Print this Article


සදහම් අරණ

ආයාචනයක්

මුළු ලොවම පරිසරය සුරැකීම ගැන ඉතාමත් උනන්දු විය යුතු කාලයකි. පරිසරය විනාශ වූ විට ලෝකයට ම එය බලපායි. ගහකොළ, සතා සිවුපාවා. ඇළදොළ, ගංගා. කඳු වැටි, මහා සාගරය මේ සියල්ල පරිසරය ආරක්ෂා වීමට හේතු වේ. මිනිසුන්ගේ ක්‍රියාකාරකම් නිසා මේ සියල්ල විනාශයට පත්වෙමින් තිබේ. ඒ ලෝක විනාශයට අත වැනීමකි. පරිසරයට එකතු වෙන දිරාපත් නොවන කුණු කසළ විෂ අපද්‍රව්‍ය නිසා ගැඩවිලා, බත් කූරා, සමනලයා, මී මැස්සා , කණාමැදිරියා ආදි පරිසර හිතකාමී සතුන් විනාශ වෙමින් පවතී. ඇතැම් අය ආත්මාර්ථකාමී ලෙස වනාන්තර විනාශ කරති. වැලි ගොඩ දැමීම, ගල් කඳුවැටි කපා දැමීම, මහා පොළොව හාරා සම්පත් ගොඩගැනීම, ජල සම්පත අපිරිසුදු කිරීම ආදි බොහෝ විනාශකාරි ක්‍රියා දාමයක් කරති.

ඒ නිසා ජල ගැලීම්, නාය යෑම්, භූ කම්පන, ආදි විපත් සිදුවේ. වැඩිහිටියන් විසින් කුඩා අප ගැන අනුකම්පා කර අපේ අනාගතය සුරැකීමට පරිසරය රැක දීමට කටයුතු කළ යුතුව තිබේ.

ගුණ නුවණ දියුණු කරමු

දක්ෂ වඩු කාර්මිකයකු මනාව වැඩුණු දැවැන්ත ගසක් ඉතා සියුම් ලෙස පිළිසකර කර මනා පෙනුමැති විශිෂ්ට නිර්මාණයක් බිහි කරයි. එමෙන් ම නුවණැති මිනිසකු වෙතොත් බුදු දහම උපයෝගි කරගෙන සාරධර්ම දියුණු කරමින්, තම ජීවිතය දියුණුව කරා ගෙන යයි.

අප බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇත්තේ නිසරු දේ සරු ලෙස දකින, වැරැදි සිහිය ඇති මිනිසා කිසිදා දියුණුවට පත් නොවන බවයි. මනා දැක්මක් ඇති, දුර දක්නවා නුවණින් කටයුතු කරන මිනිසාට දියුණුව සැලසේ. එනිසා මතු අනාගතය සුන්දර කර ගන්නට පුංචි අප ද සාරධර්ම මත මනා ලෙස පිහිටා කටයුතු කරමු.

විරිදු

ගෞතම අපෙ බුදු හිමි සඳ
තෙ වරක් වැඩි මේ සිරිලක
පින් දම් කරමින් මනුසත
දහමින් පහදා තුන් හිත
බුදු හිමි වැඩි මේ පින්බිම
ගුණ සුවඳින් පුදමු නිතින

යහපත් කල්පනාව

ලොව වෙසෙන සෑම දෙනා ම දියුණුවට කැමති වන අතර, පිරිහීමට අකමැති වෙති. තමාගේ දියුණුව හෝ පිරිහීම සිදුවන්නේ තමාගේ ක්‍රියා කලාපය අනුව ය. තම සිත, කය, වචනය යන තුන් දොර අසංවර කර ගෙන පව් රැස් කරන්නෝ දෙලොව ම පරිහානියට පත්වන අතර, තම තිදොර සංවර කරගෙන පින් රැස් කරන්නෝ දෙලොව දියුණුව සලසා ගනිති. එසේ දෙලොව දියුණුව සලසා ගැනීම සඳහා යහපත් සිහිකල්පනාව බෙහෙවින් ප්‍රයෝජනවත් වේ. මෙම යහපත් සිහිකල්පනාව මඟින් අප වරදට යොමුවීම වළක්වා යහපතට පමණක් යොමු කරවයි. එදිනෙදා ජීවිතයේ දී සිදු කරන සෑම ක්‍රියාවක් ම මනා සිහි නුවණින් සිදු කරන විට සම්මා සතිය වර්ධනය වී අපගේ දෙලොව දියුණුව නිතැතින් ම සිදුවෙයි.

මගේ මාමා

මගේ අම්මා, ධනුෂ්කා දුලාරි සමරවීර ගේ එකම මල්ලී ලසින්ත ලක්මාල් සමරවීර මගේ මාමා ය. මාමා රාජකාරිය කරන්නේ ඓතිහාසික කන්ද උඩරට මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ, මාධ්‍ය ඒකකයේ ඩ්‍රෝන කැමරා ශිල්පියකු ලෙසට ය.

විශ්වයේ අතිශය උත්කර්ශවත් ආගමික සහ සංස්කෘතික මහ පෙළහර ලෙස සැලකෙන මහනුවර ශ්‍රී දළදා මාළිගාවේ ඇසළ මහ පෙරහර මංගල්‍යයට මගේ මාමා තවත් මාමලා කණ්ඩායමක් එකමුතුවෙන් මෙවර සහභාගි වූයේ හත් වැනි වතාවට යි.

එතෙක් මෙතෙක් ශ්‍රී දළදා මහ පෙරහරේ ආශ්චර්යවත් චමත්කාරය විසිතුරු වර්ණාවලියක් සේ ගුවනට දිස්වෙන අයුරින් රූපවාහිනී තිරය මතින් අප හට දැක බලා ගන්නට අවස්ථාව සැලසූ මගේ මාමත්, සෙසු හැමෝටමත් බොහෝ පින් සිදු වෙනවා.