Print this Article


වෙනස

වෙනස

බුදුරජාණන් වහන්සේ සැවැත්නුවර දෙව්රම් විහාරයෙහි වැඩ වසන කාලයේ දවල් කාලයට බණ ඇසීමට පැමිණෙන පිරිස අඩු ය. රාත්‍රී කාලයෙහි බණ ඇසීමට පැමිණෙන පිරිස වැඩි ය. රාත්‍රියේ බණ අසන්නට පැමිණෙන අය අතර සොරුන් ද විය. එහෙත් ඒ සොරුන් මල්, පහන් පුදා සැදැහැති අය ලෙස බණ ඇසීමට පිරිස සමඟ වාඩි වේ. එක් සොරෙක් සම්පූර්ණ අවධානය යොමු කළේ අසල සිටි බණ අසන අයගේ මුදල් පසුම්බි දෙස ය. එක් සොරෙක් ක්‍රමයෙන් බණ අසත් ම දහම කෙරෙහි සිත ඇදී ගොස් ඔහු සෝවාන් ඵලයට පත් විය. අනිත් සොරා අවස්ථාවක් ලද විට සැදැහැති අයකුගේ මුදල් සොරාගෙන එම ස්ථානයෙන් බැහැර විය. බණ අසා සෝවාන් ඵලයට පත් සොරා හිස් අතින් ම ගෙදර ගොස් මැදියම් රැයෙහි නිදා ගත්තේ ය.

පසුදින උදෑසන ඔහුට සිදුවූයේ බිරිඳගෙන් බැනුම් ඇසීමට ය. “යහලුවා ඊයේ හොඳ හැටි සරු වී තම බිරිඳටත්, දරුවන්ටත් ආහාරපාන ගෙනවිත් දුන්නා. එහෙත් නුඹ නුවණ නැති බැවින් අපට බඩගින්නේ ඉන්නට සිදුවුණා” යැයි බිරිඳ දොස් කියන්නට වූවා ය. බිරිඳගේ ඇනුම්බැනුම් ඇසීමට නොහැකිව ඔහු ජේතවනාරාමයට ගොස් බුදුරදුන්ට ඒ බව කීවේ ය.

මෙම කරුණට සවන් දුන් බුදුරදුන් යම් නුවණ ඇති අයෙක් තමන්ගේ අනුවණකම් දනී නම් පණ්ඩිතයෙක් වන්නේ ය. යම් අනුවණයෙක් තමා පණ්ඩිතයෙක් යයි සිතයි ද ඒකාන්තයෙන් ම ඔහු මෝඩ පුද්ගලයෙක් බව වදාළහ. තමා පණ්ඩිතයා යැයි සිතන අනුවණයා ඒකාන්තයෙන් ම මෝඩයෙකි.