Print this Article


ජීවිතයට වටිනාකමක් දෙන්න කරුණාව - මෛත්‍රිය බෙදා හදා ගන්න

ජීවිතයට වටිනාකමක් දෙන්න කරුණාව - මෛත්‍රිය බෙදා හදා ගන්න

කෝලිය ධනවත් තරුණයෙකි. දිනක් ඔහු බුදුරජාණන් වහන්සේ වෙතට පැමිණ මෙවැනි ප්‍රශ්නයක් ඉදිරිපත් කළේ ය. “භාග්‍යවතුන් වහන්ස මම තරුණ වයසෙහි පසුවෙමි. විවාහ ජීවිතයට පත්ව මිල මුදල් පරිහරණය කරමින්, වටිනා ඇඳුම් ඇද පැළඳ හැඩ බලමින්, සුවඳ විලවුන් පරිහරණය කරමින් ජීවත්වන්නට කැමත්තෙමි. මෙවැනි ජිවිතයක් ගත කරන තරුණ වයසේ පසුවන මාහට බුදුරජාණන් වහන්සේ කියා දෙන මාර්ගය පිළිපදිමින් සතුටක්, ප්‍රීතියක් හා වින්දනයක් ලැබිය හැකි ද? " යනුවෙනි.

බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ හැකි බව ය. වර්තමාන සමාජය එදා සමාජයට වඩා සිත් ඇදගන්නා වට පිටාවකින් සංකීර්ණ වී ඇති බව සත්‍යයකි. එහෙත් දීඝජානු කෝලිය තරුණයාගේ ප්‍රශ්නයෙන් පිළිබිඹු වන්නේ ද වර්තමානයේ තරුණ සිතක හා බලාපොරොත්තුව ම නොවේ ද?

බුදුරජාණන් වහන්සේගේ පිළිතුර වූයේ තරුණ ජීවිතයක සතුට ලබමින් නිරාමිෂ ප්‍රීතියක් ද ලබන්නට හැකි බව ය. මෙහි දී වරදවා තේරුම් ගන්නට එපා.“තරුණ වයසට ඔහොම තමයි“ යැයි පවසමින් සිතට අයාලේ යන්නට ඉඩ හැර, හැඟීම්වලට වහල් ව ලබන සතුටක් නම් නොවෙයි මෙතැන විස්තර වන්නේ. බුදු දහමේ පෙන්වා දුන් සදාචාරාත්මක මඟක් ඔස්සේ ලබන තරුණ සිතේ සතුටයි.

ඒ තරුණ සිතට බෞද්ධ ධර්මයට අනුව පවසන්නේ අධ්‍යාපනයේ දී මෙන් ම රැකියා, ව්‍යාපාරයන්හිදීත් ‘උට්ඨාන‘ වීර්යයෙන් හා මනා සිහි නුවණින්, සංයමයෙන්, කම්මැළි නොවී, ධාර්මික ව ක්‍රියා කළ යුතු බවයි.

“මම කැමති මෙහෙම ජීවත් වන්න“, “මේ ආකාරයට ජීවිතය ගොඩනඟා ගන්න“, මම මේ සියලු දේ කරන්නේ මගේ සිතේ සතුටට, මෙවැනි වදන් කොපමණ නම් තරුණ දරුවෝ කියනවා ද? තරුණ කාලය නම් ශාරීරිකවත් මානසිකවත් මහත් වූ ශක්තියක් තිබෙන කාලයක් නිසා අධ්‍යාපනය වෙනුවෙන් නිවැරැදි ව ධනයක් සොයා ගැනීම පිණිසත් උත්සාහයෙන් කටයුතු කිරීම බෞද්ධ දර්ශනයට අනුව අගය කරයි.

තරුණ වයසේ දී ඒ මඟ නොගිය අයට ජීවිතයේ පසුකාලයේ දී අපමණ පීඩා වන්නට මුහුණදීමට සිදුවේ. “මේ තරුණ කාලේ නට නටා හිටියොත් අනාගතයේ දී අඬන්න වේවි. ඔය ශක්තිය හැමදාම තියෙන්නේ නැහැ“ යනුවෙන් තරුණ පිරිස් අමතා වැඩිහිටියන් නිතර පවසනු අපි අසා ඇත්තෙමු.

බුදු දහම දෙවනුව පෙන්වා දෙන්නේ උත්සාහයෙන් උපයාගත් දේ හොඳීන් ආරක්ෂා කරගත යුතු බවයි. තුන්වනුව, යහපත් වූ ඇසුරක් අවශ්‍ය බවයි. තරුණ වයසේ දී බොහෝ අයගේ ලෝකය ගොඩනැඟෙන්නේ යහළු මිත්‍රයන් සමඟ ය. නොගැළපෙන ඇසුරකට යොමු වුණොත් මුළු ජීවිතය ම බලා සිටිය දී ම විනාශ වී යන්නට පුළුවනි. යහපත් කල්‍යාණ මිත්‍ර ඇසුරකට යොමු වුණොත් එය ම ජීවිතයේ දියුණුව පිණිස මහත් සේ උපකාරී වේ.

සමහර තරුණ දරුවන් සමාජයේ පැවතගෙන එන සිරිත් විරිත් දකින්නේ යල් පැනගිය පරණ කාලයේ දේ ලෙස ය. එහෙත් ඒ සිරිත් විරිත් තුළ ජිවිතයට ප්‍රබෝධයක් ඇති කිරීමේ ශක්තියක් තිබේ.

හතරවනුව බුදු දහම පෙන්වා දෙන්නේ ආදායම මැනවින් දැන එයට ගැළපෙන අයුරින් වියදම් කිරීම ය. වර්තමානයේ අපගේ කාර්යයන් පහසු කරන විවිධාකාර නවීන මෙවලම් තිබේ. සෙලියුර් දුරකතන, වාහන, ඇඳුම් පැළඳුම් හා ගමන් බිමන් යන මේවා සියල්ල ම ළඟා කර ගත යුත්තේ තමාගේ ආදායමට ගැළපෙන අයුරින් ය. එසේ නොවුණොත් තමන් ණය කාරයෙක් විය හැකි ය. තම මවගේ පියාගේ ධනය හෝ අනිසි ලෙස පාවිච්චි කිරීම හොඳ දෙයක් නම් නොවෙයි.

තමා උපයන ධනය පරිහරණය කිරීම පිළිබඳව බුදු දහම වටිනා උපදේශයක් ලබා දී ඇත. උපයන ධනය කොටස් හතරකට බෙදා එක් කොටසක් ආහාර, ඇඳුම්, පැළඳුම් හා බෙහෙත් වැනි එදිනෙදා ජීවිතයේ කටයුතු සඳහා යොදා ගන්නා ලෙස ය. කොටස් දෙකක් නැවත ආදායමක් ලැබෙන හෝ ප්‍රයෝජනවත් යමකට යොදවන්න. සතරවන කොටස, හදිසි උවමනාවක දී ගැනීම සඳහා තැන්පත් කොට තබන්න යනුවෙනුයි.

වර්තමාන සමාජයේ පවතින එකිනෙකා පරදා යන්නට වෙරදරන තරඟකාරී බවින් අත්මිදී තමාගේ තරම දැන කටයුතු කිරීමෙන් වියදම තරමකින් හෝ පාලනය කරගත හැකි ය. තරුණ වයස හා එහි ඇවතුම් පැවතුම් කිසි විටෙකවත් “නාස්තිකාර දරුවෝ“ නම් වූ නාමයට ඇතුළත් වන අයුරින් කටයුතු කරන්න නම් එපා.

එදා දීඝජානු කෝලිය තරුණයා බුදුරජාණන් වහන්සේගෙන් ඇසූ ප්‍රශ්නයෙහි තවත් පැත්තක් මේ ආකාරයෙන් පැහැදිලි කළ හැකි ය. “සද්ධා සම්පදා“ එනම් පිරිසුදු සිතක් ඇතිකර ගැනීමයි. අනුන්ට උදව් උපකාරී වීමට කැමති වීමයි. කාරුණිකවීමයි. තමා ගැන පමණක් ම නොව අන් අයගේ දුක වේදනාව හඳුනාගන්න හැකි අයකු වීමයි. සීල සම්පදා, හැදිච්චකම අවශ්‍යයයි. සීලය යනු තාරුණ්‍ය හා නොගැළපෙන වචනයක් නොවේ. සමහර තරුණ දරුවන් සිතන්නේ සීලය යනු සිත කළකිරවන, මෙලොව ජීවිතය එපා කරවන්නක් ලෙස යි. එය එසේ නොවේ. හැදිච්චකම තුළින් ජීවිතය ප්‍රසන්න හා ප්‍රබෝධවත් කිරීමක් සිදු වේ. සීලය නොමැති තැන බොහෝ කෙනෙක් මෙහෙම කියනවා ඔබ අසා ඇත. ඔබ කතා කරන්නවත් දන්නෙ නැහැ. ඔබ හැසිරෙන්නේ මනුස්සයෙක් ලෙසින් නම් නොවේ. ඔබ හැඩට රුවට කොපමණ ඇඳුම් ඇන්දත්, වටිනා මාල වළලු පැළඳුවත් හැදිච්චකම හෙවත් සීලය නොමැති නම් ඔබ දෙස බලන කවුරුත් පිළිකුලෙන් හා අමනාපයෙන් බලාවි.

පරිතශාශීලි සිතක් ඇති කර ගැනීම ද අවශ්‍යයයි. පළමුව කරුණාව හා මෛත්‍රිය, ලෙන්ගතුකම බෙදාහදා ගන්න. අනතුරුව තමන්ට ඇති හැටියෙන් අන් අයට පිහිටවන කෙනෙක් වෙන්න. ගෘහය තුළ දී ද ඒක මට අයිති නැති වැඩක් නොවෙයි.“ යැයි කියමින් කළ යුතු වැඩක දී මඟහරින්නට උත්සාහ ගැනීම ක්‍රියාශීලි තරුණ පුතකු ගේ, දුවකුගේ පුරුද්දක් නම් නොවෙයි. නිවසින් බැහැරව තැනක දී නමුත් පිහිටවිය යුතු අවස්ථාවෙහි “ඕනෑම අයකුට පිහිටවීමට තරම් නම්‍යශීලිවීම මිනිසත්කමේ ලක්ෂණයක් විය යුතුයි.

යම් විටක ඔබ මහලු මවකට හෝ පියකුට බස් රථයේ දී නැඟිට ආසනය පිරිනැමීම විය හැකි ය. එවන් අවස්ථාවක දී ඒ මවගෙන් හෝ පියාගෙන් ලැබෙන කාරුණික සිනහව ඔබට කොපමණ නම් අගනේ දැයි සිතන්න. එසේ නැතත් මම උදව්වක් කළා යැයි සිතිවිල්ල ඔබගේ සිතට ප්‍රීතියක් වේවි. ඒ වගේ ම ඔබට තවත් කෙනකුට ඇහුම්කම් දෙන්න තරම් කාරුණික හා පරිත්‍යාගශීලි වෙන්නට පුළුවනි ද?

මේ ලෝකයේ ජීවත්වන සෑම අයකුට ම තවත් අයෙකුට කියන්න කතාවක් තිබේ. එනමුත් විශ්වාසයෙන් අහගෙන ඉන්න, සමීප කෙනෙක් සොයා ගැනීම පහසු නැත. ඔබට නිවස තුළ ඇහුම්කම් දෙන්නෙක් වීමට පුළුවනි ද?

ඒ ඔබේ මව, පියා, සහෝදර, සහෝදරියන්ට, ස්වාමියාට හෝ බිරිඳට විය හැකියි. සමහර තරුණ දරුවෝ තමන්ගේ සිත රිදවන වේදනාකාරී සිතිවිලි ළඟම යහළුවකුට හෝ යෙහෙළියකට පවසා දීර්ඝ හුස්මක් හෙළාවි. මගේ ඔළුව නිදහස් යැයි කියන අයුරු ඔබ අසා ඇත. ඊළඟට මෙහෙම කියාවි, ‘අනේ ඔයාට පින්, බොහෝ ම ස්තූතියි.’ මේ වගේ සිදුවීම් දකිනකොට, ඇසෙනකොට එහි මනුස්සකම කොපමණ අගේට රැඳී තියෙනවා දැයි ඔබට සිතෙන්නේ නැද්ද?

හතරවන කරුණ වන්නේ නුවණ ඇති ව ක්‍රියා කිරීමයි. නුවණ හා ප්‍රඥාව වැනි වචනවලින් බෞද්ධ දර්ශනය ගැඹුරු අදහසක් ඉදිරිපත් කරයි. එනම් ඇස, කන, නාසය, දිව හා ශරීරය නම් වූ පඤ්ච ඉන්ද්‍රියන් ඔස්සේ ලෝකය හා සම්බන්ධ වන විට, සිතින් ගන්නා සෑම අරමුණක් ම එම අරමුණෙහි ගැබිව ඇති සැබෑ ස්වභාවය ද හඳුනාගෙන කටයුතු කිරීමයි.

මේ ලෝකයේ කිසිවක් ස්ථිර නැහැ. සියලු දෙය ම වෙනස් වෙයි. පණ ඇති පණ නැති හැම දෙයක් ම එයට අඩංගුයි. මේ බව අවබෝධයෙන් කටයුතු කළා ම ඒවා වෙනස් ව නැතිව යන විට නොහඬා, නොතැවී සිටීමට ඔබට හැකි වේවි. වෙනස්වීම හා මෙලොව හැම වස්තුවක් ම අනිත්‍ය බව අමතක කරන්නට උත්සාහ කළොත් ඒවා වෙනස් වන හැම විට ම හඬාවි, දුක්වේවි. ලෝක ස්වභාවය වෙනස් කරන්නට අපට බැරිවේවි.