Print this Article


සංඝ ශෝභන ගුණයෙන් පිරිපුන් ධර්මධර විනයධර නියංගොඩ විජිතසිරි අනු නාහිමිපාණන් වහන්සේ

සංඝ ශෝභන ගුණයෙන් පිරිපුන් ධර්මධර විනයධර

නියංගොඩ විජිතසිරි අනු නාහිමිපාණන් වහන්සේ

අද්‍යතන සම්බුද්ධ ශාසනාම්භරයේ සුදිලෙන පහන් තාරකාවක් බඳු වූ මහාවිහාර වංශික ස්‍යාමෝපාලි මහානිකායේ මල්වතු මහාවිහාර පාර්ශ්වයේ අනුනායක, ගිරිහාගම ශ්‍රී සුමංගලාරාමාධිපති, යක්කල වික්‍රමාරච්චි දේශීය වෛද්‍ය විශ්වවිද්‍යාලයේ කුලපති, අග්ගමහාසද්ධම්මජෝතිකධජ, සාහිත්‍ය චක්‍රවර්තී, ආචාර්ය නියංගොඩ ධර්මකීර්ති ශ්‍රී සංඝරක්ෂිත විජිතසිරි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ නොවැම්බර් මස විසි හය වැනි දින ස්වකීය පුණ්‍යවන්ත ජීවන ගමනේ තෙසැත්තෑ වන විය සපුරමින් සිව් සැත්තෑවන වියට පා තැබූහ.

වර්ෂ 1948 නොවැම්බර් මස 26 වැනි දින සාරසියපත්තුබද ගලසියපත්තුවෙහි නියංගොඩ ග්‍රාමවරයේ මොළගොඩ කෝරළේ නිවසෙහි ගෘහ ස්වාමී වූ ගුරු - විදුහල්පති යුවලක් වන හේරත් රාජකරුණා වාසල මුදියන්සේලාගේ කුඩාබණ්ඩා නියංගොඩ මැතිඳුන්ගේ සහ මොළගොඩ රාජකරුණා අතපත්තු වාසල මුදියන්සේලාගේ බිසෝමැණිකේ මැතිණියගේ පුත් රුවනක ලෙසින් ජන්මලාභය ලද අනුනාහිමිපාණන් වහන්සේ මොලගොඩ පියදස්සි විද්‍යාලයෙන් සහ මාතලේ විජය විද්‍යාලයෙන් අධ්‍යාපනය ලැබූහ.

සැදැහැති මව්පිය පරපුරෙන් ලද පන්නරය සහ පුරාකෘත පුණ්‍ය මහිමය හේතුවෙන් වැලිවිට සරණංකර සංඝරාජයන් වහන්සේගේ තෘතීය ශිෂ්‍ය වූ ගිණිගත්පිටියේ ශ්‍රී සංඝරක්ෂිත නාහිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරට අයත් මල්වතු මහාවිහාර පාර්ශ්වයේ කාරක සංඝ සභික ඇතුල්ගම ශ්‍රී දේවරක්ෂිත නාහිමිපාණන් වහන්සේ, නියංගොඩ පුරාණ විහාරාධිපති, විනයාචාර්ය බඹරදෙණියේ මේධානන්ද මාහිමිපාණන් වහන්සේ, ගල්ලෑල්ලේ නන්දසාර මාහිමිපාණන් වහන්සේ සහ වර්තමාන නියංගොඩ පුරාණ විහාරාධිපති, මල්වතු මහාවිහාර පාර්ශ්වයේ ජ්‍යෙෂ්ඨ කාරක සංඝසභික, හේනේපොල නන්දසිරි නාහිමිපාණන් වහන්සේ යන නාහිමිපාණන් වහන්සේලාගේ ආචාර්යත්වයෙන් වර්ෂ 1964 මැයි මස 26 වැනි දින නියංගොඩ පුරාණ විහාරයේ දී ප්‍රව්‍රජ්‍යා සම්පත් ලැබූහ.

පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති ව වැඩසිටි විද්වද්ජනශේඛරායමාන, සාර්වභෞම පණ්ඩිත යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ මාර්ගෝපදේශකත්වය යටතේ නියංගොඩ ශ්‍රී ධර්මාලෝක පිරුවනින් සහ වෑගම රත්මලේ රත්නසේල පිරුවනින් ධර්ම ශාස්ත්‍රෝද්ග්‍රහණ කටයුතු සිදු කොට පිරුණු විසි වයස් ඇතිව වර්ෂ 1970 වෙසක් පුර පසළොස්වක පොහෝ දින මල්වතු මහාවිහාරයේ රාජපූජිත මංගලෝ පෝෂථාගාරයේ දී අතිපූජ්‍ය සිරිමල්වත්තේ ආනන්ද මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්වයෙන් වාහලනාග නාමයෙන් අධිශීල ශික්ෂා සංඛ්‍යාත සුපරිශුද්ධෝපසම්පදාවට පත් වූහ.

වර්ෂ 1968 දී පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත්ව අධ්‍යයන කටයුතු සිදු කොට 1974 වසරේ ශාස්ත්‍රවේදී උපාධිය සහ පශ්චාත් උපාධි අධ්‍යාපන ඩිප්ලෝමාව ලබා පරිවේණාචාර්යයන් වහන්සේ නමක වශයෙන් හොරණ කුඩා උඩුව නාලන්දා පිරුවනෙහි සහ කොළඹ හුණුපිටිය ගංගාරාමස්ථ ඥානේශ්වර පිරුවනෙහි ද, පාඨශාලාචාර්ය ධර්මාචාර්යයන් වහන්සේ නමක වශයෙන් ගිරිහාගම නියාමක විද්‍යාලය, පරණගම මහා විද්‍යාලය, මහවැලි මහා විද්‍යාලය සහ මහනුවර කිංස්වුඩ් විද්‍යාලයේ සේවය කොට විශ්‍රාම ලැබූහ.

අතිපූජ්‍ය සිරිමල්වත්තේ ආනන්ද මහානායක ස්වාමින්ද්‍රයන් වහන්සේගේ ආශිර්වාදයෙන් වර්ෂ 1976 දී මල්වතු මහාවිහාරයේ කර්මවාගාචාර්ය පදවියකට ද, 1986 දී කාරක සංඝසභික පදවියකට ද පත් වූ නියංගොඩ විජිතසිරි අනුනාහිමිපාණන් වහන්සේගේ උභය ලෝක ශාසනික මෙහෙවර පිළිබඳ ප්‍රසාදයට පත් අතිපූජ්‍ය රඹුක්වැල්ලේ විපස්සි මහා නායක ස්වාමින්ද්‍රයන් වහන්සේ විසින් 1990 වර්ෂයේදී මල්වතු පාර්ශ්වයේ නියෝජ්‍ය ලේඛකාධිකාරී පදවිය ද, 1993 වර්ෂයේ දී මහා ලේඛකාධිකාරී පදවිය ද, ජ්‍යෙෂ්ඨ කාරක සංඝ සභික පදවිය ද පිරිනමන ලදී. මෙලෙස ගෘහස්ථ ප්‍රව්‍රජිත චිත්තාරාධනය ලබමින් ලෝක ශාසනික අර්ථචර්යාවෙහි පිළිපන් නාහිමිපාණන් වහන්සේගේ මහරු මෙහෙවර කෙරෙහි ප්‍රසාදයට පත් මල්වතු මහාවිහාර පාර්ශ්වයේ විංශත්වර්ගික කාරක මහා සංඝ සභාව මගින් 2004 වර්ෂයේ දී අතිපූජ්‍ය තිබ්බටුවාවේ ශ්‍රී සිද්ධාර්ථ සුමංගල අනුනාහිමිපාණන් වහන්සේ මහානායක පදවියට පත් වීමෙන් පුරප්පාඩු වූ අනුනායක පදවිය පුද දෙන ලදී.

අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ වියත්, විශාරද, බහුශ්‍රැත, ධර්මධර, ධර්මානුධර්ම ප්‍රතිපදාවෙහි හැසිරෙන සංඝ ශෝභන ගුණයන්ගෙන් පරිපූර්ණ වූ මහා යතීන්ද්‍රයන් වහන්සේ නමකි. රාජ්‍ය තාන්ත්‍රික කටයුතු, රටේ විවිධ පළාත්වල විහාරස්ථාන හා මහා සංඝරත්නය හා සබැඳී ආගමික කටයුතුවල දී මල්වතු මහාවිහාරය නියෝජනය කරමින් කළමනා කෘත්‍යයන් නොකඩ කොට සිදු කර දීමට අනුනාහිමිපාණන් වහන්සේ ක්‍රියා කරති. 1990 දශකයේ බුද්ධශාසනය හා බැඳී විවිධ අණපණත් සම්පාදනය කිරීමේ කටයුතු සඳහා දායකත්වය සැපයූහ. රටේ පැන නඟින විවිධ ගැටලු හමුවේ නොපැකිළිව තමන් වහන්සේගේ සහ මල්වතු මහාවිහාරයේ මතය ඉදිරිපත් කරමින් රටවාසීන්ගේ නොමඳ සම්භාවනාවට පත් වෙති. තමන් වහන්සේට ම අනන්‍ය වූ වාග්විලාශයකින් සාරගර්භ අනුශාසනා පැවැත්වීමෙහි නිපුණත්වයකින් හෙබි අනුනාහිමිපාණන් වහන්සේ චිරප්‍රසිද්ධ ධර්ම දේශකයාණන් වහන්සේ නමක සහ සරභඤ්ඤ විශාරදයන් වහන්සේ නමක වශයෙන් ද පෘථුලත්වයට පත් වූහ.

මල්වතු මහාවිහාරයේ විශ්‍රාමශාලාව, සංඝරාජ පිරුවන් ශිෂ්‍ය නේවාසිකාගාරය යන ගොඩනැඟිලි තනවා භෞතික සම්පත් සංවර්ධනය කිරීමට අනුනාහිමියන් වහන්සේ මූලිකත්වය ගනු ලැබූහ. වර්ෂ 1991 දී අතිදුර්ලභ බුද්ධෝපස්ථානයක් වූ ශ්‍රී දළදා මාලිගාවේ තේවා කටයුතු සඳහා දායකත්වය ලබා දුන් නාහිමිපාණන් වහන්සේ ජාත්‍යන්තර ධර්මදූත සේවා සඳහා ද දායකත්වය ලබා දුන්හ.

කොරියාවේ ඩේ ගන් සා බෞද්ධ අධ්‍යාපන විශ්වවිද්‍යාලයෙන් සම්මාන ආචාර්ය උපාධියක් ද, පෑලියගොඩ විද්‍යාලංකාර පිරුවන මඟින් ස්ථවිර වංශාලංකාර ශාසන කීර්ති ශ්‍රී ගෞරව නාමය ද, ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලය මඟින් සාහිත්‍ය චක්‍රවර්තී ගෞරවෝපාධිය ද, බුරුම රජය මගින් අග්ගමහා සද්ධම්මජෝතිකධජ ගෞරවාභිධානය ද පිරිනැමූහ. එසේම 2020 වර්ෂයේ දී කැලණිය විශ්වවිද්‍යාලයට අනුබද්ධ යක්කල වික්‍රමාරච්චි ආයුර්වේද වෛද්‍ය ආයතනය විශ්වවිද්‍යාලයක් ලෙසට උසස් කළ අවස්ථාවෙහි අභිනව විශ්වවිද්‍යාලයේ ප්‍රථම කුලපති පදවිය ශ්‍රී ලංකා ජනාධිපතිතුමන් විසින් අනුනාහිමිපාණන් වහන්සේ වෙත පුද දෙන ලදී.

තමා අභිමුඛයට පැමිණෙන කා හට වුවත් අනතිමානී ව සහ සමානාත්මතාවයෙන් සත්කාර සංග්‍රහ සිදු කිරීම අනුනාහිමිපාණන් වහන්සේගේ ගුණාංගයකි. මහාවිහාර සම්ප්‍රදාය ආරක්ෂා කොට සුරක්ෂිතව අනාගතය කරා සම්ප්‍රේෂණය කරනු වස් අනුනාහිමිපාණන් වහන්සේ සිදු කරනු ලබන මෙහෙවර සුවිශාල වෙයි.

පරමාදර්ශී දිවි පැවැත්මක පිහිටා සම්බුද්ධ ශාසන භාරධාරී මහා යතීන්ද්‍රයන් වහන්සේ නමකගේ කාර්යභාරය හඳුනාගෙන මැනවින් ඉටු කරමින් කිසිදු විවේක ගැනීමකින් තොරව ලෝක ශාසන සංග්‍රහයෙහි නිරත වන අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි අනුනායක ස්වාමින්ද්‍රයන් වහන්සේ හට එකී මෙහෙවර නොකඩ කොට සිදු කරනු පිණිස විංශත් ශතවර්ශාධික කාලයක් ආයු ආරෝග්‍යාදී සම්පත් සකලාභිවෘද්ධි සාධනය වේවා යි ප්‍රාර්ථනා කොට සිටිමු.