Print this Article


පින් සිතිවිලි ක්‍රියාවට නැඟීම පමා කරන තරමට විපාක ද හීන වෙනවා

පින් සිතිවිලි ක්‍රියාවට නැඟීම පමා කරන තරමට විපාක ද හීන වෙනවා

බුදුරජාණන් වහන්සේ සැවැත් නුවර ජේතවනාරාමයේ වැඩ වසන සමයේ විහාරයට නුදුරින් එක්තරා දුප්පත් ගමක් පිහිටා තිබුණා. ඒ ගම් වැසියෝ ශ්‍රද්ධාවෙන් පිරී ඉතිරී ගිය පිරිසක්. තම තමන්ට හැකි අයුරින් දන් දෙන්න පටන් ගත්තා.

ගොවිතැන් කටයුතු වගේ ම වෙළෙඳ කටයුතුත් කළා. ජීවත්වීමට ප්‍රමාණවත් ආහාර තබා ගෙන සංඝයා උදෙසා වගේ ම දුප්පත් මිනිසුන් වෙනුවෙන් ද උපයන ධනය වියදම් කළා. බුදුරජාණන් වහන්සේගෙන් බණ ඇසීමට යෑම එ ගම්වැසියන්ගේ පුරුද්දක් වුණා. මේ ගමේ දුප්පත් වයසක යුවළක් වාසය කළා. දරුවන් විවාහයට පත් වී ඈත පෙදෙසක පදිංචියට ගොස් තිබුණා. දෙමහල්ලෝ දෙදෙනා ඉතා දුක සේ උපයන ධනයෙන් ජීවිකාව සරිකර ගත්තා. ධනයෙන් දුප්පත් වුණත් ශ්‍රද්ධාවෙන් නම් ඔවුන් ඉතා පොහොසත්.

මේ දෙදෙනාගේ ශ්‍රද්ධාවට සම කරන්න පුළුවන් පුද්ගලයෙක් මුළු සැවැත් නුවර ම හොයා ගන්න බැරි තරම්. දෙදෙනාම බුදුරජාණන් වහන්සේ බැහැ දැක බණ අහන්න පුරුදු වී සිටියා. දවසක් ඇර දවසක් එක් අයෙක් දම් සභාවට යාමට තීරණය කරගෙන තිබුණා. මෙයට හේතු වුණේ උඩු කය වැසීමට දෙදෙනාට ම එකම වස්ත්‍රයක් පමණක් නිවසේ තිබීමයි.

තවත් වස්ත්‍රයක් ගැනීමට තරම්වත් වත්කමක් ඔවුන්ට තිබුණේ නෑ. දෙන්නාගේ කැමැත්ත අනුව බිරිඳ අද බණ ඇසීමට ගියේ නම් හෙට දවසේ අවස්ථාව උදාවන්නේ සැමියාටයි. ඊළඟ දවසේ නැවතත් බිරිඳට අවස්ථාව උදා වෙනවා. මෙහෙම දෙන්නා අවස්ථාව සලසා ගනිමින් බණ ඇසීමට දිනපතා ජේතවනාරාමයට යාමට පුරුද්දක් කර ගත්තා.

දවසක් සැමියාගේ අවස්ථාව උදාවී දහම් ශ්‍රවණයට ගොස් නැවත නිවෙසට පැමිණ බිරිඳ සමඟ තමා ශ්‍රාවණය කළ දහම් කරුණු නැවත නැවත සිහි කරන්න පටන් ගත්තා. දන් දීමේ ආනිසංස අසා ඔහුගේ සිත තව තවත් දීම කෙරෙහි යොමු වුණා. එහෙත් තමාටත්, තම බිරිඳටත් බණ ඇසීමට දහම් ශාලාවට යාමට ඇත්තේ එක් ඇඳුමක් පමණයි. ඔහු ඒ ගැන රාති‍්‍රය මුළුල්ලේ කල්පනා කළා.

පළමු යාමයේ දී පැමිණි දන් දීමේ සිතුවිල්ල යටපත් කර ගත්තේ බිරිඳ කෙරෙහි ඇති අසීමිත සෙනෙහස නිසා යි. රාති‍්‍රයේ දෙවැනි යාමයත් ක්‍රමයෙන් උදා වුණා. ඒ අවස්ථාවේදීත් දෙදෙනාට ම දහම් ශාලාවට යාමට අවස්ථාව නො ලැබෙන බව කල්පනා කොට එම අවස්ථාවේ දීත් එකම සළුව දන් දීමේ සිතිවිල්ල යටපත් කර ගත්තා. රාති‍්‍රයේ තෙවැනි යාමයත් උදා වුණා. නිදි නො ලැබ කල්පනා කළා. අවසානයේ දී තම මසුරු සිතුවිල්ල යටපත් කර දමා සළුව බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට පූජා කිරීමේ සිතුවිල්ල ඇති කර ගත්තා. උදෑසනම වහා සූදානම් වී ජේතවනාරාමයට ගොස් බුදුරජාණන් වහන්සේට වන්දනා කර සළුව පූජා කළා.

උපාසකතුමාගේ සිත සතුටින් පිරී ඉතිරී ගියා. ඔහුට තමා සිටින තැන පවා අමතකව ගියා. මහ හඩින් ‘‘මම දිනුවා, මම දිනුවා”යි මහත් සේ හඬනඟා සතුට ප්‍රකාශ කළා. එතැනට පැමිණ බුදුරජාණන් වහන්සේ සමග සාකච්ඡාවක යෙදී සිටි කොසොල් රජතුමා ඒ හඬ අසා රාජ පුරුෂයන් යවා ඔහු එසේ හඬ නැඟීමට හේතු විමසා සිටියා. රජතුමා සියලු විස්තර හොඳින් අවබෝධ කර ගත්තා.

වහා රජමාළිගය වෙත රාජ පුරුෂයන් යවා සළු දෙකක් ගෙන්වාගෙන ඔහුට පිරිනැමීමට කටයුතු කළා. තමාට ඒවා ලැබුණු මොහොතෙහි ම නැවතත් බුදුරජාණන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝයා වහන්සේට පූජා කළා.

දෙවැනි වර සළු හතරක් උපාසකයාට ලබා දුන්නා. එවර ද ඒ සියල්ල පූජා කළා. මේ ආකාරයෙන් සළු අටක්, සොළොසක් සහ තිස් දෙකක් ලෙසින් ලබා දුන්නත් උපාසකතුමා තම සිතෙහි උපන් පී‍්‍රතිය නිසා සියල්ල පූජා කළා. අවසානයේ උපාසකතුමා රජතුමා අපහසුතාවට පත් නො කළ යුතු යැයි සිතා සළු දෙකක් තබා ගෙන සෙසු සියලු වස්ත්‍ර පූජා කළා.

රජතුමා මාළිගයට ගොස් සැදැහැති උපාසකතුමාගේ ශ්‍රද්ධාව දැක ඔහු කෙරෙහි පැහැදීමට පත් ව අගනා කම්බිලි සළු දෙකක් තෑගි ලෙස රාජ පුරුෂයන් අත යැවීමට කටයුතු කළා.

හෙතෙම එයින් එකක් බුදුරජාණන් වහන්සේගේ ගන්ධ කුටියේ උඩුවියන් පිණිසත්, අනෙක් සළුව තම නිවසේ සංඝයා වැඩ හිඳින ස්ථානයේ උඩුවියන් ලෙසත් සැරසීමට යොදා ගත්තා. පසු දින කොසොල් රජතුමා නැවතත් බුදුරජාණන් වහන්සේ බැහැදැකීමට ජේතවනාරාමයට ගොස් තමන් උපාසකතුමා වෙත යැවූ කම්බිලි සළු දෙකින් එකක් උඩුවියන් ලෙස තිබෙනු දැක තොරතුරු විමසා සිටියා. රජතුමා උපාසකතුමා කෙරෙහි තවත් පැහැදීමට පත් වුණා. ඔහුට දැසි දසුන්, ඇත්, අස් ආදී සියලු සම්පත්වලින් හතර හතර බැගින් පරිත්‍යාග කළා. සෑම පරිත්‍යාගයක් ම හතර බැගින් යුක්ත වූ නිසා ‘‘සබ්බචතුක්ක ත්‍යාගය“ නමින් හඳුන්වන්න පටන් ගත්තා.

එක් සළුවක් භාවිත කරමින් බිරිඳ සහ සැමියා දහම් ඇසීමට බණ ශාලාවට ගිය නිසා ඒක සාටක උපාසක නමින් හඳුන්වන්නත් පටන් ගත්තා. උපාසකතුමාගේ අපමණ ශ්‍රද්ධාවත්, රජුගේ පරිත්‍යාගත් ඇසූ මහා සංඝයා දම් සභාවේ දී එයට හේතු විමසමින් සාකච්ඡා කරන්න පටන් ගත්තා.

එවේලෙහි දම් සභාවට පැමිණ ධර්මාසනාරූඪ වූ බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වැඩම කිරීමට පෙර කිනම් කතාවකින් යුක්ත වූයේ දැයි අසා අසවල් කතාවෙන් යුක්ත වූයේ යැයි පිළිතුරු දුන් කල්හි මහා සංඝයා ප්‍රමුඛ සිව්වනක් පිරිස අමතා මෙසේ දේශනා කළා. ‘‘පින්වත් මහණෙනි, මේ උපාසකතුමා රාති‍්‍රය මුළුල්ලේ කල්පනා කර අවසන් යාමයේ දී සිත පහදවාගෙන තමයි මේ පූජාව කළේ.

ඔහුට පුණ්‍ය සිතිවිල්ල පහළ වූ පළමු අවස්ථාවේ දීම දන්දෙමි'යි තීරණය කර පූජාව කළා නම් රජු වෙතින් සෑම පරිත්‍යාගයකින්ම සොළොස බැගින් ලැබීමට භාග්‍ය උදාවීමට ඉඩ තිබුණා. එහෙත් එම අවස්ථාව අහිමි වී ගියා. රාති‍්‍රයේ දෙවැනි යාමේ දී පැමිණි දන්දීමේ සිතුවිල්ල කි‍්‍රයාවට නැගුවේ නම් ලැබුණු පරිත්‍යාග සෑම එකකින් ම අට බැගින් හිමි වීමට ඉඩ තිබුණා.

එහෙත් එම අවස්ථාවත් අහිමිවී ගියා. රාති‍්‍රයේ අවසන් යාමයේ දී දන්දීමේ සිතුවිල්ල පැමිණි නිසයි සතර බැගින් ලැබුණේ. මසුරුකම මැඩ ගැනීමට ප්‍රමාදවීම නිසා හිමි වීමට තිබුණු මහා සම්පතක් අහිමි වුණා. ඒ නිසා පින්කමක් කරන විට ප්‍රමාද නොවී එය කළ යුතු වෙනවා.

සිතිවිල්ල කි‍්‍රයාවට නැඟීම ප්‍රමාද කරන තරමට එහි විපාක හීන වෙනවා' යි පවසමින් ධර්ම දේශනා සිදු කළා.