Print this Article


ජීවමාන බුදුරදුන් සේ පුද පූජා ලබන සිරිමා බෝ හාමුදුරුවෝ

ජීවමාන බුදුරදුන් සේ පුද පූජා ලබන සිරිමා බෝ හාමුදුරුවෝ

උඳුවප් යනු වසරේ අවසන් පුර පොහොය යි. ශාසන ඉතිහාසයේ ඊට හිමි වන්නේ අද්විතීය අගයකි. සංඝමිත්තා මහ රහත් මෙහෙණින් වහන්සේ ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ශ්‍රී ලංකා ද්වීපයට වැඩම කරවීම ඒ අතර සුවිශේෂී ය.

මෙරට භික්ෂුණී ශාසනයේ ආරම්භයට හා ව්‍යාප්තියට ධර්මධර, විනයධර, බහුශ්‍රැත, ත්‍රිපිටකධාරී සංඝමිත්තා, උත්තරා, හේමා, මසාර ගල්ලා, අග්ගිමිත්තා, කප්පා, පබ්බජින්නා, මල්ලා, ධම්මදාසිකා, වැනි මහ රහත් භික්ෂුණීන් වහන්සේ වැඩම කරවීම මේ රාජකීයයන්ගේ සුරක්ෂිත භාවයට තීරණාත්මක සාධක විය. එම පිරිස ශාසනයේ උන්නතියට විවිධ වගකීම් දරමින් බෝධිගුප්ත කුමරු සමඟ කටයුතු කිරීම මෙන්ම විවිධ ක්ෂේත්‍රයන්හි නිපුණතා බහුල කුල 18ක පිරිසගේ පැමිණීම වැනි කරුණු ද මෙ දවස සිදුවූ වැදගත් ඓතිහාසික සිද්ධීන් අතරට එක්වේ.

කාන්තා විමුක්තිය

අනුලා දේවිය ඇතුළු කුල කාන්තාවන් පන්සිය දෙනෙක් සසුන්ගත කොට, භික්ෂුණී ශාසනය ඇති කිරීම, සිරිලක කාන්තාවට ද විමුක්තිය උදාකිරීම ආදි තවත් අනුශාංගික කාරණාවන් රාශියකට මුල්වන්නේ උඳුවප් පොහොය යි. පුරුෂාධිපත්‍යයෙන් පීඩා විඳී භාරත සමාජයේ කාන්තාවට වඩා වැඩි වෙනසක් නොවුණ මෙරට කාන්තාව ද ඒ ග්‍රහණයෙන් විමුක්තිය ලැබීමට වාසනාව උදා කර ගත්තේ ද සංඝමිත්තා මෙහෙණියගේ ආගමනයට සම්බන්ධව ය.

සුමන සමන් දෙවි රජුගේ ඇරයුමෙන් බුදු රජාණන් වහන්සේ සමනල කඳු මුදුණත ශ්‍රී පා පිහිටවූ දා පටන් භේදයකින් තොරව හැම ජන කොටසක් ම සිරිපා කරුණා කිරීමට (වන්දනා කිරීමට) පෙළගැසෙන ආරම්භක දිනය වන්නේ ද මේ පොහොය දිනයයි.

ආනන්ද බෝධිය

බුදුරදුන් පිරිනිවන් පෑමට ආසන්න මොහාතේ දුක දරා ගැනීමට නොහැකිව පසුවූ ආනන්ද හිමියන් බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑමෙන් පසු මේ අඩුව කෙසේ සපුරන්නේ දැයි බුදු හිමියන්ගෙන් විමසන ලදී.

එහි දී උන්වහන්සේ දේශනා කළේ තමන්ගේ පිරිනිවීමෙන් පසු ධර්මයත්, විනයත් ශාස්තෘත්වයේ තබාගෙන කටයුතු කළ යුතු බව ය.

තථාගත ධර්මය අඩංගු ත්‍රිපිටකය ජීවමාන බුදුන් සේ බොදුනුවන් වඳීමින් පුදමින්, කියවමින්, ඒ අනුව හැසිරෙමින්, ක්‍රියා කරන්නේ බුදුරදුන් සේ පිහිට සලසා දෙන බැවිනි. සත්වයා සතර අපා දුකෙන් ගලවා ස්වර්ග මෝක්ෂ කරා පමුණුවන බැවින් ධර්මය ජීවමාන බුදුන් සේ සමාන ය.

බුදු හිමි ජේතවනාරාමයේ වැඩවසන සමයේ උන්වහන්සේ බැහැදැකීමට විශාල පිරිසක් සිවිපසය ද රැගෙන දිනපතා පැමිණෙති.

එවිට බුදු හිමියන් එහි වැඩවසන්නේ නම් ඔවුන් උන්වහන්සේ බැහැදැක පුදපූජා පවත්වා පින් ලබා ගනිති. බුදු හිමි ජේතවනාරාමයේ නොමැති දින ඔවුහු තමන් රැගෙන යන දේ ආපසු රැගෙන දොස් පවරමින් හිස් අතින් ආපසු යති. දිගින් දිගටම සිදුවන මේ කාරණය නිසා දෝෂ දර්ශනයට ලක්වූයේ ආනන්ද හිමියන් ය.

ජීවමාන බුදුරදුන් සේ

තමන් මූණපාන මේ අසීරුවට පිළියමක් නැද්දැයි උන්වහන්සේ බුදුරදුන්ගෙන් විචාළ සේක. එවිට බුදුරජාණන් වහන්සේ උපදෙස් දුන්නේ විශාඛා දේවියටත්, අනේපිඬු සිටුතුමාටත් දැනුම් දී ජයශ්‍රීමහා බෝධීන් වහන්සේගේ අංකුරයක් ගෙන ජේතවනාරාම පිවිසුමේ රෝපණය කරන ලෙස ය. එම බෝධීන් වහන්සේ උදෙසා පූජා පැවැත්වීමෙන් තමන්ට බුදුරජාණන් වහන්සේට වැඳුම් පිදුම් කර ලබා ගන්නා වූ පිනම නොඅඩුව අත්වන බව සම්බුදුරජාණන් වහන්සේ දෙසූහ. බුද්ධ රශ්මිය බෝධීන් වහන්සේට අන්තර්ග්‍රහණය කිරීම පිණිස බුදුහිමි බෝ සෙවණේ රාත්‍රියක් ගතකර ඇත. සැදැහැවත්හු බුදුහිමියන් නොමැති වුවත් එම බෝධින් වහන්සේට පුදපූජා පවත්වා සිත් පහදවා පින් ලැබ ගත්හ. ඒ බෝධීන් වහන්සේ ආනන්ද බෝධිය යන නාමයට පත්විය.

උතුම් ශ්‍රී සද්ධර්මයත්, විනයත්, ජයශ්‍රී මහා බෝධීන් වහන්සේත් , ආනන්ද බෝධීන් වහන්සේත් ලෝ සතට ආශිර්වාද ලබා දෙමින් පිහිට වන්නේ ජීවමාන බුදුරදුන් හා සමානව ය.

බුදු හිමි පිරිනිවන් පා වසර 2565ක් ගතවී ඇතත් බුද්ධවර්ෂ 236 වැන්නෙහි මිහිඳු මහ රහතන් වහන්සේගේත්, සංඝමිත්තා මෙහෙණින් වහන්සේගේත් මූලිකත්වයෙන් රෝපණය කරන ලද ශ්‍රී මහා බෝධීන් වහන්සේ මුළුමහත් ජාතියට ම සෙත සලසමින් පිහිට වෙමින් අනුරාධපුර මහ මෙවුනා උයනේ වැඩසිටීම රටේම වාසනාවකි. එය රාජ්‍යත්වයේ ද සංකේතයයි.

පැතුම් ඉටුවීම

ආධ්‍යාත්මික සුවයට වඩා භෞතික සුවය සොයන බොහෝ වත්මන් ජනයා ද සිය ජීවිත යහපත් කර ගැනීම සඳහා ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පිහිට පතනු පෙනේ. දරු සම්පත් අහිමි වුවන්, දරු සම්පත් පතාගෙන ද, වැසි වසින්නේ නැති කලට වර්ෂාව ලබා ගැනීමට ද, විවිධ උවදුරුවලින් ගොවිතැන්බත් රැක ගැනීමට ද සෙනසුරු බලපෑම් වැනි ග්‍රහ අපල දුරු කර ගැනීමට , වසංගත රෝගවලින් මිදීමට,ගේදොර අඬදබර, නඩුහබ, රැකී රක්ෂා, විභාග, උසස්වීම්, දරුවන්ගේ පළමු කෙස්කැපීම, ඉඳුල්කට ගෑම සහ කන් විඳීම වැනි චාරිත්‍ර ඉටුකිරීම උදෙසා ජනතාව එදාමෙන්ම අදත් බෝ සමිඳු වෙත පැමිණ පළමුව වැඳුම්පිදුම් පවත්වා භාරහාර වෙමින් ආශිර්වාද ලබා ගනිති.

බාරහාර විධි

බුදු හිමිගේ අනන්ත බුදුගුණ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේ තුළ අන්තර්ගතවී ඇති බැවින් ඒ සත්‍යයෙන් මේ බොහෝ කාරණා සඵලවී ඇති බව අපේ අද්දැකීමයි. මෙහි දී සිදු කරන බාරහාර බොහෝ ය. ඒ අතර ප්‍රධාන තැනක් ගන්නේ සතර වාහල්කඩ කිරි ඉතුරුම් මංගල්‍යය හා බටහිර දොරටුවේ පවත්වන කිරි ඉතිරීම් මංගල්‍යයි.

පෙරනිමිති

ජාතියට විපතක් සිදුවන්නට ඇත්නම් බෝ සමිඳු කල් ඇතිවම එය පෙන්නුම් කරයි. ඒ බෝපත්වල ස්වභාවය මඟිනි. පළමු හා දෙවන ලෝක යුද්ධ සමයේ බෝධීන් වහන්සේගේ පත්‍රවල දිමි ගොටු බැඳ තිබුණේ ඒ විපත්තිකර අවස්ථාව පෙන්නුම් කිරීමට යි. තවද 2004 වසරේ සුනාමි ව්‍යසනය සිදුවන්නට පෙර දිනයේ ඇදහැළුණු ධාරනිපාතයකින් දේවාල මලුවේ බටහිර වළාකුළු බැම්ම සම්පූර්ණයෙන් ම කැඩාවැටුණේ ඒ බව පෙන්නුම් කිරීමට ය.

71 කැරැල්ල, සිංහල මුස්ලිම් අරගලය ආදී අවස්ථාවල බෝධීන් වහන්සේගේ පත්‍ර පැවැතුණේ මළානිකව ය .

බුදු රජාණන්වහන්සේගේ අනිමිස ලෝචන පූජාවෙනුත් , අධිෂ්ඨාන පහෙනුත් පූජනීයත්වයට පත් බෝ සමිඳු මහමෙවුනාවේ රෝපණය කළ මොහොතේ බුදු දහම සිරිලක මුල් බැසගත් බව ඔප්පු කිරීමට ප්‍රධාන සාධකයකි.

ඒ බෝධීන් වහන්සේ බිහිකළ අෂ්ඨඵල බෝධීන් මහ දෙතිස්ඵල බෝධීන් ය.ඒවා ප්‍රාදේශීය නායකයින්ගේ ප්‍රධානත්වයෙන් හා ජනතාවගේ සහභාගීත්වයෙන් සිරිලක පුරා රෝපණය විය. මේ හේතු කොටගෙන ඒ ඒ ස්ථාන ආශ්‍රිත පන්සල් , ආරාම, වෙහෙර විහාර ආදිය ඇතිවී ය. සිරිලක බෞද්ධ රාජ්‍යයක් බවට පත්වූයේ මේ මූල සාධක හේතුවෙනි.