Print this Article


උතුම් මොහොත මඟහරවා නොගන්න

උතුම් මොහොත මඟහරවා නොගන්න

ඇගයීම, තක්සේරු කිරීම, වටිනාකම් තීරණය වැනි කරුණු සත්ත්ව සන්තානයේ කවදත් පවතින භාව ප්‍රකෘතීන් කිහිපයකි. ඒ අනුව පුද්ගලයන්, දේපළ, තනතුරු, බඩුමුට්ටු, කලා කෘති , සිරිත් විරිත් ආදි සියල්ල ම විවිධ මානයන් ඔස්සේ අගයමින් ඇතැම් දේ ජීවිතයට තදින් ම ළං කර ගනිමින්, තවත් දෙයක් ජීවිතයෙන් දුරින් ම දුරු කරමින් දිවි ගෙවීම පොදු මිනිස් චර්යාවකි.

සාමාන්‍ය මිනිසා විසින් වටිනා යැයි සැලකූ බොහෝ දේ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ විසින් තදින්ම ප්‍රතික්ෂේප කළ අතර, නොවටිනා යැයි සිතූ ඇතැම් දේ ඉහළින් ම අගය කොට වදාරන ලදී.

සත්ත්ව හිංසනය, කම්සුවය, විනෝදය, ක්‍රීඩාව, විපරීත දර්ශනය. මිථ්‍යා ආකල්ප, දුශ්චරිතය යනාදිය බුදුරජාණන් වහන්සේ විසින් ප්‍රතික්ෂේප කරන ලද එහෙත් සාමාන්‍ය සමාජය විසින් අගය කරන කාරණාවන් ය.

දානය, සීලය, වැඩිහිටි ගෞරවය, බ්‍රහ්මචර්යාව, ශ්‍රමණයන් දැකීම, ධර්මය ඇසීම හා සාකච්ඡා කිරීම ආදී කරුණු ජන සමාජයේ බොහෝ දෙනා අගය නොකළත්, භාග්‍යවතුන් වහන්සේ අගය කොට වදාළහ.

අවම වශයෙන් තමා ලද මිනිසත් භවයෙහි වටිනාකමවත් හඳුනන මිනිසුන් ජනසමාජයේ සුලභ නැත. එහෙත් ඒ භාග්‍යවතුන් වහන්සේ නිරන්තරයෙන් ඔබ මා ලද දිවියෙහි අමිල වටිනාකම හේතු ගණනාවක් ඔස්සේ පෙන්වා වදාළහ.

තෙරුවන් සරණ ලැබීම, සද්ධර්මය ශ්‍රවණය කිරීමේ භාග්‍යය, සම්මාදිට්ඨික හෙවත් යහපත් හා සත්‍ය වූ අවබෝධයක් ලැබීමේ අවස්ථාව හිමි වීම හා චතුරාර්ය සත්‍යය ප්‍රත්‍යක්ෂ කිරීම සඳහා ද අප ලද මේ මිනිස් ජීවිතය අතිශයින්ම උපකාර වන බව බුදුරජාණන් වහන්සේ දේශනා කළ සේක. කොටින් ම කියතොත් මුලුමහත් සංසාර දුක්ඛයම නිමා කර ගැනීම සඳහා අප ලද මේ වාසනාවන්ත නිමේෂය මහෝපකාර වේ.

මේ තථාගත බුදුරජාණන් වහන්සේ ලොව පහළ වීම නිසා උතුම් දහම් ඇසෙන යුගයකි. බුදුසසුන පවතින පස්වාදහස් කාලය පුරාවට ම බුදුරජාණෝ වැඩ සිටිති. ධාතු පරිනිර්වාණයෙන් පසු ගෞතම බුදුසසුන අවසන් වේ. තවම හරි අඩක් සාසන ආයුෂ ශේෂ වී ඇත. එබැවින් අපි අසරණයෝ නොවෙමු. සරණක් ලැබුවෝ වෙමු. එහෙත් අප ලද ඒ බුදුසරණයට නිසි වටිනාකම ලබා නුදුන්නෝ ද වෙමු.

මනුෂ්‍යත්වය, බුදු උපත, සද්ධර්ම ශ්‍රවණය, උතුම් ශාසන ප්‍රව්‍රජ්‍යාව, සත්පුරුෂ ඇසුර යන මෙ කරුණු එකම මොහොතක මුණගැසීම තරම් වාසනාවන්ත නිමේෂයක් උපමාවකින්වත් කිව නොහැකි පමණින් අති දුර්ලභ බව බුදුහු වදාළහ. ඔබ මා එම සියලු භාග්‍යයන්ට හිමිකම් ලැබීම සාතිශය සන්තෝෂයකි. එහෙත් එමඟින් ලැබිය යුතු නියම ප්‍රයෝජනය වන චතුරාර්ය සත්‍යාවබෝධය සඳහා අප විසින් ප්‍රමාණවත් උත්සාහයක් ගෙන තිබේදැයි ප්‍රශ්නයකි.

ඇට, ලේ, මස්, නහර වියළී යතොත් වියළේවා. ඉතිරි වෙතොත් ඉතිරි වේවා යන අදහසින් සීල, සමාධි, ප්‍රඥා ගුණ පූරණය කළ යුතුය, යන්න බුදුරජාණන් වහන්සේගේ නියමය යි. අපමණ සසර දුක් දුටු බුදුරදුන් එවන් නියමයක් සිදු කොට වදාළේ ගිහි පැවිදි අප සියල්ලන්ගේ ම යහපත පිණිස ය.

ආයු, වර්ණ, සැප, බල, ප්‍රඥා පිරිහෙමින් පවතින අද්‍යතන යුගයෙහි මිනිසා ශීග්‍ර ලෙස ගුණධර්මවලින් හීන වී ඇති බව නොරහසකි. තුණුරුවන් පිළිබඳ අවබෝධයෙන් යුතු, ශ්‍රද්ධාවක් ඇති මිනිසුන් අතළොස්සක් නිසා බුදුසසුන මේ පමණකින් හෝ සුරක්ෂිතව පවතී. මුලු ලෝකයේම බැලුවත් සිල්වත්, ගුණවත් භික්ෂූන් වහන්සේලා විසිතිස්දහසක් වත් සොයා ගැනීම පහසු නොවේ. සාසන දීපය නිවෙන්නට ආසන්න ව ඇත. එයට තෙල්, වැටි දමා තවදුරටත් දල්වා තැබීමේ වගකීම අප වෙත පැවරී තිබේ. බුදුරදුන් විසින් සාරාසංඛ්‍ය කල්ප ලක්ෂයක් අනේකවිධ දුක් උසුලා සව්සතුන් වෙත පතළ මහා කරුණාවෙන් අස්වැද්දූ සසුන් කෙත ඉතා සුලු කලෙකින් වල් වැදීමට ඉඩහැරීම කල්ප ගණනකින් පිරිමැසිය නොහැකි පාඩුවකි.

සංසාරගත සත්ත්වයාට බුදුසසුනක් මුණගැසීමේ දුර්ලභ භාවය බුදුරජාණන් වහන්සේ විසින් ම පෙන්වා වදාළහ. තථාගතයන් වහන්සේ ලොව පහළ ව ධර්මය වදාරා සාසන දායාදය පිහිට වූ යුගයක එහි සෙවණ නො ලැබෙන සත්ත්ව යෝ ම අති බහුල වෙති. අනන්ත සක්වල පුරාවට බුදුරජාණන් වහන්සේලා පහළ වන්නේ මෙම මඟුල් සක්වල පමණි. එය ද කල්ප කෝටි ගණනකින් පසුව ය.

සංසාරගත සත්ත්වයාගේ මහගෙදර ලෙස හඳුන්වන්නේ අටමහා නිරය යි. ඔසුපත් නිරය ද ඊටම ඇතුළත් වේ. අවම වශයෙන් සෝතාපන්න නොවූ සෑම කෙනෙකු ම නිරයට නියම වූවන් ය. ආයුෂ වශයෙන් අතිදීර්ඝ වූ නිරයේ වැටුණ සත්ත්වයකුට බුදු උපතක් සිදුවුව ද ඉන් පලක් නොමැත. ඒ උතුම් සාසනය ඔහුට මඟහැරෙනු ඇත. මේ වන විට නිරය සියලු සත්ත්වයන්ගෙන් පිරී ඇත. ඇතැම් හු මෙත් බුදුසසුන අවසන් වන තුරුත් නිරයෙන් චුත ව මිනිස් ලොව එළිය නොදකිනු ඇත. එබැවින් නිරයේ වැටුණ අයකුට සාසන ලාභය නමැති ක්ෂණය මඟහැරෙන බව බුදුරදුන් විසින් වදාරන ලදී.

දෙවන අවාසනාවන්ත මොහොත තිරිසන් යෝනියෙහි උපත ලැබීමයි. වා, ජල, පස් යන තෙවැදෑරුම් පොළොවෙහි එක් බිම් අඟලක ඇති සත්ත්වයන් ප්‍රමාණය මුලු මිනිස් ලොව ජනගහණයෙන් වඩා විශාල ය.එවන් තිරිසන් ආත්මයක පිළිසිඳගත් අයකුට නැවත නැවත සියදහස් වර එහි ම ඉපිද මැරෙන්නට සිදුවේ.සංසාරගත සත්ත්වයා තිරිසන් කුලයට යාම ඉතා සුලභ ය. දුර්ලභ බුදු උපතක් පවතින කාලෙයකදී තිරිසන්ගතවීම මහත් ම අවාසනාවකි. උතුම් අවස්ථාව මඟහැරී යාමකි.

තුන්වන අවාසනාවන්ත අවස්ථාව පේ‍්‍රත ලෝකයක ඉපදීම යි. කුප්පිපාසාදී පේ‍්‍රතගත සත්ත්වයන්ට සා පිපාසාදී අනේකවිධ දුඞඛයන් කර්මානුරූපී ව හට ගනී. ආයුෂය ද අතිදීර්ඝ බැවින් ඇතැම් පේ‍්‍රතයන් මහා කල්ප සියදහස් ගණන් පේ‍්‍රත භූමියෙහි මැරි මැරී උපදිති. මනු ලොව බුදු උපතක් සිදුවන මොහොතක සත්ත්වයකු පේ‍්‍රත ලොව ඉපිදී තිබේ නම්, එම බුදුසසුන මඟහැරී යනු ඇත.

සතරවන අඳුරු අවස්ථාව දීර්ඝායුෂ බ්‍රහ්ම ලෝකයක ඉපදීම යි. අසඤ්ඤසත්ත බඹතලයෙහි ආයුෂ මහා කල්ප පන්සියයකි. සතර අරූතලයන්හි උපන් අයකුට උපරිම වශයෙන් මහා කල්ප අසූහාරදහසක් ආයු ඇත. ඒ අතර කාලයේ බුදුවරයකු පහළ වුව ද ඔවුනට සොතප්‍රසාදය නොමැති බැවින් දහම් ඇසිය නොහැක. පරතෝඝෝෂ ප්‍රත්‍යය හෙවත් බුදුබණ පදයක් ඇසීම නො ලද කිසිවකුට මගඵල නො ලැබේ. එබැවින් සුගතියක් වුව ද එකී බඹතලයන්හි ඉපදීමෙන් බුදුසසුන මඟහැරී යනු ඇත. සමීප ඉතිහාසයේ පහළ වූ විපස්සි ආදී සත් බුදුවරයන් වහන්සේලාගේ ම සාසනයන් මඟහැරුණු අරූපාවචර බ්‍රහ්මයන් අදත් එහි ඇත.

පස්වන අවාසනාවන්ත අවස්ථාව නම් පසල් දනව්වක ඉපදීමයි. සිව්වනක් පිරිස නොයන ඈත පිටිසර ප්‍රදේශවල ජීවත් වන මිලක්ඛ ජාතීන්ට දහම් නො ඇසේ. ජම්බුද්වීප වාසීන්ගෙන් වුව ද සුලු පිරිසකට පමණක් බුදුසසුන මුණගැසෙන අතර බහුතරයකට දහම් නො ඇසේ. වත්මන් ලෝකයෙහි මොනතරම් තාක්ෂණික මෙවලම් ඇතත් බුදු බණ ඇසෙන්නේ ඉතා සීමිත පිරිසකට පමණි. එබැවින් ප්‍රත්‍යන්තයක ඉපදීම සසුන් දායාදය මඟහැරී යාමට හේතුවකි.

සයවන අභාග්‍යවත් අවස්ථාව මිථ්‍යාදෘෂ්ටික වීම යි. බුදු උපතක් පවතින, බුදුබණ ඇසෙන අවස්ථාවක වුව ද යමකු කර්මය, ඵලය පිළි නොගැනීම් ආදි වශයෙන් යම් මිසදිටුවක් ගනී නම් ඔහුට ද නිවන් දොර වැසෙනු ඇත.

ලොව ඇති මිසදිටු මිනිසුන්ගණනට සාපේක්ෂව සමදිටු ගත්තෝ ස්වල්ප වෙති. කවදත් ලොව මිසදිටු ඇදහිලි පවතින බැවින් සංසාරගත සත්ත්වයා පහසුවෙන් ඒවාට හසුවේ.

සත්වන අභාග්‍යවත් මොහොත අඳ ගොලු, බිහිරි ආදී අංගවිකල ජීවිතයක් ලැබීම යි. බුදුසසුනක් පවතින යුගයක දී වුව ද එවැන්නකුට ධර්මයේ හැසිරීමේ අවස්ථාව අහිමි වේ. සංසාර ගමනේදී සත්ත්වයන් මිනිස් ලොව උපත ලැබුව ද අංගවිකල වීම සුලභ වේ.

අටවන අවාසනාවන්ත මොහොත බුදු උපතක් නොවීම යි. ධර්මාවබෝධයට අවශ්‍ය සෙසු සියලු කරුණු ඇතත් බුදු උපතක් නොමැති යුගයක දහම් නො ඇසෙන නිසා සසරට ම ඇදවැටෙණු ඇත.

අති දීර්ඝ සසර ගමනේ දී ඉහත දැක්වූ අටවැදෑරුම් අවාසනාවන්ත අවස්ථාම සුලභ වේ. බුද්ධෝත්පාද අවස්ථාව ම අති විරල වේ. අප ජීවත් වන මේ යුගය ධර්මාවබෝධය සඳහා අවශ්‍ය සියලු වාසනාවන්ත කරුණු එකට ගැලපී ඇති යුගයකි. එබැවින් අප්‍රමාදී ව බුදුබණට මෙල්ල වී සීලාදී උතුම් පිළිවෙත් පුරා සංසාර සාගරය තරණය කොට නිවන් සුව විඳ සැනසෙන්නට ඔබටත් වාසනාව ලැබේවා.