Print this Article


සසර පුරා අපිරිසුදු වන සිත පිරිසුදු කරන්නට දිගු කාලීන පුහුණුවක් ඕනෑ

සසර පුරා අපිරිසුදු වන සිත පිරිසුදු කරන්නට දිගු කාලීන පුහුණුවක් ඕනෑ

අනුපුබ්බේන මේධාවි ථොක ථොකං ඛණෙ ඛණෙ
කම්මාරො රජතස්සේව- නිද්ධමේ මලමත්තනො

රන්වල ඇති අපිරිසුදු දෑ දවා බැහැර කරන රන්කරුවකු මෙන්, නුවණැති පුද්ගලයා ලද ලද ඇසිල්ලෙහි පියවරෙන් පියවර තමාගේ සිත් තුළ තැන්පත් ව ඇති කෙලෙස් මළ ක්‍රමයෙන් බැහැර කරයි.

කාරුණික පින්වතුනි

ධම්මපද පාලියේ මල වග්ගයේ එන මෙම ගාථාවෙන් අනුක්‍රමයෙන් අපගේ සිත පිරිසුදු කර ගන්නා අකාරය පැහැදිලි කරනවා. බුද්ධ දේශනාවේ මූලික අරමුණ චිත්ත පරිශුද්ධත්වය ඇති කර ගෙන චිත්ත විමුක්තිය සාක්ෂාත් කිරීමයි.

අපගේ සිත අනාදිමත් කාලයක සිට විවිධ හේතු කාරණා අනුව අපිරිසුදු බවට පත්වෙලා තිබෙනවා. නිතර නිතර ඉන්ද්‍රියයන්ට ගෝචර වන විවිධ අරමුණු නුවණින් තොරව මෙනෙහි කිරීම නිසා කෙලෙස් සිතිවිලි වර්ධනය වෙනවා. ඒවා අපගේ සන්තානයෙන් ඉවත් කිරීම අප හිතන තරම් පහසු කටයුත්තක් නොවෙයි. ඒ සඳහා දීර්ඝ කාලීන පුහුණුවක් අවශ්‍ය කරනවා. බුදුරජාණන් වහන්සේ ඒ සඳහා අනුපූර්ව ප්‍රතිපදාවක් දේශනා කර තිබෙනවා. ඒ අනුව කෙනකු තමන්ගේ සන්තානයේ පවතින කෙලෙස් ධර්ම ක්‍රමයෙන් ඉවත් කළ යුතු වෙනවා. රන් කරුවකු රන්වල තිබෙන විවිධ අපිරිසුදු දෑ රත් කිරීමෙන් හෝ සෝදා ඉවත් කිරීමෙන් හෝ බැහැර කරනවා මෙන් අපත් අපගේ සිත තුළ එක් රැස් වී තිබෙන කෙලෙස් මළ ක්‍රමයෙන් ඉවත් කළ යුතු වෙනවා.

අනාදිමත් කාලයක සිට කිළිටි වී තිබෙන සිතෙහි පිරිසුදුකම ඇති කර ගැනීම සඳහා අනුගමනය කළ යුතු පළමු පියවර ඉන්ද්‍රිය සංවරය යි. අපගේ ඉන්ද්‍රියයන් හයට රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ හා ධම්ම යන අරමුණු ගෝචර වෙනවා. ඒවා පිළිබඳ අප ගොඩනඟන ආකල්ප හා අදහස් අනුව ඒවායේ බලපෑම තීරණය වෙනවා. යම් රූපයක් ඇසට ගෝචර වූ සැණින් අපගේ සිතත් එයට සම්බන්ධ වෙනවා. අප ඒ පිළිබඳ නුවණින් තොරව කටයුතු කළ හොත් කෙලෙස් සිතිවිලි පරම්පරාව ක්‍රමයෙන් වර්ධනය වෙනවා. අපට නොදැනීම වර්ධනය වන මෙම විවිධ කෙලෙස් සිතිවිලි අපගේ සන්තානය තුළ තදින් බැසගෙන ස්ථාවර වෙනවා. මේ නිසා සිතේ පවතින ප්‍රභාස්වර ගතිය, පිරිසුදු ස්වභාවය ක්‍රමයෙන් කිළිටි වී එම කිලිටි සිතිවිලිවල බලපෑම නිසා අප කයින්, වචනයෙන් අයහපත් දෑ සිදු කරනවා. පසුව එය අකුසල කර්ම බවට පත්වී දුක්ඛදායක අකුසල විපාකවල හිමිකරුවන් බවට අප පත්වෙනවා.

අපේ සිතේ පවතින ද්වේශය මූලික කර ගත් අකුසල සිතිවිලිවල බලපෑම නිසා අප කයින් හෝ වචනයෙන් කිසිවකුට හානියක් සිදු කිරීමට පෙළෙඹෙන්න පුලුවන්. එහෙත් අප කය, වචන දෙක සංවර කර ගත්තොත් එම අකුසල සිතිවිල්ල ප්‍රකාශයට පත්වෙන්නේ නැහැ. අකුසල සිතිවිල්ල නිසා සිත අපිරිසුදු වුණත් කයින් වචනයෙන් එය ප්‍රකාශයට පත් වුණේ නැති නිසා අපට සිදුවෙන්නට ගිය අයහපත යම් තරමකින් හෝ වළක්වා ගන්න හැකි වෙනවා.

කය වචන දෙකින් අකුසල සිතිවිලි ප්‍රකාශයට පත් නොවුණත් ඒවායේ බලපෑම සිත තුළ දිගට ම පවතිනවා. සිත තුළ පැළපදියන්වෙලා තියෙන මේ කෙලෙස් ධර්ම ඉවත් කරන්න තවදුරටත් ක්‍රියාත්මක වෙන්න අවශ්‍යයි.

ඒ සඳහා චිත්ත සමාධිය වර්ධනය කර ගැනීම අවශ්‍ය වෙනවා.

සිත පිරිසුදු කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ වදාළ දෙවන පියවර එයයි. සිත නිරන්තරයෙන් ම පංච නීවරණ ධර්මවලින් යටපත් වෙලා , කිළිටිවෙලා තිබෙන්නේ. ඒ නිසා අපේ සිතේ පවතින ප්‍රඥාව හෙවත් යමක් දෙස ඇති සැටියෙන් දැකීමේ නුවණ දුර්වල වෙනවා. එයට හේතුව නීවරණ ධර්මවල බලපෑමයි. නීවරණ ධර්ම පමණක් නොවේ. අනෙකුත් කෙලෙස් ධර්මවලින් ද සිත කිළිටි වෙනවා.

සිතෙහි ඒකාග්‍රතාව වර්ධනය කර ගැනීමට චිත්ත සමාධිය ප්‍රගුණ කිරීම අවශ්‍යයි. එය අත්පත් කර ගත හැකි වන්නේ භාවනාව තුළින්. සමථ භාවනාව ප්‍රගුණ කිරීමෙන් චිත්ත ඒකාග්‍රතාව ඇතිකර ගැනීම පහසු වෙනවා.

චිත්ත සමාධිය යටතේ බුදුරජාණන් වහන්සේ අනුදැන වදාළේ එයයි. සමාධිගත සිතකින් ලැබෙන ප්‍රතිලාභ විශාලයි. එයින් සැලසෙන යහපත අප්‍රමාණයි. මනාකොට වැසූ වහලක් සහිත නිවසක ඇතුළ වැස්සෙන් නොතෙමෙන්නාක් මෙන් සුභාවිත සිතක රාග, දෝස, මෝහ යන අකුසල සිතිවිලිවලට ඉඩක් නැහැ.

චිත්ත සමාධිය වර්ධනය කරගත් විට අපේ සිතේ කෙලෙස් ධර්ම නිසා වන කැලඹිලි ස්වභාවය පාලනය කර ගන්න පුලුවන්. එසේ ම සිත එක අරමුණක තබා ගෙන කටයුතු කිරීමට හැකි නිසා විවිධ අරමුණු ඔස්සේ ගලාගෙන එන අකුසල සිතිවිලි පාලනය කිරීමේ හැකියාව ඇති කර ගන්න පුලුවන්. සමථ භාවනාවට අයත් කවර කර්මස්ථානයකින් වුව සිදුවන්නේ මෙම චිත්ත ඒකාග්‍රතාව ඇතිකර ගැනීම යි. ඒ නිසා භාවනාව කියන්නේ ජීවිතයෙන් පළායාමක් නොවෙයි. එය අපගේ සිත ශක්තිමක් කරන අභ්‍යාසයක්. එය ප්‍රගුණ කරන තරමට ම විවිධ ප්‍රයෝජන ලබා ගන්න පුළුවන්.

කෙලෙස් සිතිවිලි හා ඒවායේ නිසි ක්‍රියාකාරිත්වය දකින්න පුලුවන් වෙන්නේ භාවනාව ප්‍රගුණ කිරීමෙන්. එහෙත් ඒක විලාසිතාවක් නො කරගෙන අවංක අධ්‍යාසයෙන් කරන්න ඕනෑ.

නුවණැති පුද්ගලයා ඉන්ද්‍රීය සංවරය හා සමාධිය ප්‍රගුණ කිරීමෙන් තමන්ගේ ආධ්‍යාත්මයේ පවතින කෙලෙස් ධර්ම ක්‍රමයෙන් බැහැර කරනවා. ධම්මපද ගාථාවේ දැක්වෙන පරිදි නුවණැති පුද්ගලයා හැම මොහොතක් ම ඒ සඳහා භාවිත කරනවා. එහෙත් අප අතර බොහෝ දෙනෙක් බුදුරදුන්ගේ මෙම අනුශාසනාව ගැන උනන්දු වන බවක් පේන්න නැහැ. ඇතැම් අය හිතන්නේ සිත පිරිසුදු කිරීම ඉතා කඩිනමින් කළ හැකි අභ්‍යාසයක් බවයි. බුදුරජාණන් වහන්සේ වදාළ පරිදි මුල, අග සොයා ගැනීමට අපහසු මේ සංසාරය තුළ සිත කිළිටිවීම සිදු වුණේ අද ඊයෙක නොවෙයි.

ඒ නිසා සිත තුළ පවතින කෙලෙස් ධර්ම පියවරෙන් පියවර ඉන්ද්‍රිය සංවරය හා සමාධිය දියුණු කර ගනිමින් ඉවත් කළ යුතු වෙනවා. මෙයට අමතරව සිත පිරිසුදු කරන ක්‍රම රාශියක් බුද්ධ දේශනාවල ඇතුළත්ව තිබෙනවා. ඒ හැම ක්‍රමයක්ම භාවනාවට යටත්. සමථය වැඩීමෙන් ලැබෙන චිත්ත සමාධියත්, විපස්සනාව වැඩීමෙන් ලැබෙන ප්‍රඥාවත් සිතෙහි පවතින කෙලෙස් මළ බැහැර කිරීමේ අවසන් නිෂ්ඨාව බව සිහියේ තබා ගන්න. එබැවින් ලද ඇසිල්ලක් හෝ මොහොතක් සිත පිරිසුදු කර ගැනීමට යොදාගන්න මහන්සි ගන්න. එසේම තම සන්තානයෙහි පවතින කෙලෙස් ධර්ම මැනවින් දැන දැක හඳුනාගත් පුද්ගලයාට එය පහසුවෙන් ඉවත් කළ හැකි වෙනවා. එහෙත් එහි යථා ස්වභාවය නොදන්නා තැනැත්තා තවදුරටත් ඒවායේ ගිලී මුළාවට පත්වෙනවා. ආදීනවත්, ආශ්වාදයත් මැනවින් අවබෝධ කර ගත් පුද්ගලයාට එයින් මිදීමක් තිබෙනවා.