Print this Article


සැප සම්පත් ලබන්නේ කෙසේ දැයි මට තේරෙන්නේ නෑ

 භීමසේන ජාතක කතාව ඇසුරිනි:

සැප සම්පත් ලබන්නේ කෙසේ දැයි මට තේරෙන්නේ නෑ

සිය ශිෂ්‍යයා තමාගෙන් සමුගෙන හඬ හඬා යන අයුරු දිසාපාමොක් ආචාර්යතුමා බලා සිටියේ ය.

“මෑත කාලයේ මා ළඟ සිටි දක්ෂ ම ශිෂ්‍යයා. ඕනෑ ම කාරණයක් එක් වරක් කී පමණින් අවබෝධ කර ගන්නවා. ඔහු තරම් දක්ෂයෙක් නැහැ දුනු ශිල්පයට. මා හිතන්නේ අද දඹදිව සිටින හොඳම දුනුවායා ඔහු. ඒත් මට දුකයි. ඔහු හරිම විරූපී තරුණයෙක්. මගෙන් බාගයක් උස නැහැ. ලකුණ්ඨකයා කියල අනෙක් ශිෂ්‍යයන් ඔහු හඳුන්වන්නෙ. අර යන්නෙ. බාගෙට නැමිල. කොපමණ දක්ෂයෙක් වුණත් කඩවසම් පෙනුමක් නැති නිසා දක්ෂතම ශිෂ්‍යයාට දුව විවාහ කර දීම දිසාපාමොක් ආචාර්යවරුන් ගේ සිරිත. මා එය නිකමටවත් සිතුවේ නැහැ. මගේ දුව බයෙන් ඉඳලා තියෙන්නෙ. ලකුණ්ඨකයා සමඟ යන්න කියාවි කියලා.” දිසාපාමොක් තනිව ම සිනාසුණේ ය.

එහෙත් ඒ සමඟ ම ඒ ශිෂ්‍යයා ගේ සමත්කම් සිහිව දුකක් ද ඇතිවිය.

ශිෂ්‍යයා ද ඈතට ගොස් සිය ගුරුතුමා දෙස ආපසු හැරී බැලුවේ ය.

සිය විකෘති සිරුර නිසා ශිෂ්‍යයන්ගේ සිනාවට විහිළුවට ලක් වෙමින් තමා ජීවත් වූ අයුරු ඔහුට සිහි විය.

“මගේ දක්ෂකම්වලට වඩා මිනිසුන් හිතන්නේ මගේ මිටිකම ගැන. මගේ ජීවිතේ දිගට ම මේ තත්වය ඇති වේවි. මා බරණැස් නුවරට මඳක් දුරින් පිහිටි ගමක ප්‍රකට බ්‍රාහ්මණ පවුලක උපන් කෙනෙක් බව අර ශිෂ්‍යයන් දන්නවා. ඔවුන්ට එයින් වැඩක් නැහැ. ලොකු පවුලක ඉපදුණත් නුඹ කුරුමිට්ටෙක් නේ. ඔවුන් කියන්නේ එහෙමයි. මගේ සමත්කම්, අධ්‍යාපන සුදුසුකම් මා රජවරුන්ට ඉදිරිපත් කළත් ඔවුන් ගේ කන්වලට ඒවා ඇහෙන්නේ නැහැ. ඔවුන් මා දුටු ගමන් හිනාවෙන්න පටන් ගනීවි. මා ජීවත් වන්නේ කොහොමද? මා දැන් කුමක් ද කරන්නේ? බරණැස් නුවරට යනවා ද? වැඩක් නැහැ. මා දන්නා අය එහි සිටිනවා. දන්නා අයගේ සිනාවට ලක්වෙනවාට වඩා නො දන්නා අයගේ සිනාවට ලක්වෙන එක හොඳයි. මා යනවා මහිංසක රාජ්‍යයට.එහි මා හඳුනන කිසිවකු නැහැ.”

ඔහු මහිංසක රාජ්‍යයට ඇතුලුව වීදියක් දිගේ ගමන් කළේ ය.

මහ මැදුරක් පෙනිණ. එය අයත් ඇමතිවරයකුට බව ඔහුට අසන්නට ලැබිණ.

රාජ සභාවට යාම සඳහා ඇමැතිවරයා දොරටුව ළඟට පැමිණියේ ය. අශ්ව රථය දොරටුව ළඟ සූදානම් වී තිබිණ. ලකුණ්ඨක තරුණයා ඇමැති අසලට ගියේ ය.

“ඇමතිතුමනි, මගේ නම චුල්ල ධනුග්ගහ. දුනු ශිල්පයේ කෙළවරට ම ඉගෙන ගත් කෙනෙක් මම.” ඔහුට කියන්ට ලැබුණේ එපමණකි.

ඇමැතිවරයා මහ හඬින් සිනාසුණේ ය.

“උදේ පාන්දර විහිළු කරනවද? නුඹ වැනි කොන්ද නැමුණූ අඟුටු මිට්ටකුට දුන්න අල්ලන්නවත් බැහැ. යනවා යන්න. රාජ පුරුෂයන්ගෙන් දඬුවම් නො ලබා .”

ඇමැති රථයට නැඟුණේ ය.

රථාචාර්යවරයා ද සිනාසුණේ ය.

චුල්ල ධනුග්ගහ වීදිය දිගේ ගමන් කරනුයේ ආරෝහ පරිනාහ දේහයෙන් යුක්ත එක් පුරුෂයකු දැක මඳක් නතර වූයේ ය. ඔහු ගමන් කළේ පෙහෙකම්හලකට ය.

පෙනුමෙන් යෝධයකු බඳු වුව ද ඔහු ඇඳ සිටියේ කම්කරු අඳුමකි. චුල්ල ධනුග්ගහ කම්හලට ඇතුළු විය. ඒ කම්කරුවා මුණ ගැසිණ.

අඟුටු මිටි අමුත්තා දැක කම්කරුවෝ සිනාසුණ හ.

“මට ඔබ හමුවන්නට අවශ්‍යයි.” ඔහු අර සද්දන්ත කම්කරුවාට කීවේ ය.

කම්කරුවා හිස පහතට නමා ඔහු සමඟ කතා කළේ ය.

“ඇයි මොකද?”

“මා කැමතියි නුඹ හඳුනා ගන්න. නුඹේ නම මොකක්ද?”

“මම භීමසේන”

“ඇයි නුඹ මෙතන කම්කරුවෙක් වුණේ?”

“මට වෙන කරන්න දෙයක් නැහැ”

“මම චුල්ල ධනුග්ගහ. තක්ෂිලාවේ ශිල්ප හදාරා එන අතරයි ඔබ හමුවුණේ. නුඹට පේනවා නේ හැම දෙනා ම මට සිනාසෙනවා. දඹදිව සිටින දක්ෂම දුනුවායා ලෙස මා හඳුන්වා දුන්නා මගේ ආචාර්ය තුමා. නමුත් ඒ දක්ෂකම්වලින් වැඩක් නැහැ. මා ලකුණ්ඨකයෙක්. අඟුටු මිට්ටෙක්. නුඹ මා සමඟ එනවා නම් මම නුඹ ඉදිරියට දමා මගේ දක්ෂකම් පෙන්වා සැප සම්පත් ලබන්න පුළුවන්.”

“සැප සම්පත් ලබන්නේ කෙසේදැයි මට තේරෙන්නෙ නැහැ.”

“නුඹ මේ මහිංස රාජ්‍යයේ රජතුමාට කියන්න භීමසේන නමැති මා දඹදිව සිටින දක්ෂම දුනුවායා ය කියා. එවිට රජතුමා නුඹේ සේවය බලාපොරොත්තු වේවි. මාසෙකට කහවනු දෙදාහක් ගෙවනවා නම් රාජකීය දුනුවායා ලෙස වැඩ කරන බව කියන්න.”

“කහවනු දෙදාහක්?”

“ඔව් පසුව වැඩි කරයි. නුඹට වැඩක් පැවරුවොත් එය මා කර දෙනවා. බය වෙන්න එපා.”

කම්කරුවා කම්හලෙන් ඉල්ලා අස්විය.

භීමසේන චුල්ල ධනුග්ගහ සමඟ රජ මාළිගයට ගියේ ය.

රාජ පුරුෂයා දෑස විශාල කොට බැලුවේ ය.

“කොහේ ඉඳලද එන්නේ?”

“තක්ෂිලා නුවර සිට.”

“මේ අඟුටු මිට්ටා කවුද?”

“ඒ මගේ අතවැසියා”

රාජ පුරුෂයා ඔවුන් දෙදෙන රාජ සභාවට කැඳවා ගෙන ගියේ ය.

“රජතුමනි, දඹදිව සිටින දක්ෂ ම දුනුවායා මමයි. තක්ෂිලාවේ සිට එන ගමනේ ඔබතුමා දැක යන්නට ආවා.” භීමසේන රජුට වැඳ කීවේ ය.

“දඹදිව දක්ෂම දුනුවායා මා ළඟට පැමිණීම ගැන මා සතුටු වෙනවා. මා කැමතියි නුඹ මගේ රාජ්‍යයේ සේවය කරනවා නම්. නුඹට මගෙන් ලැබිය යුත්තේ මොනවා ද?”

“රජතුමනි, ඔබතුමාට සේවය කිරීමට ලැබෙතහොත් එය අපට සතුටක්. මාසයකට මසුරන් දෙදහසක් ලැබෙතොත් අපට ප්‍රමාණවත්.”

“ මා ඒ වැටුප ගෙවන්නට කැමැතියි. නුඹලාට මේ නගරයෙන් නිවාසයක් ලැබෙනවා.”

භීමසේන රජුට වැඳ නැගිට්ටේ ය. චුල්ල ධනුග්ගහ ද රජුට වැන්දේ ය. රජු ගේ මුහුණට සිනාවක් නැඟිණ.

“කවුද මේ පුරුෂයා?”

“ඒ මගේ අතවැසියා ස්වාමීනි”

එදාම ඒ දෙදෙනාට නගරයේ ප්‍රධාන දොරටුව අසල දෙමහල් මැදුරක් ලැබිණ. භීමසේන සිය පදිංචියට උඩු මහල තෝරා ගත්තේ ය. චුල්ල ධනුග්ගහ යට මහ ගේ කුඩා කුටියක නතර වූයේ ය. අරක්කැමියා සහ තවත් සේවකයකු ද ඔවුනට රජුගෙන් ලැබිණ.

“දුන්න පුරුදු වෙනවා.”

භීමසේනට ‘අතවැසියා’ කීවේ ය.

“පසුව පුළුවනි” ඔහු එය කල් දැමුවේ ය.

කමින් බොමින් උඩුමහලට වී අලස ජීවිතයක් ගෙවූ භීමසේන වැඩ බහුල දුක්මුසු පැරැණි කම්කරු ජීවිතය අමතක කළේ ය. ධනුග්ගහ දිනපතා දුනු ශිල්පිය පිළිබඳ අභ්‍යාසයන්හි යෙදුණේ ය.

ඈත ගම්වැසියෝ කීප දෙනෙක් දිනක් රජු හමුවීමට පැමිණියහ.

“රජතුමනි, අප ජීවත් වන්නේ වනාන්තර අසල ගමක. මේ වනාන්තරයේ ඉතා නපුරු භයානක ව්‍යාඝ්‍රයෙක් සිටිනවා. ඌ ගම් මායිමට පැමිණ මිනිසුන් අල්ලා ගෙන යනවා. අප නොයෙක් උපක්‍රම යෙදුවා. ඌ අල්ල ගන්න බැහැ. අප ආවේ ඔබතුමාගෙන් පිහිටක් බලාපොරොත්තුවෙන්.” ඔවුහු කී හ.

රජුට භිමසේන සිහි විය.

“නුඹලා ගමට යන්න. සතියක් ඇතුළත ඔය දුෂ්ටයා විනාශ කරන්න.” රජු කී ය.

භීමසේන රාජ සභාවට කැඳවනු ලැබිණ.

“භීමසේන” නුඹ දඹදිව සිටින දක්ෂ ම දුනුවායා. නමුත් අපට නුඹගෙන් කිසිම වැඩක් ගන්නට බැරිවුණා. දැන් ඔන්න නුඹ ගේ දක්ෂකම් පෙන්වීමට අවස්ථාවක් ලැබී තිබෙනවා. මගේ වැසියන්ට කරදර කරන ව්‍යාඝ්‍රයෙක් ඉන්නවා. ඌ මරා දැමීම මා නුඹට බාර කරනවා.”

භීමසේන හිස කෙළින් කර ගත්තේ ය.

“ස්වාමීනි, මම ඒ ව්‍යාඝ්‍රයාට පාඩමක් උගන්වමි. ඌගේ මළ සිරුර නගරයට ගෙන එමි.”

“නුඹට අවශ්‍ය ඕනෑම දෙයක් ඉල්ලා ගන්න.”

“මට කිසිවක් අවශ්‍ය නැහැ රජතුමනි, දුන්න සහ තල අප සතුව තිබෙනවා.”

“ව්‍යාඝ්‍රයා සමඟ කටයුතු කිරීමේ දී පරෙස්සම් වන්න. නුඹ අපේ ගම් වැසියන් රැක ගන්නවා ඇත කියා මා විශ්වාස කරනවා.”

මෙම ලිපියේ ඉතිරි කොටස උඳුවප් අව අටවක පෝදා (27) පත්‍රයේ පළවේ