Print this Article


සසුන් කෙත ආලෝකවත් කළ කිතලගම පඤ්ඤාසභ නාහිමියෝ

සසුන් කෙත ආලෝකවත් කළ කිතලගම පඤ්ඤාසභ නාහිමියෝ

අපවත් වී වදාළ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක ශ්‍රී ධර්මරක්ෂිත වංශාලංකාර ශ්‍රී ප්‍රඥානන්ද වංශපාල, මාතර කිතලගම පඤ්ඤාසභ නායක මාහිමිපාණන් වහන්සේගේ 103 වැනි ජන්ම දිනය නිමිත්තෙනි.

ගංගොඩවිල, පඤ්ඤෝදයාරාමය, මහරගම පඤ්ඤාතිලකාරාමය යන උභය විහාරාධිපති මහරගම ශ්‍රී ප්‍රඥානන්ද මහ පිරිවෙන් අධ්‍යක්ෂ ව වැඩ විසූ බස්නාහිර පළාතේ ප්‍රධාන සංඝ නායක මාතර, කිතලගම පඤ්ඤාසභ නාහිමියෝ මෑත අතීතයේ සංඝ සමාජයේ උන්නතියට, පෝෂණයට , වර්ධනයට මහඟු මෙහෙවරක් කළ යතිවරයාණ කෙනෙකි.

දක්ෂිණ ශ්‍රී ලංකාවේ මාතර දිස්ත්‍රික්කයට අයත් කඹුරුපිටිය ආසනයෙහි, තිහගොඩ ප්‍රාදේශීය සභාවට අයත් ‘කිතලගම අප නාහිමියන්ගේ උපන් ගම විය. කුඩා කල සිට ම බොදු ගති සිරිත් අගයමින් ආගමට දහමට අනුව තම ජීවිතය සරල පැවැත්මකින් ගෙවන්නට අප නාහිමියෝ කටයුතු කළහ. නාහිමියන් කුඩා කාලයේ දී ම මෑණියන් මිය ගියත්, මේ කුඩා දරුවා පින්කම් කටයුතුවල නියැළුණේ තම මෑණියන්ට මතු භවයක දී හෝ දීර්ඝායුෂ ලැබේවා' යි යන ප්‍රාර්ථනය පෙරදැරි කර ගෙන ය.

තත්කාලීන සමාජයේ තම ගම් පියසෙහි කාගේත් ගෞරවයට පාත්‍ර වූ හිමිනමක් වූ ආරණ්‍යයේ හාමුදුරුවෝ’ නමින් ප්‍රකට වූ උඩුපීලේගොඩ පඤ්ඤාලංකාර ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ මඟ පෙන්වීම යටතේ වේරදූව ක්ෂේත්‍රාරාමය ඇතුළු විහාරස්ථාන රාශියක ආධිපත්‍යය දැරූ කිතලගම පඤ්ඤානන්ද මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් ප්‍රව්‍රජ්‍යාවට පත් අප නාහිමියෝ එකල ප්‍රදේශයේ ප්‍රසිද්ධ විද්‍යායතනයක් වූ මාතර මහා මන්තින්ද මහ පිරිවෙනින් ප්‍රාථමික පිරිවෙන් අධ්‍යාපනය ලැබූහ.

ඉන් පසුව කොළඹ මාලිගාකන්දේ විද්‍යෝදය මහ පිරිවෙනට ඇතුළත් ව වර්ග පටිපාටියෙන් තම අධ්‍යාපනය අවසන් කළහ.

අප නාහිමියන් වහන්සේට සසුන් කටයුතු ඉතා මැනවින් කිරීමේ හැකියාව ලැබුණේ තමන් වහන්සේගේ සද්ධිවිහාරික යතිවරයන් වහන්සේ නමක් වූ වටගෙදර පඤ්ඤාවිමල හිමිපාණන් නිසා ය. උන් වහන්සේගේ මඟ පෙන්වීමෙන් විවිධ පළාත්වලින් කුල දරුවන් රැගෙන විත් සසුන් ගත කිරීම නිසා නොබෝ කලකින් මහරගම පඤ්ඤාතිලකාරාමය කුඩා සාමණේරයන් වහන්සේලාගෙන් පිරී යන්නට විය.

එහි ප්‍රතිඵලයක් වශයෙන් මෙම ස්ථානයේ පිරිවෙනක් ආරම්භ කිරීමේ තිර අදිටනින් අප නාහිමියෝ කටයුතු කළහ. එම අරමුණු සපුරාලමින් ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයීය ප්‍රථම උපකුලපති ධූරයෙන් පිදුම් ලැබූ ත්‍රිපිටක වාගීශ්වර වැලිවිටියේ ශ්‍රී සෝරත නා හිමියන් විසින් අත්පොත් තැබීමෙන් “ශ්‍රී ප්‍රඥානන්ද” යන තම ආචාර්යයන් වහන්සේගේ නමින් පිරිවෙනක් ආරම්භ කරන ලදී.

මෙම පිරිවෙන ප්‍රතිෂ්ඨාපනය කිරීමෙන් තම මෙහෙවර නිම නොකළ අප නාහිමියෝ ගංගොඩවිල පඤ්ඤෝදයාරාමයට වැඩම කළේ 1980 දී එම විහාරස්ථානයේ අධිපතිත්වය දැරූ හිත්තැටියේ පඤ්ඤාලෝක තම සහෝදරයන් වහන්සේගේ හදිසි අපවත් වීමෙන් පසුව ය. එම විහාරස්ථානයෙහි ද සියලු විහාරාංග සම්පූර්ණ කළ නාහිමියෝ විචිත්‍ර ධර්ම දේශනයෙන් ජනතාවට දහම් රසය ලබා දීමෙන් හා සැහැල්ලු පැවැත්මෙන් ආදර්ශවත් ජීවිතයක් ගත කළහ. එසේ ම නාහිමියෝ ශිෂ්‍යයන්ට අවවාද කරන බොහෝ අවස්ථාවල දී පෙන්වා දුන්නේ අංගුත්තර නිකායෙහි සුගත විනය සූත්‍රයේ දැක්වෙන ‘සාථලික’ යන වචනය යි. එනම්, ශාසනය ලිහිල් කොට නොගන්නා ලෙසයි. එනම් ශික්ෂාපද රක්ෂණය කිරීමටත්, සුපේශල ව ශීක්ෂාකාමී ව කටයුතු කරන ලෙසත් ය.

එසේම සිල්වත් බවින් තොර උගත්කමෙන් පලක් නැති බවත් ය. උන්වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේලා තම ආචාර්යයන් වහන්සේ පෙන්වූ මඟ යමින් ලංකාවේ නොයෙක් දිසාවන්හි විවිධ ශාසනික, ආගමික, ජාතික, කටයුතුවල යෙදී කටයුතු කරති.

ශාස්ත්‍රීය වශයෙන් විවිධ සඟරා, පුවත්පත්වලට ද ලිපි සපයා ඇති අප නාහිමිපාණෝ ගොපලු උදානය හෙවත් "ධනිය සූත්‍රය" නම් කෘතිය හා ‘විශාඛා චරිතය’ නම් කාව්‍යය තුළින් සිය ලේඛන ශක්‍යතාව තහවුරු කළහ. කාගේත් ගෞරවයට හා බුහුමනට පත් අප නාහිමියෝ වයස අවුරුදු 83 දී එනම් 2001 අගෝස්තු මස 15 වැනි දින සිහි නුවණින් යුතුව අපවත් වූහ.

නාහිමියන් වහන්සේට නිවන් සුව අත් වේවා යි පතමු.