Print this Article


පහන් සිතක කවි

වඳිමි බුදුහිමි

රජ සැපත අතහැර
සව් සතට මෙත් පෑ බර
බුදු රජුනි අවසර
වඳින්නට පා තඹරු මනහර

දෙව්දත් තෙරුන්ටත්
තම පුත් රහල් හිමිටත්
පෑව නිති සම මෙත්
වඳිමි සම්බුදු පියා භගවත්

අසරණ සරණ වන
සත්හට නිවන පෙන්වන
යහ මගම යොදවන
වඳිමි සම්බුදු පියා සැම දින

සිත කය වචන යන
තිදොර සංවර ගෙන දෙන
දෙසූ දම් නිතියෙන
වඳිමි සිරිපා කමල අදරින


සදහම් සිතිවිලි

වෙසක් දිනට මතකයෙ ඇති වෙසක් බණ
අමතක කර දමයි බුදු ගුණ හුඟක් දෙන
මිනිසුන් හෙයින් අපි සසරින් ඉවත් වෙන
හිතුවොත් හොඳයි ගුණ යහපත්කමක් ගැන

පැමිණුන පසුව බව සසරේ දුර පීනා
දුටුවෙමි ඉවත පැන යන හැටි මරු සේනා
දැන ගත යුතු ය හැමදෙන සිත සුව ගේනා
සීලය භාවනාවය නිවනට ඕනා

සුවදායකත්වය නැත මේ බවයෙ පැතු
කොතැනද නතර වන්නේ අපි සසර මතු
පහදනු පිණිස බුදු දහමේ සියලු තතු
කාලය මෙයයි බුදුහිමි මෙහි වැඩිය යුතු


නෑදෑකම

මව් කුසයෙන් බිහිවූ දරුවා බබා ය
පසුව එයා නංගී හෝ මල්ලී ය
ඊට පසුව අක්කා හෝ අයියා ය
වැඩිහිටි වෙද්දි නැන්දා හෝ මාමා ය

ඉන්පසු එයා අම්මා හෝ තාත්ත ය
එයින් පසුව ආච්චි හෝ සීයා ය
නෑදෑකම් මෙලෙස ටික කලකට වේ ය
අන්තිම තැනට නෑදෑකම මල මිනිය

ගම්බද පාරක්ය මිනිසත් ජීවිත ය
බුදු හිමි දෙසූ බණ මිනිසට පාරක් ය
ඒ පාරේ ගියොත් මිනිසා මිනිසෙක් ය
දැහැමින් ජීවිතය ගෙව්වොත් පොහොසත් ය


ගොවි මහතා හිනැහෙනවා

පොහොරයි ජලයයි දමමින්
සරු පොළොවේ සිටවූ ඇට
ටික ටික හිස ඔසවනවා
හිනැහෙන පැළ දෙස බලමින්
ගොවි මහතා හිනැහෙනවා
දහඩිය බිඳු වගුරවමින්
නිසරු පොළොව සරු කෙරුවත්
දුකක් නොමැත සිතට කිසිත්
වායු පොදක් ලැබ දෙන්නේ
නොමිලේ ම යි සැම දෙනාට
ණයක් නොමැති නිසාම මෙම
අතමිට සරු කර ගන්නේ
රටට ම සෙත සලසවමින්
ගොවිතැන රජකම ම තමයි


නිමල සිත

තම දිවි පැවැත්මට තෙරුවන් නැමදීම
පස් පව්වලින් වැළකී ජීවත්වීම
ඇස් දෙක වගේ තම මව්පිය රැක ගැනුම
ආගම දහම තම පණ මෙන් රැකීම

කිසිවිට එපා ගුරුවරුනට ගැරහීම
වැඩිහිටියන්ගෙ හොඳ ඔවදන් පිළිපැදුම
ඇති හැකි විටදි නැති අය හට දන්දීම
මෙත් කරුණා ගුණය සැමටම පැතිරීම

කලණ මිතුරුකම වටිනව හැමදාම
ලබන දෙයින් සිත් සතුටට පත්වීම
ඉගෙන ගන්ට ඇත බොහොදේ හැමදාම
සිංහලකමට වටිනව ජීවත් වීම


මවකගේ මහිම

තුන් ලොව උතුම් දරුවන් බිහිකළ අම්මා
බුදුවරු ලොවට බිහිකළ බෝසත් අම්මා
සක්විති රජුන් බිහිකළ පින්වත් අම්මා
දෙවිවරු වගේ දරුවන් බිහිකළ අම්මා

දරුවන් මෙලොවට බිහිකළ ආදර බර අම්මා
හොඳට උගන්වා හරිමඟ පෙන්වා දුන් අම්මා
බුදුන් සරණ යන්න කියා බුදුමඟ පෙන්වූ අම්මා
ගෞතම බුදු සසුනේදිම නිවන් දකින් අම්මා


පමා ඇයි?

කවදා දකින්නද දිවියේ නිමාවක්
ඇයි මේතරම් අපි තවමත් පමාවක්
අනියත බවට යොමුකර කල්පනාවක්
නොකළොත් සැමට මරුගෙන් නැත සමාවක්

සතර පෝයදාට ම පන්සල් යන්නේ
අටසිල් තමයි වැඩි හරියක් රකින්නේ
දහම් පද තමයි නිරතුරු අසන්නේ
කවදද ඉතින් මඟ පලයක් ලබන්නේ

ශ්‍රද්ධා භක්තියක් මනසේ රඳවා ගමු
මියයන මොහොතේදි මෙය සිහිපත් කරමු
ඊළඟ භවෙත් ඉපදී ගුණදම් පුරමූ
මේ බුදු සසුනේ ම සසරින් එතරවෙමූ


මායාව

ඇත නැත කියා කිසිවක් මේ ලොවෙහි නැත
පිනින් මවාගත් දෙය පමණක් ඇතැයි මත
අල්ලා ගත් දෙය අතහැරීමට කැමති නැත
මිරිගුව දැක අත නොහරින සසල සිත

නුඹෙ බර නුඹට නොදැනේ නොදකිනා තුරා
ඇති වී නැතිවී යන බව පවතියි දහම පුරා
ලෝකය ඔබයි සැරි සරනා සසර පුරා
මැදුම් පිළිවෙතේ මගයි යා හැකි නිවන කරා