Print this Article


දුටුගැමුණු මහ රජතුමා: 53 කොටස:

දුටුගැමුණු රජතුමා නැවතත් සටනට එන බව සැල වේ

ඔහු එය අනුමත කරමින් උපතිස්ස දෙස බලා කළ ඉඟියෙන් යුතුව කතා කළේ ය. “සිරිනාගට තාවකාලිකව විජිතපුර සේනාංකය පවරන එක හොඳයි. ඔහුගේ දක්ෂතාවලිනුත් ඔවුන් මුවහත් කර ගන්නට පුළුවන්.

දුටුගැමුණු රජු ජයග්‍රහණය තෙක් වරින් වර සටන් කරාවි. උපතිස්සට එහි කලක් රැඳෙන්නට වුණොත් සිරිනාග මහා සෙනෙවි දිගටම මා යටතේ ඉන්නට කැමති වන එකක් නැහැ. ඒ නිසා මට දේශ සීමා පුළුල් කිරීමේ සටන කරගෙන යන්නට පුළුවන්.”

“දැනට හොඳම යුද සංවිධානයක්, ආරක්ෂක ක්‍රියාවලියක් තියෙන්නේ විජිතපුර. එය අවුල් වෙනවාට මම කැමති නැහැ. ඒ නිසා උපතිස්ස දිගාමඩුල්ලට යැවිය යුතු නැහැ. අපි සිරිනාගව යවමු. සිරිනාගගේ අකමැත්තක් නැත්නම්,” එළාර මහා රජතුමා කීවේ ය.

එයට කාගේත් අනුමැතිය ලැබිණි.

“මහ රජතුමනි, මෙවරත් තිස්ස කුමාරයාගේ සහායට යාමට මම කැමතියි. මිත්‍ර මහ සෙනෙවිගේ පුත්‍රයකු ලෙස වෙස්වළාගෙනයි මා එහි පෙනී සිටියේ. හැකිතාක් සිංහල සෙනෙවිවරුන්ගෙන් ඈත් වී සිටින්නට හැකිවීම මට වාසියක් වුණා. දස මහා සෙනෙවිවරුන් ප්‍රමුඛ සේනාංක යුද වැදුණොත් අපට ජය ගන්නට අමාරු වේවි .”

“මට දැනට ලැබී තිබෙන ආරංචි අනුව මහනුග්ගල ප්‍රතිඥාවට මැදි වූ කිසිවෙක් සහෝදරයන් අතර ගැටුමට මැදිහත් වෙන්නේ නැහැ. ඒ නිසා මෙවර අපට දුටුගැමුණු රාජ්‍ය ලෙහෙසියෙන් පරාජය කරන්නට පුළුවන් වේවි.”

දීඝාභය සෙනෙවිතුමාගේ චර පුරුෂයන් මාගම සිටින බවක් මා දැන සිටියේ නැහැ. විහාර මහා දේවියගේත් අදහස නන්දිමිත්‍ර, සුරනිමල, වේළුසුමන ප්‍රතිඥාව නොබිඳීන බවයි. එසේ වුවහොත් අපට දුටුගැමුණු රජතුමා පණපිටින් අල්ලා ගෙන රජරටට ගෙන ඒම අපහසු වෙන එකක් නැහැ. “

එළාර රජතුමාගේ සිතට නැඟුªණු සතුට මුහුණෙන් පිළිබිඹු වන්නට විය.

රජතුමා විසින් සිරිනාග අනුරාධපුර රාජධානියේ පමණක් නොව සමස්ත උතුරු කරයේ ම සේනාධිනායකයා ලෙස පත් කරනු ලැබිණි. එමෙන්ම හතළිස් දහසක සේනාංකයක් ඔහු යටතට පත් කෙරිණි. ඔහු දිගාමඩුල්ලට ගිය පසු නැවත එනතුරු එම ප්‍රදේශයේ වගකීම දීඝාභයට පැවරුණි.

නැවත වතාවක් මෑණියන් වහන්සේ හා කඩොල් ඇතු ලබා ගැනීම සඳහා සටන් වැදුණහොත් දුටුගැමුණු අන්ත පරාජයකට පත්කර අල්ලා ගැනීමට හෝ පලවා හැරීමට කටයුතු කරන ලෙස දීඝාභය තිස්ස කුමාරයාට උපදෙස් දී තිබිණි.

“නැවතත් සේනාව මෙහෙයවන්නට සිරිනාග එවනවා. භය නොවී සටනට මුහුණ දෙන්න.” දීඝාභය තිස්ස කුමරු වෙත දන්වා යවා තිබිණි.

“සිරිනාග දක්ෂයෙක්. මෑණියන් වහන්සේගේත් ප්‍රසාදය දිනා ගන්නට ඔහුට හැකි වුණා. ගැමුණු අයියණ්ඩිය තව දින කිහිපයකින් යළිත් සටනට එන බව ආරංචියි “. තිස්සගෙන් දිඝාභයට ලැබුණු හදිසි පණිවිඩයකි.

හදිසියේ එළාර රාජමාළිගයට රැස්වූ මහා සෙනෙවිවරු රහස් කතාබහක යෙදුණහ.

“අපි දැන් තිස් දහසක සේනාංකයක් දිගාමඩුල්ලට යවා තිබෙනවා. හෙට තිස්ස කුමාරයා පනස් දහසක බල ඇණියක් සමග දුටුගැමුණු රජු සමග මුහුණට මුහුණ සටන් කරනවා. “

“සිරිනාග ඔබ ඉක්මණින් දිගාමඩුල්ලට යා යුතුයි. තිස්ස කුමාරයාගේ සෙනෙවියකු ලෙස වෙස්වලාගත් පසුව ඔබට අවහිරයකින් තොරව යාගත හැකියි. එළාර රජු විශ්වාසය පළ කළේ ය.

“දුටුගැමුණු රජතුමාට මෙවර දසමහ සෙනෙවිවරුන්ගේ සහාය ලැබෙන්නේ නැති නිසා අන්ත පරාජයක් හිමිවනු නියතයි “ දීඝාභය කීවේ ය.

“සිරිනාග, මෙවර ජයගෙන පැමිණි පසු අපි මාගම රාජධානියේ ඔටුන්න ඔහුට මෙහිදී පළඳීනවා.” කියමින් එළාර රජු සිනාසුණේ ය.

“මහරජතුමනි, ගමනට අවසර දුනු මැනවි “

සිරිනාග සැමගේ ආශිර්වාදය මැද රජ මැඳුරෙන් පිටව ගියේ ය.

මහා සෙනෙවි මැදුරට ආ සිරිනාග මුලින්ම කළේ මහාසිව මාහිමිපාණන් වහන්සේ වෙත තල්පතක් ලිවීම ය. ඉන්පසු ජයනාථ සිටුතුමා හමුවිය. තමන්ට පැවරී ඇති අප්‍රසන්න කාරිය ගැන ඔහු සමඟ කීවේ ය.

“සමහරවිට මේ ගමනේ දී දින කිහිපයක් මා ගැන කිසිම තොරතුරක් නොලැබී යන්නට පුළුවන්. ලැබෙන ආරංචියක් ඇතැම් විට සතුටුදායක නොවන්නට පුළුවන්. ඒවා කෙසේ සිදුවුවත් කලබල විය යුතු නැහැ.”

සිටුතුමාට සහ සිටු මෑණියන්ට වැඳ සමුගත් සිරිනාග, සිය අසුපිටට නැඟී විජිතපුර බලා පිටත් විය. විජිතපුර දී දීඝාභය සමග එක් වූ ඔහු හිරු බැස යද්දී කසාතොටට පැමිණියේ ය. එහිදී දිඝාභයගේ උපදෙස් අනුව මහවැලි ගඟ තරණය කර යන්නට ලැබුණේ ටික දුරකි. උපතිස්ස ආරක්ෂක සේනාංකයේ සෙබළ පිරිසක් විසින් ඔහු අල්ලා ගන්නා ලදී

“තොප කවුරුන්ද ?”

“මම අනුරාධපුරයේ වැසියෙක් “

කුමක් සඳහා මෙහි පැමිණියේ ද ?”

“විහාරමහා දේවිය හමුවීම සඳහා පැමිණියෙමි “

“කාගේ වුවමනාවක් සඳහා ද ?”

දීඝාභය කුමාරයාගේ වුවමනාවක් සඳහායි “

“තොපගේ පණිවිඩය කුමක්ද ?”

“සාමය සඳහා පණිවිඩයක් “

“තොපගේ නම “

“අමිත “

අනුරාධපුරයෙන් ආ චරපුරුෂයකු කසාතොට දී අල්ලාගෙන ඇතැයි පැතිර ගිය ආරංචිය නිසා කලබල වෙන්නට පළමුව, උපතිස්ස සෙනෙවි වීසින් ඔහු තමන්ගේ කුඩාරමට ගෙන්වා ගනු ලැබිණි. චරපුරුෂයා දුටු උපතිස්ස පුදුමයට පත්විය.

“ජාතිද්‍රෝහියා , තොප මෙහි පැමිණියේ කුමක් සඳහා ද ? “උපතිස්ස සෙනෙවි කෝපයෙන් කෑගසන්නට විය.

“උපතිස්ස සෙනෙවිතුමනි, කලබල නොවන්න. මට වචනයක් කතා කිරීමට ඉඩ දෙන්න.”

“තොපට මා මුළා කළ නොහැකියි. මිත්‍ර සෙනෙවිගේ පුත්‍රයකු ලෙස පෙනී සිටිමින් තිස්ස කුමාරයාගේ සේනාව මෙහෙයවූයේ නුඹ නේද ?”

“ඔව්, මම ඒ ගමන ආවේ විහාරමහා දේවිය හමු වී කතා කරන්නයි.”

“ඒ කුමක් ගැනද ?”

“එතුමිය සහෝදරයන් අතර ඇති වී තිබෙන අරගලයට මැදිහත් නොවන්නේ මක්නිසාදැයි දැන ගැනීමට .”

“බොරු කියා ගැලවී යන්නට සිතන්නට එපා. හෙට ඇරැඹෙන සටනේ දී කුමාරයාගේ සේනාව භාරව කටයුතු කරන්නට නොවේද ?”

ජාතිද්‍රෝහියා, ගැමුණු ද්‍රෝහියා, කළ යුත්තේ තෝ මරා දමා මහවැලි ගඟට විසිකර දැමීමයි “