Print this Article


මඟුල් සුතුරේ ආලෝකය

මඟුල් සුතුරේ ආලෝකය

" බුදු දහම පරලොවට ම ය යන පුහුමතය ඇතැම්හු දරති. මෙලොවට පරලොවට දෙලොවට වැඩදායී වන මඟ බුදුපියාණන් වහන්සේ අපට ඉගැන්වූ සේක. නිසි ඖෂධ ව්‍යාධීන් දුරුකරන්නා සේ මිනිසාගේ සුබසෙත, සුවසෙත ශ්‍රී සද්ධර්මය සිත, කය, වදනින් ප්‍රගුණ කිරීමෙන් ම උදාපත් වෙයි."

අප ජීවත්වන පරිසරය එදාට වඩා අද සංකීර්ණ ය. ජන ජීවිතයේ වැඩ බහුල ය. වෙහෙසකර ය. ගතේ සිතේ විඩාව ද දිවි පැවැත්වීමේ අසීරුතාව ගැන ද බොහෝ දෙනෙක් මැසිවිලි නඟති.

ප්‍රශ්න, ගැටුම්, සිතේ සහනය නැතිවීම, රැකියා ගැටලු, බලාපොරොත්තු බිඳීයාම, ආර්ථික අගහිඟතා ප්‍රාදේශිය, භූගෝලීය භේදයකින් තොරව ලොව බොහෝ දෙනකු මුහුණපාන දෑය. උපතේ පටන් විපත දක්වා ප්‍රශ්න ගැටලුවලට මුහුණ පෑමට සිදුවීම මිනිස් ලොව ස්වභාවයයි. එය තේරුම් ගෙන ඒවාට මැදිහත් ව මුහුණදීම ඥානවන්තයාගේ ලක්ෂණයකි. යමක් කමක් තේරුම් ගත හැකි දා පටන් මෙලොවින් සමු ගන්නාතුරාවට ම යහපත් ඇවැතුම් පැවැතුම්වලින් යුතු ව දිවිගත කොට සතුටු සිතින් මරණය වැළඳ ගන්නට කෙනෙකුට හැකියාව ඇත්නම්, එය භාග්‍යයකි. එවැන්නකුට බුදුදහමට අනුව ම ජීවිතය ගෙවා ඕනෑම මොහොතක පසුතැවීමක් නැතිව මරණයට මුහුණ දීමට පුළුවන. එබඳු කෙනකුගේ මෙලොව ද, පරලොව ද එක සේ සැපදායක ය. හෙතෙම දෙව් මිනිස් සැප ද ලබා භව ගමන ද කෙටිකරගෙන උතුම් නිවන පසක් කර ගනියි.

මෙලෙස ලද මිනිස් ජීවිතය අර්ථ පූර්ණව නිවැරැදිව ගත කිරීම ද, කර්මය - පුනර්භවය, අදහා දෙලොව වාසනාවන්ත කර ගැනීම ද නුවණැතියාගේ සිරිත ය. ගිහි ජීවිතය ආලෝකවත් කර ගැනීමට ද, ලෞකික ලෝකෝත්තර උභයාර්ථ සාධනයෙහිලා ද හෙතෙම උත්සුක වෙයි. බුදුපියාණන් වහන්සේ ගිහියාගේ අභිවෘද්ධිය පිණිසම දෙසූ දහම් කොටස් ද, තථාගතයාණන් වහන්සේගේ පරමාදර්ශී ශ්‍රේෂ්ඨ චරිතාපදානය ද බෝධිසත්ව ජීවිත සිදුවීම් කියාපාන ජාතක කතා ද, සම්බුදු සසුනේ ප්‍රකට ගිහි පැවිදි චරිත කතා ද බබළන ජීවිතයකට මැනවින් පිහිටාධාර වෙයි.

බුදු දහම පරලොවට ම ය යන පුහුමතය ඇතැම්හු දරති. මෙලොවට පරලොවට, දෙලොවට වැඩදායී වන මඟ බුදුපියාණන් වහන්සේ අපට ඉගැන්වූ සේක. නිසි ඖෂධ ව්‍යාධීන් දුරුකරන්නා සේ මිනිසාගේ සුබසෙත, සුවසෙත ශ්‍රී සද්ධර්මය සිත, කය වදනින් ප්‍රගුණ කිරීමෙන් ම උදාපත් වෙයි. මෙලෙස මිනිස් ජීවිතය ඉසුරුමත් කර ගැනීමට බුදුරජාණන් වහන්සේ බෙදූ ඔවදන් බොහෝ ම ය. වඩා සාර්ථක ජීවිතයකට ද, භව ගමන නිෂ්ටාවෙන් ලබන අජරාමර සුඛ සම්පත්තියට ද ඒවා එක සේ ගුණදායක ය.

දවසක් රෑ මැදියමේ දී එක්තරා දේවතාවෙක්, සැවැත්නුවර මුළු ජේතවනාරාමය ම ඒකාලෝක කොට හාත්පස බබුළුවමින් සපැමිණ, බුදු සිරිපා කමල වැඳ එකත්පස් ව හිඳ එදා දෙව්ලොවට ද පැතිරුණු මංගල කෝළාහලය ලිහා ගනු වස් දෙදෙව්ලොවට අධිපති ශක්‍ර දේවේන්ද්‍රයාණන්ගේ මෙහෙයවීමෙන් මෙලෙස ආ බවත්, දෙව් මිනිසුන්ගේ හිත පිණිස මංගල කරුණු වදාරණ ලෙසටත් අයැද සිටියේ ය.

එදා මිනිසා මංගල හෙවත් සුබ දේ ලෙස සැලකුවේ තමන්ට පෙනෙන සුබ දෑ ය, (දිට්ඨ මංගල) නොඑසේ නම් ඇසෙන හොඳ දේවල් ය. (සුත මංගල) නැතහොත් දිවට, නැහැයට, කයට දැනෙන හොඳ ස්පර්ශයන් ය.(මුත මංගල) මේ අනුව එකල භාරතීය ජනයා මේවා මංගල කරුණු යැයි, සුබ දේ යැයි සිතා ඒ ඒ කොටස් බෙදී සිටියහ. දකින දෙය හොඳ ය, සුඛ ය, යන මතය දැරුවෝ දිට්ඨ මංගලිකයෝ ය. ඇසෙන හොඳ දෑ සුබ යැයි කිව්වෝ සුත මංගලිකයෝ ය. දැනෙන දෑ, හොඳ පහස සුබ යැයි කියුවෝ මුත මංගලිකයෝ ය. සක්දෙව් රදු අණින් පෙර කී දේවතාවා බුදුරදුන් බැහැදැක මංගල යනු කවරදේ දැයි විමසා සිටි කල බුදුපියාණෝ මංගල කරුණු තිස් අටක් වදාළහ. නුවණැති මිනිසා මඟුල් සුතුර හදාරා එම අටතිස් කරුණින් තම දිවි සරසා ගනියි. දෙලොව දියුණුව සිතන්නා උතුම් මඟුල් කරුණු අනුගමනය කරයි. තම දිවි පැවැත්ම මංගල සූත්‍රයට අනුකූලව සකසා ගනියි. ඉන් දෙලොවෙහි ම දියුණුව උදා කර ගනියි.

ගුණ නුවණින් හීන අසත්පුරුෂ ගති ඇත්තා ඇසුරු නොකළ යුතු ය. (අසේවනාච බාලානං) සත් පුරුෂ පණ්ඩිතයන් ම ඇසුරු කළ යුතු ය. (පණ්ඩිතානංච සේවනා) පවර ගුණ යුතු මහ සඟරුවන, ගුණයෙන් පොහොසත් වැඩිහිටි, ගුරුවරු ආදී පිදිය යුත්තන් පිදිය යුතු ය. (පූජාච පූජනීයානං) පව්කම්වලට නැමුණු බාල අධමයන් වෙසෙන, පස්පව් දස අකුසල් කරන්නෝ ඇති තැන වාසය කිරීමට සිදුවීම සිතට වේදනාවකි. කුසල් දහම් රැස්කරගත හැකි, බණදහම් ඇසෙන ගුණවතුන් සිල්වතුන් ඇති සිරි සදහම් කන වැකෙන තැන වාසයට සුදුසු ය. මෙය මංගල කාරණාවකි. (පතිරූප දේස වාසෝච)

පෙර ජාතීන්හි කුසල් වැඩූ අයගේ කටයුතු මෙලොව දී වඩාත් හොඳින් ඉෂ්ට සිද්ධ වෙයි. අප මෙලොව දී වර්තමානයේ දී රැස් කර ගත් හොඳ අපගේ මතු භවයන් යහපත්වීමට ඉවහල් වෙයි. එසේ ම පෙර භවයන්හි අප කළ හොඳ නරක අප පසු පසම එයි. එනිසා පෙර පින් ඇති බව (පුබ්බේච කත පුඤ්ඤතා) උතුම් මඟුල් කරුණකි.

දුසිල් වූ සිත සීලයෙහි පිහිටුවීම, සැදැහැ නැති සිත් සැදැහැති සිත් බවට පත් කර ගැනීම, මසුරු සිත ත්‍යාගයෙහි පිහිටුවීම් වශයෙන් සිත මනාකොට පිහිටුවීම (අත්ත සම්මා පණිධිච) උතුම් මඟුල් කරුණකි.

සමාජයේ ජීවත්වන විට බොහෝ දෑ දැන කියා ගෙන සිටීම ඔහුට එම සමාජයේ කටයුතු පහසු කරවයි. කෙනකුගේ බහුශ්‍රැත බවට කවුරුත් සලකති. (බාහුසච්චංච) නිවැරැදි දිවි පැවැත්මට ශිල්ප ශාස්ත්‍ර ප්‍රගුණ කළ යුතු ම ය. කොපමණ ඉගෙන කියා ගත්තද, කෙනෙකු තුළ, සමාජය තුළ විනයක් නැති නම් පුද්ගල ජීවිතය සේ ම සමාජ ජීවිතය ද පිරිහෙයි. විනයක් (විනයෝච) ඇති තැන ඇත්තේ වෘද්ධියකි.

හික්මුණු සමාජයක් (සුසික්ඛිතෝ) මුළු ලොවට ම ශාන්තියකි. තොරතෝංචියක් නොමැති ව නිකරුණේ වචන නාස්ති කිරීම ද වැරැදි දෙයකි. වචනයේ සීමාව හැඳින පිය තෙපුළෙන් අනෙකාට අමතයි නම්, එය තෙපළන්නාට ද, අසන්නාට ද වැදගත් ය. ඒ අනුව සුභාෂිතයෙන් (සුභාෂිතාච යා වාචා) ඔපවුණු නිවැරැදි වදන මංගල කාරණාවකි. පර ලොවට පෙර මෙලොව වශයෙන් පි‍්‍රය වචනයෙන් අනෙකාට අමතන විට එය දෙදෙනාට ම සහනයකි. ඉන් මිත්‍රශීලී බව ඉස්මතු වෙයි. කරුණා මෛත්‍රි සිතිවිලි ධාරාවක් ඒ තුළින් හද සන්තානයේ ජනිත වෙයි. ඉගෙන කියාගත්, හික්මුණු මිනිසුන් සිටින විට සමාජය බරසාර ය. මිනිසාගේ සිත ද, කය ද, වචනය ද නිවැරැදි නොවූ කල සමාජයට අත්වන්නේ මහත් නස්පැත්තියකි. අපේ ගිහි දිවිය මෙවැනි වටිනාකම්වලින් පිරුණු විට එවන් පුද්ගලයා ද, එවන් සමාජය ද ලොවටම ශාන්තියකි. විනයක් නැති තැන සදාචාරයක් ද නැත. සදාචාරයෙන් තොර වූ සමාජයක සමෘද්ධිය, සංහිඳියාව, පළා යයි.