Print this Article


කටුකෙන්දේ විජිත හිමි

කටුකෙන්දේ විජිත හිමි

ගම්පහ දිස්ත්‍රික්කයේ දිවුලපිටිය මැතිවරණ කොට්ඨාශයේ, බඩල්ගමට ආසන්න කටුකෙන්ද සුන්දර ගම්මානයේ දෙල්ගොඩ ලියනගේ විජේරත්න සහ හෙට්ටි ආරච්චිගේ හේමාවතී යන දන්පතීන්ට දාව වර්ෂ 1975.01.13 වන දින දෙල්ගොඩ ලියනගේ නිමල් ජයන්ත යන නමින් ජන්ම ලාභය ලබා සහෝදරයන් තිදෙනකු සමඟ හැදී වැඩුණු පවුලේ බාලයා විය.

මිනු/පැතිගොඩ ප්‍රාථමික විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලබා, ද්විතීක අධ්‍යාපනය මිනු/හුණුමුල්ල මධ්‍යමහා විද්‍යාලයෙන් ලබා ගත්හ. /ගලේවත්ත ශ්‍රී බෝධිරාමාධිපතිව වැඩ විසූ අපවත් වී වදාළ ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ අනුවිජ්ජක ආරංගාවේ සෝම නා හිමියන්ගේ අනුශාසනා පරිදි අපවත් වී වදාළ තිඹිරිගොල්ලේ පාලිත හිමියන් කටුකෙන්ද ග්‍රාමයට වැඩම කර ශී‍්‍ර සිද්ධාර්ථ දහම් පාසල ආරම්භ කරන්නේ මෙම අවධියේය.

සසර පුරුද්දේ බල මහිමය නැවත ස්මතුවීමේ ප්‍රතිඵලයක් ලෙසින් මහණ දම් පුරන්නට සිත් යොමු වීම නිසා දෙමව්පියන්ගේ ආශිර්වාදයෙන් 1988.07.13 වන දින ගලේවත්ත පන්සලේ ලොකු හාමුදුරුවන් වෙත භාර දෙන ලදී. එතැන් සිට අති පූජ්‍ය ආරංගාවේ සෝම නා හිමිපාණන් වහන්සේ යටතේ මහණ දම් පිරීමට අවශ්‍ය වනපොත් කිරීමේ ප්‍රතිඵලයක් වශයෙන් 1989.07.13 වන දින උතුම් බුද්ධ ශාසනයේ සාමණේර භික්ෂුවක් ලෙසින් කටුකුරුන්දේ විජිත හිමි නම ලබා සසුන්ගත වීමෙන් පසුව මාස කිහිපයකින් ලොකු හාමුදුරුවන් යටතේ උගතමනා ශිල්පය හදාරා වැඩිදුර අධ්‍යාපනය සඳහා මාරවිල, හාල්පන්විල, ශ්‍රී ඥාණෝදය මහා පිරිවෙනට ඇතුළත් කරන ලදී. ගුරු හිමිවරුන්ගේ ආශිර්වාදය ලබාගෙන අධ්‍යාපනය ලබමින් සිටින අවධියේදී කටුකෙන්දේ විජිත කුඩා සාමණේර හිමියන්ගේ විනීත ගති පැවතුම් කෙරෙහි පැහැදුණු පූජ්‍ය හොරම්පැල්ලේ විජිත හිමියන් උන්වහන්සේගේ අභිවෘද්ධිය සඳහා මහර ශ්‍රී විවේකාරාමය වෙත රැගෙන ගොස් දිවයිනේ සුප්‍රකට පිරිවෙනක් වන පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට ඇතුළත් වීමෙන් පසු 1992 වසරේ පවත්වන ලද මූලික පිරිවෙන් අවසාන විභාගයට පෙනී සිටි කටුකෙන්දේ විජිත සාමණේරයන් වහන්සේ විද්‍යාලංකාර පිරිවෙනේ ඉතිහාසය සනිටුහන් කරමින් විද්‍යාලංකාර පිරිවෙනේ වසරේ විශිෂ්ටම ප්‍රතිඵල ලබා ගනිමින් පිරිවෙන් අවසාන විභාගය සමත් වීමෙන් පසුව උසස් පෙළ අධ්‍යාපනය සඳහා තවත් විශිෂ්ට නම් දරණ ලද පිරිවෙනක් වන මරදාන ශ්‍රී ලංකා විද්‍යාලයීය පිරිවෙනට ඇතුළත් වන ලදී. එහිදීද 1995 වසරේ අ.පො.ස. උසස් පෙළ විභාගයෙන් විශිෂ්ට සාමාර්ථයන් ලබමින් සමත් විය. එම සාමාර්ථයන්ගේ ප්‍රතිඵලයක් ලෙසින් කැළණිය විශ්ව විද්‍යාලයට තේරී පත් වුණ නායක හිමියන් වසර 1997 ජූලි 07 වන දින ගාල්ල මහ මෝදර උදකුක්ඛේප සීමා මාලකයේදී අධිසීල සංඛ්‍යාත උපසම්පදාවද ලබා ගත් අතර හින්දි භාෂාව ඇතුළු බෞද්ධ සංස්කෘතිය විශේෂවේදී උපාධිය තුළින් ගෞරව ශාස්ත්‍රවේදී දෙවන පෙළ ඉහළ සාමර්ථයක් ලබා ගන්නා ලදී.

2002 දී කැළණිය විශ්ව විද්‍යාලීය බෞද්ධ අධ්‍යයන පශ්චාත් උපාධි ආයතනයෙන් ශාස්ත්‍රපති උපාධිය ද සමත් වූ අතරතුර ඉන්දීය මහා බෝධි සමාගමෙන් පවත්වන ලද සම්මුඛ පරීක්ෂණයකට ඉදිරිපත් වී ධර්ම දූත සේවය සඳහා ඉන්දියාවට වැඩම කරන ලදී. මුලින්ම කල්කටාවේ ධර්මරාජික විහාරයටත් එතනින් බරණැස ඉසිපතනාරාම මූලගන්ධකුටි විහාරයට වැඩම කරන ලදී. විදේශීය ධර්ම දූත සේවය සඳහා කැපවූ නාහිමියන් අනගාරික ධර්මපාල භික්ෂු පුහුණු මධ්‍යස්ථානාධිපති වශයෙන් සේවය කරමින් කුඩා සාමණේර හිමිවරුන්ට ධර්ම ඥානය ලබා දුන් අතර නව මූලගන්ධකුටි විහාරය බිර්ලා ධර්ම ශාලාව වැනි ආයතනද පාලනය කළ අතර තුර බරණැස නුවර සිට ස්ථාන මාරුවක් ලබා බුද්ධගයාවට වැඩම කරන ලදී.

“විහාර මහා දේවී” කුළඟන සමිතිය ආරම්භ කරමින් එහි අනුශාසක ධුරය දරමින් “ශ්‍රී සූර්යෝදය” දහම් පාසලද ආරම්භ කරන ලදී. එහි ප්‍රධානාචාර්ය හිමියන් ලෙසින් කටයුතු කරමින් කෙටි කාලයක් තුළදී මෙම සූර්යෝදය දහම් පාසල කටාන මීගමුව ශාසනාරක්ෂක මණ්ඩලයේ දහම් පාසල් අතර කැපී පෙනෙන දහම් පාසලක් බවට පත් කරන ලදී. “සදහම් සරණ” තරුණ බෞද්ධ සංගමය පිහිටුවා තරුණ පිරිසට මඟ පෙන්වනු ලබයි. එසේම විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන ක්‍රියාත්මක වන දායක සභාව, විහාර කාර්ය සාධක සමිතිය සහ දහම් පාසල් සංවර්ධන සමිතිය ආදි විහාරස්ථ අනෙකුත් සමිති වල සභාපතීත්වය දරමින් ඒ තුළින් ගමේ සංවර්ධනයට අවශ්‍ය කටයුතු රාශියක් ඉටු කරනු ලබයි. එසේම ගමේ පොදු සමිති සමාගම්වලට ද වැඩම කර සහභාගි වෙමින් අනුශාසනා කරමින් ගමේ දියුණුවට නිරතුරුව කැපවී කටයුතු කරනු ලබයි.