Print this Article


ලක්දිව සංඝරාජ පදවිය 12: සබරගමුවේ සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පදවි

ලක්දිව සංඝරාජ පදවිය 12:

සබරගමුවේ සහ දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පදවි


උයන්වත්තේ ධම්මදින්න රේවත නාහිමි

හාල්දඬුවන ධම්මරක්ඛිත
නාහිමි


වේහැල්ලේ අත්ථදස්සි ධම්මපාල නාහිමි


කෝදාගොඩ ඤාණාලෝක
නාහිමි

"කරතොට නාහිමියන් අල්ලා ගත නොහැකි වූ කල රජතුමා විසින් සිරිපා නායක පදවිය මොරතොට ධම්මක්ඛන්ධ හිමියන්ට ද, පහතරට නායක පදවිය කුරුඹුරේ විහාරයේ දෙමටපිටියේ සංඝරක්ඛිත හිමියන් වෙත ද පවරන ලදී. මෙහි විශේෂත්වය නම් සිංහල රජු විසින් දෙමටපිටියේ හිමියන් ද, යුරෝපීයයන් විසින් කරතොට නාහිමියන් ද එකම අවස්ථාවක පහතරට නායක පදවියට පත් කිරීමයි."

පහතරට ප්‍රධාන සංඝ නායක පදවිය හෙබ වූ කරතොට ධම්මාරාම නාහිමිපාණන් වහන්සේ ශ්‍රීපාදස්ථානාධිපති පදවිය අයැදුම් කරද්දී මල්වතු විහාරයේ මහානායක පදවිය හෙබ වූ මොරතොට ධම්මක්ඛන්ධ මහ නාහිමියන් ද එම ශ්‍රීපාද නායක පදවිය අයදුම් කළහ. පෙර සිරිත අනුව වේහැල්ලේ සඟ පරපුරට උරුම පදවිය නිසාවෙන් දෝ රජතුමා එම පදවිය කරතොට නාහිමියන්ට පිරිනැමීය.

මාතර නිජබිම කොටගත් කරතොට නාහිමියන් ලන්දේසීන් හට පක්ෂපාත යැයි විරුද්ධවාදීන්ගේ කේලාම් ඇසූ රාජාධිරාජසිංහ රජතුමා කරතොට නාහිමියන් නිවාස අඩස්සියට පත් කළ කල්හි අතිශය දුෂ්කර පද්‍ය නිර්මාණයක් වූ බාරස කාව්‍යය නම් පද්‍ය නිර්මාණය කොට රජුගෙන් සමාව ලබා කොලොන්නා කෝරළයේ සංඛපාල විහාරය සහිත නව යොදුන් ගම්වරයෙන් පුද ලැබීය.

සිරිපා නින්දගම ලබා කරතොට නාහිමියන් පැල්මඬුල්ලේ වසද්දී නැවත වරක් විරුද්ධවාදීහු පෙර චෝදනාව ම සිදු කළහ. හිමියන් අල්ලාගෙන එන ලෙස රජතුමා දොඩම්වල නිලමේ පිටත් කළේ ය. කෑගල්ලේ දී දොඩම්වල නිළමේ සිදු වීමට යන අනතුර කරතොට නාහිමියන්ට රහසින් දන්වා සිටියෙන් නාහිමියන් මාතරට ගොස් ජීවිතාරක්ෂාව සහතික කොට ගන්නා ලදී. මුහුදුබඩ පාලනය කළ ලන්දේසි සහ ඉංග්‍රීසි ආණ්ඩුවලින් ද පහතරට නායක පදවිය කරතොට නාහිමියන් වෙත සන්නසක් මඟින් පිරිනමා පතාග 35ක වැටුපක් ද ලබා දුන්නේ ය.

කරතොට නාහිමියන් අල්ලා ගත නොහැකි වූ කල රජතුමා විසින් සිරිපා නායක පදවිය මොරතොට ධම්මක්ඛන්ධ හිමියන්ට ද, පහතරට නායක පදවිය කුරුඹුරේ විහාරයේ දෙමටපිටියේ සංඝරක්ඛිත හිමියන් වෙත ද පවරන ලදී. මෙහි විශේෂත්වය නම් සිංහල රජු විසින් දෙමටපිටියේ හිමියන් ද, යුරෝපීයයන් විසින් කරතොට නාහිමියන් ද එකම අවස්ථාවක පහතරට නායක පදවියට පත් කිරීමයි. දෙමටපිටියේ හිමියන්ට පසු අග්‍රබෝධි විහාරයේ අගලකඩ ධම්මරක්ඛිත හිමියෝ පහතරට නායක පදවියෙන් සම්මානිත වූහ. සිංහල රාජාණ්ඩුවෙන් අවසන් වරට පහතරට නායක පදවිය ලැබුවේ අගලකඩ නාහිමියන් බව වියතුන්ගේ මතයයි.

කරතොට ධම්මාරාම නාහිමියන්ගේ දිවියේ අවසාන භාගයේ දී එනම් 1826දී ගාල්ලේ මේධංකර හිමියන් පහතරට නායක පදවියෙන් පුද ලැබූහ. ඉන්පසු ඉඳුරුවේ සුමංගල මේධංකර හිමියන් ශ්‍රීපාදස්ථානය සහිත සපරගමු පළාතේ නායක පදවිය හොබවන ලදි. තදනන්තරව පැල්මඬුල්ල රජමහා විහාරාධිපති ඉඳුරුවේ පියදස්සි නාහිමියන් ද කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පරිවේණාධිපති, පණ්ඩිතශිරෝමණී මහගොඩ ඤාණිස්සර නාහිමියන් ද, ශ්‍රීපාදස්ථානාධිපති, මොරොන්තුඩුවේ ධම්මානන්ද නාහිමියන් ද සබරගමු පළාතේ නායක පදවිය හෙබවූ පසු පැල්මඬුල්ල රජමහ විහාරාධිපති රාජකීය පණ්ඩිත සාහිත්‍යශූරී හාල්දඬුවන ධම්මරක්ඛිත නාහිමිපාණන් වහන්සේ සපරගමු පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය හෙබවූහ. මීගහගොඩ පුරාණ විහාරාධිපති වේහැල්ලේ අත්ථදස්සි ධම්මපාල නාහිමියන්ට පසු වර්තමානයේ දී රාජකීය පණ්ඩිත ග්‍රන්ථවිසාරද කෑලිගම විජිතනන්ද නාහිමිපාණන් වහන්සේ සබරගමු පළාතේ ප්‍රධාන සංඝනායක පදවිය ශෝභාවත් කරති. මෙම නායක පදවියට පැවරෙන වගකීම් අතර සුවිශේෂී වගකීමක් වන්නේ ශ්‍රීපාදස්ථානාධිපති පදවිය පුරප්පාඩු වූ විට එම පදවිය සඳහා සුදුසු හිමිනමක පත් කර ගැනීමේ ක්‍රමවේදයේ නායකත්වය ගැනීමයි.

වර්ෂ 1827 කරතොට නාහිමියන් අපවත් වීමෙන් පසු ඒ වන විට මාතර සහ හම්බන්තොට දෙදිසාව එක් කොට තංගල්ල දිසාව නමින් රජය විසින් සම්මත කොට තිබූ නිසා තංගල්ල පළාතේ නායක පදවිය වල්ගම ධම්මානන්ද හිමියන්ට පිරිනමා ඇත. මෙය පහතරට නායක පදවියේ නම වෙනස් කිරීමක් ලෙස කඹුරුපිටියේ වනරතන නාහිමියෝ පවසති. වල්ගම නාහිමියන් අපවත් වීමෙන් පසු තංගල්ල යන නාමය අහෝසි කොට මාතර තංගල්ල දෙදිසාවේ නායක පදවිය යනුවෙන් පෙතන්ගහවත්ත විහාරයේ බෝවල ධම්මානන්ද නාහිමියන් වෙත සම්මත කළ ද රජයෙන් අක්තපත්‍රය ලබා ගැනීමට පෙර බෝවල හිමියන් අපවත් වී තිබේ. ඉනික්බිතිව ගොඩපිටිය ජේතවනාරාමයේ අකුරැස්සේ සුවණ්ණජෝති හිමියන් වෙත මාතර හම්බන්තොට දෙදිසාවේ නායක පදවිය පිරිනමන ලදී. ඉන් පසු අතුරලිය විහාරයේ අතුරලියේ සුමංගල හිමියන් වෙත 1845 වසරේ පිරිනැමුණු මෙම නායක පදවිය ඉංග්‍රීසි ආණ්ඩුවෙන් පිරිනැමුණු අවසාන නායක පදවියයි.

1853 වසරෙන් පසු නායක පදවි පිරිනැමීම පිළිබඳ බලය ඒ ඒ සංඝ සභාවලට පිරිනැමුණු පසු මල්වතු විහාරය විසින් 1881 වසරේ දී කොටිකාගොඩවත්ත විහාරයේ වැඩ සිටි වල්ගම ගුණරතන හිමියන් මාතර හමබන්තොට නායක පදවියේ පිහිටුවීය. වර්ෂ 1911 දී හිත්තටියේ ගුණරතන මුදලින් ද පරිවේණාධිපති රන්නේ සුදස්සි නාහිමියන් එම පදවියෙන් පුද ලැබීය.

රන්නේ සුදස්සි හිමියන් වෙත මාතර හම්බන්තොට නායක පදවිය පිරිනැමූ වකවානුවේ දී ම කුඹල්වැල්ලේ විද්‍යාකීර්ති පරිවේණාධිපති උයන්වත්තේ ධම්මදින්න රේවත නාහිමියන් වෙත දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පදවිය පිරිනැමීය. ඉන්පසු මාලිගාකන්දේ විද්‍යොදය පරිවේණාධිපති බද්දේගම පියරතන නාහිමි, අහංගම විද්‍යාචන්ද්‍ර පරිවේණාධිපති කෝදාගොඩ ඤාණාලෝක නාහිමි, විද්‍යොදය පරිවේණාධිපති අකුරටියේ අමරවංස නාහිමි, රුහුණු විශ්වවිද්‍යාලයේ කුලපති පල්ලත්තර සුමනජෝති නාහිමි යන නාහිමිපාණන් වහන්සේලා දක්ෂිණ ලංකාවේ ප්‍රධාන සංඝ නායක පදවිය හෙබ වු පසු වර්තමානයේ සිතුල්පව්ව රාජමහ විහාරාධිපති මැටරඹ හේමරතන නාහිමිපාණන් වහන්සේ එම පදවිය හොබවනු ලබති.

කරතොට ධර්මාරාම නාහිමියන් ජීවමාන අවධියේ දී ම මහනුවර රජ වාසලෙන් මහගොඩ ඉන්දසාර හිමියන් වෙත ගාලු දිසාවේ නායක පදවිය පිරිනමන ලදී. ඉන් පසු මහගොඩ ධම්මදස්සි හිමියන් එම පදවිය හෙබ වූ පසු වර්ෂ 1880 දී හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන් වෙත පුද කොට ඇත.