Print this Article


නො නිදා සිට කළ යුතු වැඩ

නො නිදා සිට කළ යුතු වැඩ

සදා ජාගරමානානං - අහොරත්තානුසික්ඛිනං
නිබ්බානං අධිමුත්තානං - අත්ථං ගච්ඡන්ති ආසවා

රජගහ නුවර සිටු නිවසෙහි විසූ පුණ්ණා නමැති දාසියට දවස මුළුල්ලේ වැඩ කොට අවසානයේ තව දුරටත් වී ටිකක් කොටා නිදා ගන්නැයි සිටු දේවිය භාර කළා ය. මධ්‍යම රාත්‍රිය ළං වන තුරු වී කොටමින් සිටිය ඇයට තදබල වෙහෙසක් දැනුනි. දහඩිය ද වැගිරෙන්නට විය. මදක් විවේක ගැනීමට සිටු නිවසින් එළියට බැස්ස ඇයට ඈත සෙනසුනෙහි දබ්බමල්ලපුත්ත හිමියන් සමඟ එහි මෙහි වඩින භික්ෂූන් දක්නට ලැබුණි.

තමා වෙත පැවරුණු අධික වැඩ නිසා ඇය නිදිවරන බවත්, එවැනි බරක් නැති භික්ෂූන් රාත්‍රිය ඉකුත්ව යද්දීත් නිදිවැරිමෙහි තේරුමක් ඇත්දැයි ඇය සිතන්නට වූවා ය. පසුව බුදුරදුන් හමු වූ අවස්ථාවෙහි ඇගේ සිතුවිල්ලෙහි වරද පෙන්වා දී ඉහත සඳහන් ගාථාවෙන් බුදුහු ධර්මය දේශනා කළහ.

පුණ්ණා දාසියගේ සිතුවිල්ල අතිශයින් වැදගත් ය. මේ සමාජයේ බොහෝ අය වෙහෙස වන්නේත්, නිදි වරන්නේත් තමන්ගේ පෞද්ගලික බලාපොරොත්තු කාර්යයන් සම්පූර්ණ කර ගැනීම සඳහා ය. හරිහැටි කෑම් බීම් කිසිවක් නැතිව සමහරු රැකියාවල නිරත වී සිටිති. සමහරු තම මව්පිය දූ දරු ආදීන් ද හැර දා විදේශගතව වසර ගණන් කල් ගෙවති. තවත් සමහර අය යන්ත්‍රයක් පණ ගැන්නුවාක් මෙන් දිවා රෑ නොබලා විවිධ රැකියාවල යෙදී සිටිති. ඒ සෑම දෙනාගේ ම එකම පරමාර්ථය සැප විඳීම වුවත් ඒ අය අතරින් සමහරු එක් වසරකට අඩු තරමින් දින කිහිපයක්වත් ගතට හා සිතට සැනසීමක් ලැබෙන ලෙස පී‍්‍රතිදායක ජීවිත ගෙවති යි සිතිය නො හැකි ය. මේ අනුව සැප විඳින්නට යැයි සිතමින් බොහෝ අය තම ජීවිත කාලයෙහි වැඩි කොටසක් අධික වැඩ කටයුතුවල යෙදී සිට දුකින්ම කල් ගෙවා පරලොව යන බව පැහැදිලි ය.

ලෞකික සැප බලාපොරොත්තුවෙන් අවිවේකී ජීවිත ගත කරන අය ඒ තුළින් පරලොව සැප ලබා ගත හැකි දැයි කල්පනා කළ යුතු ය. එවැන්නක් හෝ නො ලැබේ නම් ඒ ගෙවන දිවිය සාර්ථක වූවක් නොවේ.

පුණ්ණා දාසිය බැල මෙහෙකම් කිරීමේ අරමුණ සැප ලබා ගැනීමයි. සමාජයේ ජීවත් වන බොහෝ අය ද විවිධ රැකියාවල යෙදෙනුයේ එවැනි සැප බලාපොරොත්තුවෙනි. එහෙත් ධර්මානුකූල ජීවිතයක් ගෙවන ගිහි හෝ පැවිදි කෙනෙකු දාන, සීල, භාවනා යන ත්‍රිවිධ කුසල ක්‍රියාවක යෙදෙනුයේ මෙලෙව පමණක් නොව ගැඹුරින් සලකන විට පරලොව සැප හා එයටත් වඩා සදාකාලික සැපත ළඟා කර ගැනීම උදෙසා ය.

එහෙත් බොහෝ අය නොනිදා කල් ගත කරනුයේ රූපවාහිනී හෝ ගුවන් විදුලි යන්ත්‍රයක් වැනි දෙයක් උපයෝගී කොට ගෙන ඉන්ද්‍රියයන් පිනවීම සඳහා ය. සසුන් පිළිවෙතහි යෙදෙන කලින් දැක්වූ අය ඇස්, කන් ආදී ඉන්ද්‍රියයන් උපයෝගී කොටගෙන රාග, ද්වේෂ, මෝහ ආදී කෙලෙස් ප්‍රහානය කිරීම සඳහා දැඩි උත්සාහයක යෙදෙති. දෙපිරිසෙහි වෙනස එයයි.

මුල දී සඳහන් කළ ගාථාවෙන් බුදුරදුන් පෙන්වා දෙන ලද්දේ සීල, සමාධි, ප්‍රඥා යන උතුම් අංශයන් මඟින් හික්මීම සඳහා යම්කිසි කෙනකු දිවා රෑ නො බලා දැඩි උත්සාහයක යෙදුනහොත් ඔහුට මහත් ප්‍රතිපල ලබාගත හැකි බවයි. ඒ මඟින් විශේෂයෙන් දුක් ගෙන දෙන මේ සසරෙහි නැවත නැවතත් පැසවීමට හේතු වන කාමාසව, භවාසව, දිට්ඨාසව හා අවිජ්ජාසව යන සතර ආකාර ආසවයන් නැති කළ හැකි බව පැහැදිලි කොට දී ඇත.

උත්සාහය අගය කළ ශාස්තෘවරුන් අතුරෙන් බුදුහු ප්‍රධාන තැන ගනිති.

එහෙත් ඒ උත්සාහය ධනය, බලය, නිලය, පිරිවර වැඩිදියුණු කර ගැනීම සඳහා අධික ආශාවෙන් සිදු කිරීම උතුම් ක්‍රියාවක් නොවේ. ගෘහ ජීවිතයක් ගත කරන කෙනෙකු නම් උත්සාහයෙන් ධාර්මිකව ධනය සපයා එමඟින් මෙලොව සැප විඳින ගමන් ලෝභාදී කෙලෙස් ප්‍රහානය සඳහා පරිත්‍යාගයෙහි යෙදිය යුතු ය. ඒ සමඟ මනා සංවරය ඇති කිරීමට අවශ්‍ය සීලයෙන් යුක්තව ප්‍රඥාව වර්ධනය සඳහා භාවනාවේ යෙදීමට ද උත්සාහ ගත යුතු ය. සියලු කල්හි නො නිදා, දිවා රෑ නො බලා එවැනි ප්‍රතිපදාවක යෙදීම මනුෂ්‍ය ජීවිතයෙන් උපරිම ප්‍රයෝජන ලබා ගැනීමට හේතු වෙයි.