Print this Article


ලක්දිව සංඝරාජ පදවිය - 13:  ශ්‍රීපාදස්ථානාධිපති නාහිමි පදවිය

ලක්දිව සංඝරාජ පදවිය - 13:

ශ්‍රීපාදස්ථානාධිපති නාහිමි පදවිය

හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමි මොරොන්තුඩුවේ ධම්මානන්ද නාහිමි හඳපාන්ගොඩ විමල
නාහිමි
රඹුක්පොත පඤ්ඤාසාර නාහිමි අභයරාජ බටුගෙදර යසස්සි නාහිමි

ශ්‍රීපාදස්ථානාධිපති නායක ස්වාමින්ද්‍රයන් වහන්සේලා වාසය කළ පැල්මඬුල්ල රාජ මහා විහාරයෙන් හමුවන ජනප්‍රවාදගත තොරතුරුවලට අනුව වළගම්බා රජ දවස විසූ කුප්පිකලතිස්ස හිමියන්ගේ පරපුරෙන් පැවත ආ පලාබත්ගල ධර්මකීර්ති සංඝරාජ හිමියන්ගේ සිට කිරිබත්ගල ධර්මකීර්ති හිමි, කොස්ගොඩ ධර්මකීර්ති හිමි, පැල්මඩුල්ලේ ධර්මකීර්ති හිමි, කරංගොඩ ධර්මකීර්ති හිමි සබරගමුවේ සීලවංස හිමි, කුඩාමඩගම්මන ධර්මකීර්ති හිමි යන ධර්මකීර්ති පරපුරේ හිමිවරුන් පොළොන්නරු යුගයේ සිට ශ්‍රීපාදස්ථානාධිපති පදවිය හොබවා තිබේ.

සීතාවක රාජසිංහ රජතුමා විසින් එක් අවස්ථාවක ආඬින් වෙත ශ්‍රීපාදස්ථානය පවරන ලදී. යළි බේරා ගත්තේ මහ මඩගම්මන හිමියන් විසිනි.උන්වහන්සේ වෙත ශ්‍රී වීරපරාක්‍රම නරේන්ද්‍රසිංහ රජතුමා ශ්‍රීපාදස්ථානය පිරිනැමූ තොරතුරු හමුවෙයි. ඉන්පසු දෙනවක ධර්මකීර්ති හිමි, පනාවැන්නේ ධර්මකීර්ති හිමි සහ පොත්ගුල් විහාරේ ධර්මකීර්ති හිමි, කුට්ටාපිටියේ ධර්මකීර්ති හිමි, මහ මාලිම්බඩ හිමි සහ කපුගන්කන්දේ සිල්වත්තැන විසින් සිරිපා නායක පදවියෙහි වගකීම් දැරනු ලැබූහ. පසුව කපුගන්කන්දේ සිල්වතුන් විසින් ශ්‍රීපාදස්ථානයේ භාරකාරත්වය වැලිවිට සරණංකර හිමියන් වෙත පැවරූ බව පැල්මඬුල්ලේ පිළිගැනීමයි. සංඝරාජ හිමියන්ගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුර වෙත කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා කුට්ටාපිටිය සන්නස මගින් ශ්‍රීපාදස්ථානය පිරිනැමූ බව ද සඳහන් වෙයි.

වර්ෂ 1751දී කීර්ති ශ්‍රී රාජසිංහ රජතුමා විසින් වැලිවිට සරණංකර හිමියන්ගේ ධර්මාන්තේවාසික වූ වේහැල්ලේ ධම්මදින්න නාහිමියන් වෙත ශ්‍රීපාදස්ථානය පිරිනමනු ලැබ ඇත. වේහැල්ලේ නාහිමියන්ගෙන් පසු තත්ශිෂ්‍ය කඹුරුපිටියේ සඟිධර ගුණරතන හිමියන් සහ මාලිම්බඩ ධම්මාධාර හිමියන් එම පදවියෙන් පුද ලබා තිබේ. රාජාධි රාජසිංහ රජ දවස මාලිම්බඩ ධම්මාධාර හිමියන් උපැවිදි වීමෙන් පසු පුරප්පාඩු වූ ශ්‍රීපාදස්ථානාධිපති පදවිය වේහැල්ලේ නාහිමියන්ගේ ශිෂ්‍ය කදුරුපොකුණේ සුවණ්ණජෝති මාහිමියන්ගේ සහ කිරිනැලියේ රතනජෝති හිමිවරුන්ගේ ශිෂ්‍ය වූ කරතොට ධම්මාරාම නාහිමියන් වෙත පුද දී තිබේ.

කරතොට නාහිමියන් එම පදවිය අයදුම් කිරීමේ දී රජතුමාගේ සමීප හිතෛශීවන්ත වූ මල්වතු විහාරයේ මහා නායක පදවිය හෙබ වූ මොරතොට ධම්මක්ඛන්ධ නාහිමියෝ එම පදවිය අයැද සිටියහ. එහෙත් වේහැල්ලේ පරපුරට කලක් පුරා පිරිනැමූ පදවියක් නිසාවෙන් දෝ කරතොට නාහිමියන් වෙත පුද දී ඇත. වරින්වර විරුද්ධවාදීන් විසින් රජුට කේලාම් කියා කරතොට හිමියන් හට දඬුවම් පැමිණවීමට කටයුතු කළෙන් ජීවිතාරක්ෂාව පිණිස කරතොට හිමියන් මාතර ලන්දේසි බල ප්‍රදේශයට සංක්‍රමණය වූහ. එම නිසා මොරතොට ධම්මක්ඛන්ධ මහා නාහිමියන් ශ්‍රීපාදස්ථානාධිපති පදවියට පත් වූහ. මින් පසු මල්වතු විහාරයේ මහා නායක පදවි හෙබ වූ කොබ්බෑකඩුවේ සිරිනිවාස මහානාහිමි, දෙවැනි වැලිවිට සරණංකර මහා නාහිමි සහ ගම්මුල්ලේ සුමන මහා නාහිමි විසින් ශ්‍රීපාදස්ථානාධිපති පදවිය හොබවන ලදහ.

කඹුරුපිටියේ සඟිධර ගුණරතන නාහිමියන්ගේ සහ කිරිනැලියේ රතනජෝති මාහිමියන්ගේ ශිෂ්‍ය වූ ගාල්ලේ මේධංකර නාහිමියන් 1826 වසරේදී ඉංග්‍රීසි ආණ්ඩුව වෙත ශ්‍රීපාදස්ථානය හා සබැඳී වේහැල්ල පරපුරේ උරුමය පැහැදිලි කොට දුන්හ. පසුව එහි නායක පදවිය තමන් වහන්සේ වෙත නැවත ලබා ගත් අතර තදනන්තරව තත්ශිෂ්‍ය ඉඳුරුවේ සුමංගල මේධංකර හිමියන් එම පදවියට පත් වූහ. එම පරපුරට ම අයත් ගලගම අත්ථදස්සි හිමියන් 1860 දී ශ්‍රීපාදස්ථානාධිපති පදවියට පත් වූ නමුත් ශ්‍රීපාදස්ථානයට ලැබෙන මිල මුදල්වලින් විහාරය නඩත්තු කිරීම සහ බණ පොත් ලිවීම සිදු නොකර අපහරණය කරන ලදැයි භික්ෂූන් වහන්සේලා දස දෙනෙකු සහ සපරගමු මහ සමන් දේවාලයේ බස්නායක නිළමේ ධූරය දැරූ ඉද්දමල්ගොඩ නිළමේතුමන් ඇතුළු රදළයින් පිරිසක් රජයට වාර්තා කරන ලදින් ගලගම නාහිමියන් පදවියෙන් පහ කොට හික්කඩුවේ ශ්‍රී සුමංගල නාහිමියන් වෙත පුද දුන්හ. මෙය සපරගමු රදලයන්ගේ මූලිකත්වයෙන් සිරිපා නායක පදවියට සිදු කළ අයුතු බලපෑමක් ලෙස වේහැල්ලේ පරපුරෙහි මූලාශ්‍රවල දැක්වෙයි.

ගලගම අත්ථදස්සි හිමියන් තම පත්වීම අවලංගු කිරීමට එරෙහිව 1869දී උසාවියේ නඩු පැවරූ අතර, නඩු කටයුතු නිමාවේ දී හික්කඩුවේ නාහිමියන්ගේ පදවිය අධිකරණයෙන් තහවුරු විය. පරගල සෝභිත නාහිමි, රඹුක්පොත පඤ්ඤාසාර නාහිමි, මොරොන්තුඩුවේ ධම්මානන්ද නාහිමි, අභයරාජ බටුගෙදර යසස්සි නාහිමි, හඳපාන්ගොඩ විමල නාහිමි යන නාහිමිවරුන් ශ්‍රීපාදස්ථානාධිපති පදවිය හෙබ වූ පසු 2011 වර්ෂයේ සිට බෙංගමුවේ ධම්මදින්න නාහිමිපාණන් වහන්සේ ශ්‍රීපාදස්ථානාධිපති පදවිය ශෝභාවත් කරති.

ශ්‍රීපාදස්ථානාධිපති පදවිය සඳහා හිමිනමක පත් කිරීම සාමාන්‍ය විහාරස්ථානයක අධිපති හිමිනමක පත් කිරීමේ ක්‍රමවේදයට වඩා වෙනස්ය. එහි මුඛ්‍ය වගකීම් පැවරෙන්නේ සපරගමු පළාතේ ප්‍රධාන සංඝ නායක හිමිපාණන් වහන්සේ වෙත ය. 1869 සිට 1970 වකවානුවේ අවස්ථා තුනක දී අධිකරණය විසින් ශ්‍රීපාදස්ථානාධිපති හිමිනමක පත් කිරීම වෙනුවෙන් සිදු කළ යුතු මාර්ගෝපදේශ ලබා දී ඇත. ඒ අනුව ශ්‍රීපාදස්ථානාධිපති පදවිය පුරප්පාඩු වූ පසු සපරගමු පළාතේ ප්‍රධාන සංඝ නායක හිමියන් විසින් මල්වතු පාර්ශ්වයේ මහා නාහිමියන් හට ඒ බව දන්වනු ලබති. මහ නාහිමියන්ගේ උපදෙස් පරිදි ඡන්ද දායකයන් ලෙස රත්නපුර දිස්ත්‍රික්කයේ නිත්‍ය වාසී වූ මල්වතු පාර්ශ්වයේ උපසම්පදා ලද හිමිවරුන්ගේ නාම ලේඛනයක් සකස් කරවා, පුවත්පත්වල පළ කළ යුතු ය. ඡන්ද දායක හිමිවරුන්ගේ උපසම්පදා සහතිකයේ මල්වතු පාර්ශ්වයේ මහ නාහිමියන්ගේ හෝ සපරගමු පළාතේ නායක හිමියන්ගේ අත්සනින් සහතික කොට තිබිය යුතු ය. එම ඡන්ද දායක හිමිවරුන්ගේ ලේඛනයේ අඩුපාඩු ඇත්නම්, සකස් කොට යළි පුවත්පත්වල පළ කරවිය යුතු ය.

සපරගමු පළාතේ නායක හිමියන් ශ්‍රීපාදස්ථානාධිපති ඡන්දය පැවැත්වීම සඳහා ප්‍රසිද්ධ රැස්වීමක් කැඳවා එහි දිනය, වේලාව සහ ස්ථානය පුවත්පත්වල පළ කළ යුතු ය. පදවිය සඳහා අයදුම් කිරීමට ඡන්ද දායක හිමිවරුන්හට හිමිකම් පවතින අතර, අයදුම්පත් ඉදිරිපත් කළ පසු ප්‍රසිද්ධ රැස්වීමේ දී ඡන්ද දායක හිමිවරුන් විවෘතව කැමැත්ත ප්‍රකාශ කිරීමේ අවස්ථාවක මෙන් අදාළ අපේක්ෂක හිමිවරුන්ගේ නාමය ඉදිරියෙන් තම කැමැත්ත දක්වමින් අත්සන පිහිටුවනු ලැබේ.

මෙම අත්සන් ලේඛන අනුව වැඩි දෙනාගේ කැමැත්ත සභා සම්මත කොට මල්වතු පාර්ශ්වයේ මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මහ නාහිමියන් ප්‍රමුඛ සංඝ සභාව විසින් යෝග්‍යතාව පරීක්ෂා කොට අභිනව නාහිමිපාණන් වහන්සේගේ පත්වීම ස්ථිර කොට බලකඩදාසි වශයෙන් සන්නස්පත්‍ර පිරිනමා රජයට දැනුම් දීමෙන් පසු අභිනව නාහිමිපාණන් වහන්සේ වෙත ජනාධිපතිතුමා විසින් සන්නසක් පිරිනමනු ලබයි.