Print this Article


සුළු මොහොතක් වුව ද සිල් රැකීමේ අනුසස් දෙව්ලොව ඉපදෙන්න තරම් බලවත්

සුළු මොහොතක් වුව ද සිල් රැකීමේ අනුසස් දෙව්ලොව ඉපදෙන්න තරම් බලවත්

"බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා සිත මහ මුහුද නම් ඒ සිත රකිනා වෙරළ සීලය යනුවෙන් . සීලය තිබෙනවා නම්, සිත කියන රළගෙඩි කොතරම් වේගයෙන් නැඟුණත් සීලය නම් වූ වෙරළෙන් පාලනය වෙනවා. වෙරළ ඉක්මවා යාමක් නැති නිසා අර්බුද නැහැ. සිත ඇතුළේ ම කාටත් නො දැනී ඒ ප්‍රශ්නය විසඳා ගන්නට පුළුවන්කම තිබෙනවා."

අපගේ සම්මා සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ සිත මහ මුහුද වගේ කියලා. මහා සාගරයේ රළ ඒ මේ අතට නිතර ම පෙරළෙනවා. ඒ රළ වගේ පෙරළෙමින් දිනකට සිත තුළට එන සිතිවිලි කෙතරම් ද? ඒ තරම් සිතිවිලි ගොන්නක් එක් දිනකට අප සිතනවා.

මේ සිත රළ ගෙඩි පෙරළෙනවා වගේ පෙරළෙමින් තිබෙද්දී ඒ බොහෝ සිතිවිලි අතර තිබෙනවා අපට බොහෝ අයහපත පිණිස පවතින සිතිවිලි. අපට තව කෙනකුට හිංසා කරන්න, පීඩාවක් කරන්න වචනයෙන් යමක් කියන්න සිතිවිල්ලක් එනවා. එසේ සිතිවිල්්ලක් ආ පමණින් එය ලොකු ප්‍රශ්නයක් වන්නේ නැහැ. සිතට ආ සිතිවිල්ල කයින් ක්‍රියාත්මක කළොත් ඒ මොහොතේ ම ප්‍රශ්නය පටන් ගන්නවා. අර්බුදය හට ගන්නවා. ආරවුලකට මුල පිරෙනවා.

යම් වෙලාවක අපේ සිතට සිතිවිල්ලක් එනවා. “ මම මෙහෙම කියන්න ඕන” කියලා. ඊට පසුව අපි සිතට අනුව වචන හසුරුවනවා. පුද්ගලයා මානසිකව පීඩාවට පත්වෙන ආකාරයට වචන කතා කරනවා. එකටඑක කීම, අමනාපය, නින්දා, අපහාස කිරීම ආදී අර්බුද ගොඩක් එතැන නිර්මාණය වෙනවා.

සිතට එන සිතිවිලි සිත ඇතුළේ ම පාලනය කර ගැනීමට පුළුවන් නම් අප ජීවිතයට යහපතක් සලසාගෙනයි තිබෙන්නේ. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා සිත මහ මුහුද නම් ඒ සිත රකිනා වෙරළ සීලය යනුවෙන් . සීලය තිබෙනවා නම්, සිත කියන රළගෙඩි කොතරම් වේගයෙන් නැඟුණත් සීලය නම් වූ වෙරළෙන් පාලනය වෙනවා. වෙරළ ඉක්මවා යාමක් නැති නිසා අර්බුද නැහැ. සිත ඇතුළේ ම කාටත් නො දැනී ඒ ප්‍රශ්නය විසඳා ගන්නට පුළුවන්කම තිබෙනවා. එනිසා සීලය කෙතරම් උතුම් දෙයක් ද කියා අප වටහා ගත යුතු වෙනවා.

භාග්‍යවතුන් වහන්සේගේ ශ්‍රාවකයා නිරන්තරයෙන් පන්සිල් ආරක්ෂා කරන පිරිසක්. එහෙත් සමහර කෙනකුගේ මතයත් තිබෙනවා “අසාධාරණ සමාජයක, සිල් රකින පිරිස අඩු සමාජයක, මම පමණක් තනියම සිල් රකින්න ඕනෑ ද? සිල් රකින්න ගියාම නැති ප්‍රශ්න ඇතිවෙන්න පුළුවන්” ආදී මතිමතාන්තර තිබෙනවා. එසේම සමාදන් වූ සීලය රකින්නට බැරි දෙයකි යන හැඟීමත් සමාජයේ තිබෙන තවත් මතයක්.

බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේගේ ශ්‍රාවකයන්ට සීලය පිළිබඳ ව මෙසේ වදාළා.

මහණෙනි, සීලය තිබෙන්නේ සංවරවීම පිණිස යි. අසංවරය වළක්වා ගැනීම පිණිස යි. කුමක්ද සංවරය කියන්නේ? කය සහ වචනයේ හික්මීම යි. චේතනාවක් පහළ කොට කය සංවර කිරීම සීලය යි. චේතනාවක් පහළකොට වචනය සංවර කිරීම සීලය යි. කය අසංවරවීම පිණිස සිතිවිලි සිතට එද්දී අප රැක ගන්නේ සීලය විසින්. සිල්පද කඩවීමට මොනතරම් සිතිවිලි ආවත් සිත සංවර කර ගන්නවා කියා සිතට පූර්ව යෝජනා කිරීම ඔබ සතු කාර්යයක්. සිල්පද සමාදන් වූ කෙනෙක් කය යි, වචනය යි හොඳින් සංවර කර ගන්නවා. එවිට සිතට කෙතරම් සිතිවිලි ආවත් ශ්‍රාවකයා සංවර යි.

ඒ වගේම සීලයක් රකින පුද්ගලයාගේ ජීවිතයට සැලසෙන යහපත කුමක් ද? සීලය රකින්නාගේ සිතේ පසුතැවීමක් නෑ. හීල්ලීමක් නැහැ. සිල් රකින්නා සමාජය තුළ විශාරද භාවයට පත් වෙනවා. බයක් සැකක් නැතිව ජීවත් වෙනවා.

“මම කාටවත් වරදක් හෝ හිංසාවක් කළ කෙනෙක් නොවේ”

කියා සිහි කරනවා. ඒ සැනසීම අපට මුදලින් හෝ උගත්කමින් ලබා ගන්නට බැහැ. මම කයින්, වචනයෙන් යහපතක් කළා කියන සැනසීම අපට ඉතිරි වෙන්නේ සීලය ආරක්ෂා කළොත් පමණයි.

බුදුරජාණන් වහන්සේ සීලය ලෙස වදාළේ ලෝකයේ යම් පුරුෂයෙක් හෝ ස්ත්‍රියක් විසින් තමාගේ ජීවිතය තුළ පළඳවා ගත යුතු සුන්දර ම ආභරණයක් ලෙස යි. එනිසා අපිත් ඒ සුන්දර ආභරණයෙන් සැරසිය යුතු නොවේ ද? මේ මිනිස් ජීවිතය ගත කරන ටික කාලයේ සීලය නම් වූ වටිනා ආභරණයෙන් සැරසෙන්න. ඒ ආභරණයෙන් සැරසුණ පුද්ගලයාට දෙවියන් පවා කැමැතියි. ඒ වගේ ම අපට සිතෙන්නට පුළුවන් අපි සිල් ආරක්ෂා කළයුතු වන්නේ මහලු වූ විට ද? විශ්‍රාම ගිය විට ද? සියලු වැඩ කටයුතු අවසන් වූ විටද කියා.

බුදුරජාණන් වහන්සේගෙන් දෙවියන් ඒ ප්‍රශ්නයම ඇසුවා. භාග්‍යවතුන් වහන්සේ එයට අපූර්ව පිළිතුරක් ලබා දුන්නා.

“දේවේන්ද්‍රය, ඉතාම මහලුවියට පත්ව ජරා ජීර්ණ වන තුරුම සිල් රැකීමයි හොඳ” කියා .

සීලය ගැන යම් මොහොතක අසන්නට ලැබුණා ද ඒ මොහොතේ සිට සිල් රැකීමයි හොඳ. තෙරුවන් සරණ ගිය ශ්‍රාවකයා නිති පන්සිල් රකිනවා නම් ඒ ජීවිතයට විශාල ආරක්ෂාවක් ලැබෙනවා.

සීලයේ වටිනාකම කියා දෙන එක් සිද්ධියක් තමා ඡත්තමානවක කතාව. ඡත්ත මානවක තරුණයෙක්. ඔහු තක්ෂිලාවේ සියලු ශිල්පය හදාරා අවසන් වුණා. ගුරුවරයාට ගුරු පඬුරු ලෙස කහවනු රැගෙන නැවත ඔහු ගුරු ගෙදරට යමින් සිටියේ. ඔහුට භාග්‍යවත් අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ රුක් සෙවණක දී මුණ ගැසෙනවා. භාග්‍යවතුන් වහන්සේ ඡත්ත මානවකට කතා කළා. ‘ඡත්ත මෙහේ එන්න. ඔබ බුදුරජාණන් වහන්සේ සරණ ගොස් ද සිටින්නේ?’

“ස්වාමීනි මම එහෙම දෙයක් මින් පෙර අසා නැහැ. ඒ බවක් මම දන්නේ නැහැ.”

“එසේ නම් ඡත්ත, ඔබ දැන් බුදුරජාණන් වහන්සේගේ උතුම් ශ්‍රී සද්ධර්මය, ශ්‍රාවක සංඝ රත්නය සරණ යන්න” යැයි අවවාද කළා. ඡත්ත සතුටින් තෙරුවන් සරණ ගියා. ඉන්පසු බුදුරජාණන් වහන්සේ වදාළා.

“ඡත්ත ඔබ සිල්පද සමාදන් වෙලා ද සිටින්නේ?”

“ස්වාමීනි, මම එහෙම දෙයක් අසා නැහැනේ.

“ඡත්ත එසේ නම් ඔබ මේ මොහොතේ සිට ප්‍රාණඝාතයෙන්, සොරකමින්, වැරැදිකාම සේවනයෙන් බොරු කීමෙන් වගේ ම මත්ද්‍රව්‍ය පරිහරණයෙන් වළකින්න. සීලය සමාදන්ව ආරක්ෂා කරන්න.”

ඡත්ත මානවක සිල් සමාදන් වුණා. බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පිටත් වුණා. ඔහුට වැඩිදුරක් යන්න ලැබුණේ නැහැ. සොරුන් පිරිසක් විසින් මරා දමා කහවනුත් රැගෙන යනු ලැබුවා. නිදා පිබිදියා වගේ ඔහු දෙවියන් අතර උපන්නා. ඡත්ත දේවේන්ද්‍රයා බුදුරජාණන් වහන්සේ බැහැ දකින්නට පැමිණියා.

“ස්වාමීනි, භාග්‍යවතුන් වහන්ස, සුළු මොහොතක් තෙරුවන් සරණ යාමේ යහපත මෙතැකයි කිව නොහැකි ය. සුළු මොහොතක් සිල් ආරක්ෂා කළ විපාකය මට දැන් පේනවා. ස්වාමීනි, මා ලැබූ මේ සැප සම්පත් මා ලැබූ යහපතත් සමඟ සලකන විට දීර්ඝ කාලයක් තෙරුවන් සරණ ගොස් සිල් ආරක්ෂා කරන මිනිසුන්ට කෙ තරම් යහපතක් සැලසේවි ද?

එනිසා අපිත් ටික කලකට ලැබුණු මේ කෙටි මිනිසත් ජීවිතයේ වටිනාකම දැන සිල්වත් වෙමු.