නුඹ මිනිසුන්ට තර්ජනය කළ යුතුයි. මා මේ ව්‍යාඝ්‍රයා බැඳීමට රැහැනක් ගෙන එන්නට වනයට ගිය ඇසිල්ලේ නුඹලා මූ මරා දමලා. මේක වැරැදි වැඩක්. නුඹලාට රාජ දඬුවම් ලැබේවි. මූ ගෙන යාම පවරා තිබුණේ මට. මෙසේ කියා මළ ව්‍යාඝ්‍රයා ඇද ගෙන එන්න නුඹට පුළුවන් වේවි.”

‘මට බයයි, මා සමඟ එන්න”

“බය වෙන්න එපා. යන්න”

භීමසේන ඒ ගමට ගියේ ය. එදා ද ව්‍යාඝ්‍රයා ගමට පැමිණ පලා ගොස් තිබිණ. ගම් වැසියෝ ව්‍යාඝ්‍රයා මරා දැමීමට වන මායිමට දිවූ හ.

භීමසේන වනයේ මඳක් ඇතුළට ගොස් බිම වැතිර සිටියේ ය.

ව්‍යාඝ්‍රයා මිනිස් ඉවට දිව ආවේ ය. වන දොර සිටි මිනිස්සු පොලු මුගුරු සහ ගල්වලින් පහර දී ව්‍යාඝ්‍රයා බිම දැමුවේ ය. හිසට වැදුණු ගල් පහරක් නිසා ඌ මිය ගියේ ය.

“අපේ සතුරා ඉවරයි.” කියමින් මිනිස්සු සොම්නසින් නැටූ හ.

භීමසේන නැගිට්ටේ ය. මිනිසුන් අසලට ගියේ ය.

“කවුද මේ ව්‍යාඝ්‍රයා මරා දැම්මේ? මා පැමිණියේ රාජ නියෝගයෙන් මේ රැහැනකුත් අරගෙන ගොනෙක් වගේ මූ බැඳගෙන යන්න ”

ගැමියා ගේ ප්‍රශ්නයට භීමසේන පිළිතුරු දුන්නේ අඩි බිම හප්පමිනි.

“භීමසේන කියන්නේ මම. මහා දරුණු කොටි, වලසුන් , ව්‍යාඝ්‍රයන් රාජකීය සත්ත්ව උද්‍යානයට මා ගෙන ගොස් තිබෙනවා. නුඹලා මේ ව්‍යාඝ්‍රයා මරා දැමීමෙන් රජුට විශාල පාඩුවක් කළා.”

ගැමියෝ තැති ගත් හ.

“ස්වාමීනි, අප නො දැන කළ වරදට සමා වන්න. ආත්මාරක්ෂාව සඳහා මේ සතා මැරුවේ ඔබතුමා බව කියන්න. අප නිදහස් කර දෙන්න”. ඔවුහු කී හ.

“හොඳයි. මා නුඹලා වෙනුවෙන් ඉදිරිපත් වෙන්නම්. මේ මළ සිරුර නගරයට ගෙන ගොස් දෙන්නට නුඹලාට පුළුවන් ද?”

ව්‍යාඝ්‍රයා රැහැන්වලින් බැඳ ඔසවා ගත් ගැමියෝ නගරයේ මහ වීදිය දක්වා පැමිණිය හ.

එතැන් සිට එය ගෙන යාමට රාජ පුරුෂයන් ගේ ආධාරය භීමසේන ට ලැබිණ.

ව්‍යාඝ්‍ර මළ සිරුර දුටු රජතුමා මහත් සොම්නසට පැමිණ භීමසේනට රන් කහවනු දහසක් තිළිණ කළේ ය. රාජකීය භෝජන සංග්‍රහයකින් ද පිදුයේ ය.

තවත් දෙමසකට පසු වෙනත් ප්‍රදේශයක ගම් වැසියන් පෙළන කුළු මීමකු පිළිබඳව රජුට අසන්නට ලැබිණ.

“භීමසේන, මෙන්න ඔබට සපන්කම් පෙන්වීමට තවත් අවස්ථාවක්” රජු කීවේ ය.

“ඔබතුමා කැමති නම් උගේ මළ කඳත් මේ නගරයට ගේන්නම්.” භීමසේන මහත් අහංකාරයෙන් කීවේ ය.

එහෙත් ඔහුට ධනුග්ගහ ගේ උපදෙස් අවශ්‍ය විය.

“බය වෙන්න එපා. අර ව්‍යාඝ්‍රයා මරා දැමූ විදියට කුළු මීමාත් මරා දාන්ට නුඹට පුළුවන්. ඒ උපක්‍රමය ම පාවිච්චි කරන්න.” ධනුග්ගහ කීවේ ය.

භීමසේන ඒ උපක්‍රමය ම භාවිත කොට කුළුමීමා ගේ මළ සිරුරද නගරයට ගෙනැවිත් රජු ගෙන් තිළිණ ලැබී ය.

භීමසේන ගේ ඇඟිලිවල මුදු ද ගලෙහි රන් දම් ද දිලින. බඳ පටිය ද මිරි වැඩි සඟල ද රනින් නිමැවිණ. මුවින් ගිළිහුණේ ඇමති බස ය. චුල්ල ධනුග්ගහ ගැන ලජ්ජාවක් ඇති විය.

“මා සමඟ ඇවිදින්න එන්න එපා. නුඹ ගේ අශෝභන පෙනුම නිසා මටත් දැන් ප්‍රශ්න ඇති වෙලා. මාලතී සිටු දුව මා සමඟ මිතුරු බව නුඹ දන්නවානේ. නුඹ සමඟ යන විට ඈ ඉවත බලා ගන්නවා. නුඹ පෙර ජාතියක මහා පාපයක් කළ කෙනෙක්.”

දිනක් භීමසේන චුල්ල ධනුග්ගහට කීවේ ය.

“මා ඉතින් උපන් ගෙයි අඟුටු මිට්ටෙක්. කුදෙක්. පෙර පව් කළ කෙනෙක්. මා ඔබ සමඟ එකට ගමන් යාමෙන් වළකින්නම්.” චුල්ල ධනුග්ගහ පිළිතුරු දුන්නේ ශෝකයෙනි.

ආයුධ සන්නද්ධ මහා සේනාවක් සමඟ පැමිණි වෙනත් රටක රජ කෙනෙක් ඒ නුවර වටලා ගෙන

“යටත් වී රට දෙනු. නැත්නම් යුද්ධ කරනු”යි

මහිංස රජුට හස්නක් එවී ය.

රජුට භීමසේන සිහිවිය.

“සටන් කොට අප රැක ගනු”යි ඔහු භීමසේනට කීවේ ය.

“මම ඔබතුමා සහ රට රැක ගනිමි”යි කියමින් භීමසේන වහා චුල්ල ධනුග්ගහ අසලට දිව ගියේ ය.

මහා යුධ හමුදාවකට මා මුහුණ දෙන්නේ කෙසේ ද? අර ව්‍යාඝ්‍රයා සහ කුළු මීමා මැරීම සඳහා යෙදූ උපක්‍රම මේ සඳහා ගැළපෙන්නේ නැහැ. පසුගිය දිනවල මා චුල්ල ධනුග්ගහට අපහාස කළා. ඒත් මට දැන් එතුමා ගේ උදව්ව වුවමනා වෙලා. සිතමින් භීමසේන සිය සගයා ගේ උපදෙස් පැතී ය.

“බිය වෙන්න එපා. වහා ම ඇතකු සූදානම් කරවන්න. අපි දෙදෙනා ආයුධ සන්නද්ධ ව ඇතු පිට නැඟ සටනට යමු.”

රජු ගේ මඟුල් ඇතා ඔවුනට ලැබිණ. භීමසේන ඇතු මත හිඳ ගත්තේ ය. චුල්ල ධනුග්ගහ ඔහු ගේ පිටුපසින් හිඳ ගත්තේ ය.

“නුඹ ඉදිරියෙන් වාඩි වෙන්න”භීමසේන කී ය.

“ඒක හරි නැහැ. ම ම කැත මිනිහා නේ. වැඩේ කරන හැටි මා කියන්නම්.”

ඇතු රණ බිම දෙසට ගමන් කරන්නට විය. සතුරු යුධ බෙර හඬ ඇසෙන විට භීමසේන වෙවුලන්නට විය.

“මා බිමට වැටෙන්නට යනවා.” භීමසේන කී ය.

“මා හෙළා දකිමින් නුඹ පුරුෂ වික්‍රමයෙන් යුතු කෙනකු ලෙස මැත දෙඩෙව් හැටි අමතක ද? නුඹ බිමට වැටෙන්නට දෙන්න බැහැ.”චුල්ල ධනුග්ගහ ලණුවක් ගෙන භීමසේන ඇතු පිට තබා බැන්දේ ය. අසිපත් දුනු ඊතල සහිත මහා යුධ සේනාවට ළංවන විට භීමසේනගෙන් මළ මුත්‍ර නිකුත් වන්නට විය.

“මොකද මහා පුරුෂයා ඇතුගේ සිරුර කැත කරන්නේ? බසිනවා බිමට, අඟුටු මිට්ටා, කුදා , කැත මිනිහා සටන් කරන හැටි දැන් බලා ගන්නවා.” චුල්ල ධනුග්ගහ කෑ ගැසී ය.

භීමසේන වහා ඇතුපිටින් ඇද වැටුණේ ය.

චුල්ල ධනුග්ගහ සිංහ නාදයක් නැඟුªවේ ය. දුන්න අතට ගත්තේ ය. එක තැන රැඳෙමින් දුන්නෙන් මහ පෙළහර පෑවේ ය. සතුරු සේනා බිය පත් ව පලා ගිය හ.

මහිංස රජතුමාට සිදුවූ සියල්ල අසන්නට ලැබිණ. පලා ගිය භීමසේන සොයා ගත නො හැකි විය. රජු චුල්ල ධනුග්ගහ මහත් සතුටින් පිළිගෙන ඔහුට බොහෝ සම්පත් දුන්නේ ය.