Print this Article


සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේගේ ලාංකේය මෙහෙවර

සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේගේ ලාංකේය මෙහෙවර

භාරතයේ සිටි මහා අධිරාජ්‍යයාගේ දියණිය ලෙස උපත ලද සංඝමිත්තා කුමරිය තම ජීවිතයේ ඉතාම සුන්දර භද්‍ර යෞවන කාලය තුළ උතුම් ප්‍රවෘජ්‍යා භූමියට පත් වූයේ ඉමහත් ප්‍රීතියෙනි.

උතුම් පැවිදි ජීවිතයේ කළ කිස නිම වූ සංඝමිත්තා භික්‍ෂුණීන් වහන්සේ අර්හත්භාවයට පත්වෙන්නේ ඉතාම කෙටි කාලයක් තුළ දී ය. උත්තම වූ සැනසීම් සුවයෙන් පසුවන්නා වූ තමන් වහන්සේට වෙනත් රටකට ධර්ම සන්නිවේදනය සඳහා ආරාධනා ලැබෙන්නේ තම සහෝදර මහා මහින්ද මහ රහතන් වහන්සේගේ ඉල්ලීම මත ය.

සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ මේ ආරාධනාව පිළිගන්නේ ම බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට ගරු කරමින් ය.

“චරථ භික්ඛවේ චාරිකං බහුජන හිතාය බහුජන සුඛාය අත්ථාය හිතාය සුඛාය”

යන ඒ දේශනාවට අනුව බොහෝ දෙනාගේ හිත සුව පිණිස, අර්ථය පිණිස, සැපය පිණිස, තම උපන් දේශයෙන් පිට වෙනත් රටක් වෙත වැඩම කොට ඒ දේශය තුළ ජීවිත කාලයම ගෙවා දමමින් පරාර්ථය පිණිසම තම ජීවිත කාලයම වෙන් කළේ උතුම් ශාසනික අභිලාෂයන් අනෙකා වෙත ද දායාද කිරීමේ අරමුණෙනි. මෙම අසීමිත කැප කිරීම නොවන්නට හෙළයට මහා සංස්කෘතියක් නොලැබී යාමට තිබුණි. තමන් වහන්සේගේ සොහොයුරු මහා මහින්ද මහා රහතන් වහන්සේගේ පළමු ලංකා ගමනයෙන් පැහැදී ධර්මාවබෝධයට පත්ව සිටින විශාල කාන්තා පිරිසගේ විමුක්ති සාධනය කිරීමෙහි පහසු ගමන් මාර්ගය වූ උතුම් පැවිදි භාවය ලබා දීමේ අරමුණින් හා බුදු සිසිල ලබා දෙමින් විරාජමාන ව වැඩ සිටින ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ පහස ලක් භූමියට ලබා දීමටත්, ඒ බෝධීන් වහන්සේ වෙනුවෙන් නිවැරැදි වත් පිළිවෙත් සිදු කිරීමට දහ අටක් වූ කුල පරම්පරාවන් ද සමඟ ලක්දිව වෙත වැඩම කිරීමේ ගමන ආරම්භ කරන්නේ රාජ්‍යතාන්ත්‍රික ගෞරව ආරාධනයට ගරු කිරීමක් ද හිතේ ඇතිව ය.

ලක් දිවට වැඩම කිරීමේ දී ඉතා දිගු ගොඩ බිමි තරණයක් වගේ ම, දුෂ්කර වූ මුහුදු ගමනාන්තයක් ද සඟමිත් තෙරණින් වහන්සේ ඇතුළු අනෙක් භික්ෂුණීන් වහන්සේලාට විඳීන්නට සිදු විය. රජ සැප විඳ සෞම්‍ය ගුණයෙන් හෙබි තමන් වහන්සේගේ ශ්‍රී ශරීර සුවය පසෙක ලා මෙම ගමන වෙත ඉතාම කැමැත්නේ ඉදිරි පත් වන්නේ ම ලෝක ශාසනික සේවය බුදුරජාණන් වහන්සේගේ අවවාදය නිසාවෙනි. මෙලස ලක් දිවට වැඩම කොට තමන් වහන්සේගේ ධර්ම චාරිකාව සාර්ථක කර ගන්නේ විශාල ලාංකේය කුල කතුන් පිරිසක් පැවිදි කොට අර්හත් මාර්ගය ඒ සැම දෙනා වහන්සේට ම පෙන්වා දෙමින් ශ්‍රි ලංකාවේ භික්‍ෂුණී ශාසනය ද පිහිටුවමිනි.

දුමින්දා ගමනය නමින් හඳුන්වන මෙම ආගමනය සංස්කෘතිකාගමනයක් ලෙසත් අර්ථ ගැන්වෙන්නේ එයින් සිදු වූ සංස්කෘතික පුනරාවර්ධනය සලකාගෙන ය. මෙරට තිබූ වෘක්ෂ වන්දනාව, බෝධි වන්දනාව ලෙසත්, ගල් වන්දනාව බුද්ධ ප්‍රතිමා වන්දනාව ලෙසත්, පර්වත වන්දනාව චෛත්‍ය වන්දනාව ලෙසත්, මළ ගිය ආත්ම වන්දනාව, මිය ගිය ඥාතීන්ට පින් දීම ලෙසත් විවිධ අර්ථ රහිත ක්‍රියා බෞද්ධ සංස්කෘතියක මුහුණුවරකින් නව අර්ථ ගන්වමින් හෙළ සිරිත් බුදු දහමෙන් සුපෝෂණය කළහ. මෙසේ ප්‍රාථමික ලක්‍ෂණවලින් යුතුව ජිවිකාව ගෙන ගිය ලාංකේය ජන සමාජයේ ආර්ථික, සාමාජික, සංස්කෘතික, දේශපාලනික යන සියලු අංශවල දැවැන්ත වෙනසක් හා ඉහළ දියුණුවක් දුමින්දාගමනයත් සමඟ සිදු විය.

ගෘහ නිර්මාණය තාක්‍ෂණය, කෘෂි කර්මාන්ත තාක්‍ෂණය, චිත්‍ර ශිල්පය, මූර්ති ශිල්පය, කැටයම් කලාව, ආදී කොට ගත් සියලු අංශයන්හි දියුණුව සිදු වන්නට දුමින්දාගමනය ප්‍රබල හේතුවක් වූයේ සංඝමිත්තා මහරහත් තෙරණින් වහන්සේ සමඟ දහඅට කුලයක ශ්‍රේණින් මෙරටට පැමිණිම ය. මේ පැමිණි ශිල්පීන් විවිධ දක්ෂතාවලින් හෙබි පුද්ගලයන් වීම හේතුවෙන් බෝධීන් වහන්සේට ආවතේව සිදු කිරීමෙන් පසුව දවසේ ඉතුරු කාලය තුළ ඔවුන්ට ආවේණික වූ දක්‍ෂතා තුළ සිට විවිධ කටයුතුවල නියැළෙන්නට විය. එම හේතුවෙන් ඉතාම කෙටි කාලයක් තුළ ලක්දිව මහා පරිවර්තනයන් සිදු විය. එම පරිවර්තනය අද ද ලොව මවිත කරන තරමේ විශ්මය ජනක ය. අහස සිප ගන්නා මහා දාගැබ්, මහ සයුරට දෙවැනි වන මහා වැව්, සජීවමාන කළුගල් පිළිම, ගල් ලෙන් ආරාම, මහා විශාල දාන ශලා, සංඝාවාස, පොකුණු ආදී කොට ගත් සියලුම අංශවල දියුණුව මෙන් ම පුද්ගල ආධ්‍යාත්මික සංවර්ධනය ද සිදු වූයේ ආශ්චර්යයක් ලෙස ය.

දීප වංශය, මහා වංශය ආදී වංශකතා තුළ මෙම ආගමනය පිළිබඳ ඉතා වැදගත් තොරතුරු රැසක් සඳහන් වෙයි. වයස අවුරුදු තිහේදී පමණ සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේගේ ලංකාගමනය සිදුවෙන අතර, අවුරුදු හැත්තෑනවයේ දී පිරිනිවන් පාන තුරුම ධර්ම ශාසනික මෙහෙය සිදු කරමින් ලංකා භූමිය වෙත තමන් වහන්සේගේ සේවය ලබා දුන්හ.

ශ්‍රී ලාංකේය කාන්තා විමුක්තිය පිණිස මූලිකත්වය ගෙන කටයුතු කිරීමේ ප්‍රබලත්වය පෙනෙනුයේ අනුලා බිසවගේ පැවිදි කිරීමෙන් ආරම්භ කරන ලද භික්‍ෂූණී ශාසනය ඉතාම සීඝ්‍රයෙන් පැතිරුණු අයුරු වංශකථා සාහිත්‍ය තුළ විස්තර කරීමෙනි. මහාචූලී මහා තිස්ස රජු විසින් (ක්‍රි.පූ 77-63) තම රාජ්‍ය සමයේ භික්‍ෂූන් වහන්සේලා 60000 කට ද භික්‍ෂූණීන් වහන්සේලා 30000 කට ද සිවුරු පුද කරන ලද බව වංශකථා සාහිත්‍ය තුළ එයි. එමෙන් රුවන්වැලි මහා සෑය සසුනට පූජා කරන දින තුළ මහ සෑ මලුවට මහරහත් තෙරණින් වහන්සේලා අනූ දහසක් වැඩම කළ බව ද වංශ කතා සාහිත්‍ය තුළ සඳහන් වෙයි.

මෙම සංඛ්‍යාවන් දෙස බැලීමෙන් පෙනී යන්නේ එදා ලක්දිව කාන්තාවන් විශාල වශයෙන් එක් වී බුදු දහමෙන් සදාකාලික වූ උත්තම නිවන් සුවය සාධනය කරගත් බවයි. සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ තමන් වහන්සේගේ හත්ථාල්ලක මෙහෙණවර ආශ්‍රයේ ම තවත් ගොඩනැඟිලි 12 ක් ඉදි කිරීමට මඟ පෙන්වා එම ගොඩනැඟිලි තුනක ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේ වැඩම කරවාගෙන පැමිණි නැවේ කොටස් තැන්පත් කළ බව තව දුරටත් වංශකථා තුළ දක්වා ඇත.

මේ අයුරින් විමසීමේ දී ලක්දිවට පුනර්ජීවයක් ලබා දෙමින් හා මෙරට කාන්තා විමුක්තිය වෙනුවෙන් පමණක් නොව සියලු අංශයන්හි ම සංවර්ධනය පිණිස මෙරටට වැඩම කළ දවසේ සිට අතිවිශාල ශාසනික මෙහෙවරක් සිදු කොට ලක් තලයේ වායූ ගෝලයට ම තම අවසන් හුස්ම එක් කරමින් පිරිනිවන් පා වදාළ ඒ උතුම් සංඝමිත්තා මහ රහත් තෙරණින් වහන්සේ එක් පෝහෝ දිනක පමණක් නොව සියලු පෝහෝ දිනයන් හි අප සැම එක්ව වන්දනා මාන ගෞරව පූර්වක ව සිහිපත් කළ යුතු ම ශ්‍රේෂ්ඨ මහ රහත් තෙරණින් වහන්සේ නමකි.