Print this Article


වන්දනීය වූත් අතිපූජනීය වූත් උත්තරීතර පැවිදි ජීවිතය

වන්දනීය වූත් අතිපූජනීය වූත් උත්තරීතර පැවිදි ජීවිතය

උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර වැඩම කරනු ලබන්නේ මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි පාර්ශ්වයේ මහානායක අතිගෞරවාර්හ
ආචාර්ය වරකාගොඩ ධම්මසිද්ධි ශ්‍රී පඤ්ඤානන්ද ඤාණරතන මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය

ඓතිහාසික බදුලු මුතියංගණ රාජමහා විහාරය, පොල්ගොල්ල උඩ, ගැන්නෑපාන, බෝධිමල්කඩ පුරාණ විහාරය හා මහනුවර, අස්ගිරිය, විජයසුන්දරාරාමය යන විහාරත්‍රයාධිපති, ගෞරව ශාස්ත්‍රවේදී ශ්‍රීමත් වරකාගොඩ ඤාණරතනාභිධාන අස්ගිරි පාර්ශ්වයේ මහානායක මාහිමිපාණන් වහන්සේ භික්ෂු විනයට අනුකූල සුපේශල ශික්ෂාකාමී පාණ්ඩිත්‍යයකින් අනූනව දෙස් විදෙස් සම්භාවනාවට පාත්‍රව වැඩ සිටින මහා යතීන්ද්‍රයන් වහන්සේ නමකි.

බුද්ධ වචනයේ පරිසමාප්තාර්ථයෙන්ම උතුම් භික්ෂුත්වය ශෝභමාන කරන ධර්මධර, විනයධර, ව්‍යක්ත ධර්මානුධම්ම පටිපන්න භික්ෂූන් වහන්සේලා පිරිවැරූ ආදර්ශ සම්පන්න දුර්ලභ ගණයේ සංඝ නේතෘන් වහන්සේ නමක් වශයෙන් ප්‍රකාශ කිරීම අතිශයෝක්තියක් නොවේ.

උන්වහන්සේ හාරිස්පත්තුව වරකාගොඩ දුල්දෙණිය රාජකරුණා නවරත්න අතපත්තු වාසල මුදියන්සේලාගේ මුදියන්සේ සහ හිඟුල්වල අලකොලදෙනියේ දුග්ගන්නා රාළලාගේ පිංචි අම්මා යන ශ්‍රද්ධා බුද්ධි සම්පන්න මාපිය දෙපළගේ තෙවැනි දරුවා ලෙස 1942 මාර්තු මස 18 වැනි දින ජන්ම ලාභය ලැබුවේ ය. අනතුරුව දොළොස්වැනි වියේ දී උඩපිටියේ ශ්‍රී සුමංගල නා හිමි, මැදගොඩ පඤ්ඤාණන්ද නාහිමි, අළුදෙණියේ රතනපාල නා හිමි හා රඹුක්වැල්ලේ සද්ධානන්ද නා හිමි යන ගුරුදේවයන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් හා එවකට අස්ගිරි විහාර පාර්ශ්වයේ මහා නායක ධූරය හෙබ වූ අතිපූජ්‍ය යටවත්තේ ධම්මරතන මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් 1955 අප්‍රේල් මස 07 වැනි දින අස්ගිරි මහාවිහාරයීය මංගල උපෝෂථාගාරයේ දී පූර්වෝකෘත පුණ්‍ය මහිමය අනුව වරකාගොඩ ඤාණරතන යන උත්තරීතර ශාසනික නාමයෙන් උතුම් සම්බුද්ධ ශාසනයේ පැවිදි බවට පත් වූහ.

අනතුරුව බදුල්ල විද්‍යොත්තංස පිරිවෙන, වත්තේගම ශ්‍රී ධර්මදීප පිරිවෙන යන පිරිවෙන් තුළින් මූලික පැවිදි අධ්‍යාපනය හා භික්ෂූත්වයට ඇවැසි මූලික වත් පිළිවෙත් පුහුණුව, බණ දහම් වනපොත් අධ්‍යාපනය සාර්ථකව සම්පූර්ණ කළහ. අස්ගිරි මහා විහාර මහ පිරිවෙන, පේරාදෙණිය ශ්‍රී සාරානන්ද මහ පිරිවෙන යන පරිවේණාස්ථානයන් තුළ ධර්මශාස්ත්‍රෝද්ග්‍රහණය කොට ප්‍රාචීන අධ්‍යාපනය හදාරනු ලැබූ මහා නායක මාහිමිපාණන් වහන්සේ සිංහල පාලි හා සංස්කෘත භාෂාවන් පිළිබඳ හසළ දැනුමක් ඇති වියත් පඬිරුවනකි.

1962 ජුනි මස 09 වැනි දින අස්ගිරි මහා විහාරයීය මංගල උපෝෂථාගාරයේ දී සුපරිසුද්ධෝපසම්පදාව ලබා ගනිමින් 1970 වර්ෂයේ දී විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලබා ගත් උන්වහන්සේ ප්‍රතිචීන භාෂා පිළිබඳ වියතකු වූහ. අනතුරුව බදුපොල විද්‍යාලයෙන් ගුරු භූමිකාව ආරම්භ කළ උන්වහන්සේ මහනුවර විද්‍යාර්ථ විද්‍යාලය, කොත්මලේ මඩකුඹුර විද්‍යාලය, පාතදුම්බර මහා විද්‍යාලය, පොල්ගොල්ල මහා විද්‍යාලය යන පාසල්වල ධර්මාචාර්යයන් වහන්සේ නමක් ලෙස විසි පස්වසරක පමණ කාලයක් දැයේ දරුවන්ගේ නැණ නුවණ දියුණු කිරීමට සුවිශේෂී මෙහෙවරක් ඉටු කළහ.

අතිපූජනීය වූත්, ගෞරවනීය වූත් අසිරිමත් දළදා වහන්සේ වෙනුවෙන් තේවා කටයුතුවල නිරතවීමේ භාග්‍ය බුද්ධ පුත්‍රයන් වහන්සේ නමක් ලබන්නේ නම්, එය අතිශය දුර්ලභ වූ පුණ්‍යවන්ත ඓතිහාසික කරුණකි. 1976 වර්ෂයේ දී ශ්‍රී දළදා මාලිගාවේ තේවා කටයුතුවල නිරතවීමට පත්වූ වරකාගොඩ ඤාණරතන මහ නායක මාහිමිපාණන් වහන්සේ 2004 - 2005 වර්ෂවලත් දළදා වහන්සේ වෙත තේවා කටයුතු සිදුකළහ. මෙම බුද්ධ කෘත්‍යයන් සංයමයකින් හා ගෞරවයකින් සිදුකිරීමට අතීතයේ වැඩ සිටි ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේලාගේ ආභාසය මඟපෙන්වීම නිසි පරිදි උන්වහන්සේ වෙත ලැබීමෙන් මාහිමිපාණන් වහන්සේ තුළ ඇති වූ පරිචය, කෘතහස්තභාවය ඉදිරි කටයුතුවලටත්, බොදු ජනතාවගේ ශ්‍රද්ධාව වර්ධනයටත් බෙහෙවින් උපකාරී වේ.

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහා නායක ශ්‍රීමත් පලිපාන ශ්‍රී චන්ද්‍රානන්ද මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් වරකාගොඩ ඤාණරතන ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1990 වර්ෂයේ දී අස්ගිරි මහා විහාර කාරක සංඝ සභාවට පත්කරනු ලැබූහ.

ශ්‍රීමත් උඩුගම ශ්‍රී ධම්මදස්සී රතනපාල බුද්ධරක්ඛිත මහානායක මාහිමිපාණන් වහන්සේ විසින් උන්වහන්සේ වෙත ජ්‍යෙෂ්ඨ කාරක සභික ධූරයත්, අනතුරුව 2009 දී කාරක සංඝ සභාවේ උපාධ්‍යාය ධූරයක් පිරිනමනු ලැබූහ.

මහානායක ස්වාමීන් වහන්සේලාටත් කාරක සභිකයන් වහන්සේලාටත් ශක්තියක් වෙමින් ජාතික, ආගමික ශාසනික කර්තව්‍යයන්හිදී නොපැකිළව සහයෝගය ලබා දෙමින්, සෘජු තීරණ ගනිමින් පිළිවෙළින් උත්තරීතර කාරක සංඝ සභාවේ තනතුරුවලට පත්වීමත් ශ්‍රීමත් මහා නායක මා හිමිපාණන් තුළ වූ සංඝ ශෝභන ගුණයන්ගේ පෘථුලත්වය මනාව පැහැදිලි වේ. පාණ්ඩිත්‍යයෙන්, අත්දැකීම් පරිණතබවෙන් හා විචක්ෂණ බුද්ධියෙන් යුතුව ශාසනානුලෝමී හැඟීමෙන් කටයුතු කළ මහනාහිමියෝ උසුලන ලද ශාසනික පදවි උන්වහන්සේගේ ක්‍රියාකලාපය නිසාම ශෝභාවත් විය. එම නිසා ශ්‍රී සෙඬඛණ්ඩ ශෛලාභිධාන ශ්‍රී වර්ධනපුර (මහනුවර) අස්ගිරි මහා විහාරයීය රාජුපස්ථානීය පරමධම්ම සභා නම් වූ විංශද්වර්ගික කාරක මහා සංඝ සභාව මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ අනුනායක පදවිය නම් වූ ශාසනික පදවිය 2015 ක් වූ අප්‍රේල් මස 07 වැනි දින පිරිනමනු ලැබුවේ ය. එතැන් සිට උතුම් පරාර්ථ චර්යාවම ගුරුකොට ගනිමින් සම්බුද්ධ ශාසනයේ උන්නතිය චිරස්ථිතිය වෙනුවෙන් උන්වහන්සේ ඇප කැප වූහ.

අස්ගිරි මහා විහාර පාර්ශ්වයේ මහානායක ධුරන්ධරව වැඩ විසූ අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්ථදස්සී මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත්වීමෙන් පසු අස්ගිරි මහාවිහාර පාර්ශ්වයේ මහානායක ධූරයට පත්වූ අතිගෞරවාර්හ වරකාගොඩ ශ්‍රී ඤාණරතන මහානායක මාහිමිපාණන් වහන්සේ අස්ගිරි පාර්ශ්වයේ කාරක සභිකයන් වහන්සේලාගේ ද සෙසු විහාර පාර්ශ්වීය භික්ෂූන් වහන්සේලාගේ ද, මල්වතු පාර්ශ්වයේ ශ්‍රීමත් මහානායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුලු පාර්ශ්වීය සියලු භික්ෂූන් වහන්සේලාගේ ද ප්‍රසාදය දිනා ගනිමින් සංඝ ශෝභන ගුණයන්ගෙන් විරාජමාන ව වැඩ වෙසෙති.