Print this Article


පිරිවෙන

පිරිවෙන් ඇරැඹෙයි

කොවිඩ් 19 වසංගත රෝගී පරිසරය යම් පමණකට දුරුවීයාමත් සමඟ ම අධ්‍යාපන අධ්‍යක්‍ෂ (පිරිවෙන්) වටිනාපහ සෝමානන්ද හිමියන්ගේ උපදෙස් පරිදි පිරිවෙන්වල අධ්‍යාපන කටයුතු විධිමත් ලෙස යළි ආරම්භ කෙරිණි. මෙහි දී ශිෂ්‍ය සංඛ්‍යාව පදනම් කරගනිමින් ප්‍රාදේශීය සෞඛ්‍ය බලධාරීන්ගේ උපදෙස් හා කෘත්‍යාධිකාරී ස්වාමීන් වහන්සේලාගේ අභිමතය පරිදි පිරිවෙන් හා සීලමාතා අධ්‍යාපන ආයතන ආරම්භ විය. ප්‍රථමයෙන් ම පරිවේණාධිපති, කෘත්‍යාධිකාරී හිමිවරුන් සහ ආචාර්ය මණ්ඩලය රැස්වී ඉදිරි කටයුතු සිදුකරන ආකාරය පිළිබඳ සැලසුම් කිරීමත්, දෙමාපියන්, භාරකරුවන් හා වැඩිහිටි සිසුන් අවශ්‍ය පරිදි සෞඛ්‍යාරක්‍ෂිත ක්‍රමවේදයන් ඔස්සේ කැඳවා පිරිවෙන් පරිශ්‍රය විෂබීජහරණය කරමින් පවිත්‍රකොට සූදානම් කිරීමත් කොවිඩි 19 හේතුවෙන් දීර්ඝ කාලයක් සාමාන්‍ය අධ්‍යාපන ක්‍රියාපටිපාටියෙන් බැහැරව කටයුතු කළ ගිහිපැවිදි සිසුන්ගේ ආතතිය දුරුකර මානසික සෞඛ්‍යය ඉහළ නැංවීමේ වැඩසටහන් පිරිවෙන් කාර්ය මණ්ඩලයේ අභිමතය පරිදි සැලසුම් කොට ක්‍රියාත්මක කිරීමත් පසුව ඉගෙනුම් ඉගැන්වීම් ක්‍රියාවලිය විධිමත් ලෙස ආරම්භ කිරීමත් සිදුවුණි.


පත්බේරියේ විමලඤාණ නාහිමිපාණෝ කොළඹ නවකෝරළයේ සහ නවතොටමුනේ ප්‍රධාන සංඝ නායක ධුරයට පත්වෙති

කිරුළපන ශ්‍රී පූර්වාරාමය, ඇතුළු විහාර ගණයේ විහාරාධිපති, විශ්‍රාමලත් සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්), සමස්ත ලංකා ශාසනාරක්‍ෂක මණ්ඩලයේ හිටපු නියෝජ්‍ය ලේඛකාධිකාරී රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රපති ගෞරවාර්‍හ පත්බේරියේ විමලඤාණ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ සියම් මහා නිකායේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රී ධර්ම මහා සංඝ සභාව මඟින් 2021 ඔක්තෝබර් 17 වැනි දින සිට කොළඹ නවකෝරළයේ සහ නවතොටමුනේ ප්‍රධාන සංඝනායක ධූරයට පත්කරනු ලැබිණ.

කොළඹ කෝට්ටේ පාරේ ශ්‍රී ජයවර්ධනාරාමාධිපති පූජ්‍ය දේවහන්දියේ ශ්‍රී පඤ්ඤාසේඛරාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ අපවත්වීමෙන් මෙම නායක පදවිය පුරප්පාඩුවී තිබිණ. ක්‍රි. ව. 1829 දී ඉංග්‍රීසි ආණ්ඩුකාරයා විසින් කෝට්ටේ ඓතිහාසික රාජ මහා විහාරාධිපති පිලානේ ශ්‍රී බුද්ධරක්ඛිත නාහිමියන්ට පළමුවරට පත් කළ මෙම පදවිිය තම ශිෂ්‍ය කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමාග්‍රී ධර්ම මහා සංඝ සභාවේ ප්‍රථම මහානායක අතිපූජ්‍ය මලිගස්පේ ශ්‍රී මංගලාභිධාන ස්වාමීන්ද්‍රයන් වහන්සේ ඇතුළු මහා ස්ථවිරවරුන් විසින් වරින්වර දරන ලද අතර මෙම තනතුරට 11 වැනි වතාවට පත්වූයේ පත්බේරියේ විමලඤාණ නාහිමියෝ ය.

දැනට කෝට්ටේ ශ්‍රී කල්‍යාණී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ විනිශ්චය කාරක සභා ( අධිකරණ ) ලේඛකාධිකාරී ජ්‍යෙෂ්ඨ කර්මවාගාචාර්ය තනතුරු දරන පත්බේරියේ විමලඤාණ නාහිමියෝ අපවත්වී වදාළ අති පූජ්‍ය රද්දැල්ලේ ශ්‍රී පඤ්ඤාලෝක අනුනායක මාහිමියන්ගේ සහ රත්නපුර දිසාවේ ප්‍රධාන සංඝනායක තලාවිට්යේ ශ්‍රී පේමාලෝක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ද ශිෂ්‍යයා වශයෙන් 1960 වර්ෂයේදී පැවිදි දිවියට ඇතුළත් වූහ. 1970-07-08 කෝට්ටේ රාජමහා විහාරීය මංගල උපෝසථාගාරයේදී උපසම්පදාවට පත් විමලඤාණ නා හිමියෝ 1969 වසරේ විද්‍යෝදය පිරිවෙනේ අවසාන පරීක්‍ෂණයෙන් ගෞරව පන්තියේ පළමු වැනියා ලෙස සමත්වී ශ්‍යාමරාජ ත්‍යාගය’ දිනා ගත්හ. 1973 රාජකීය පණ්ඩිත උපාධිය ද, 1976 විද්‍යාලංකාර විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ද, 1989 දී පාලි හා බෞද්ධ විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රපති උපාධිය ද 1990 දී කොළඹ විශ්ව විද්‍යාලයෙන් අධ්‍යාපන ඩිප්ලෝමා උපාධිය ද ලබාගත්හ.

අනුරාධපුර බුද්ධ ශ්‍රාවක භික්ෂු විශ්ව විද්‍යාලයේ කථිකාචාර්ය සහ පරිවේනාචාර්යවරයකු වශයෙන් සේවය කර ඇති උන්වහන්සේ අධ්‍යාපන පරිපාලන තනතුරු රැසක් දැරූ අතර රජයේ සේවයෙන් විශ්‍රම ලබන විට අධ්‍යාපන අමාත්‍යාංශයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ (පිරිවෙන්) තනතුර දරමින් සිටියහ.

1989 දී කර්මවාගාචාර්ය හා කාරක සභිකවරයකු වශයෙන් කෝට්ටේ සංඝ සභාවට තේරී පත්වූ නාහිමිියෝ විනිශ්චයකාරක සභික අනුවිජ්ජක ධුරය දරමින් එම සංඝ සභාවේ උන්නතිය වෙනුවෙන් අමිල මෙහෙවරක් ඉටු කරති. තිඹිරිගස්යාය ශාසනාරක්ෂක බලමණ්ඩලයේ සභාපති, කොළඹ දිස්ති‍්‍රක්කයේ ශාසනාරක්ෂක මණ්ඩලයේ ගරු ලේඛකාධිකාරී හා සභාපති, ශ්‍රී ලංකා අමද්‍යප මහ සභාවේ නියෝජ්‍ය සභාපති, ශ්‍රී ලංකා ප්‍රාචීන භාෂෝපකාර සමාගමේ කාරක සභික ආදී වශයෙන් විවිධ තනතුරු දරමින් ශාසනයටත්, දහම් පාසල් ක්ෂේත්‍රයටත්, සමස්ත සමාජයටත් පුළුල් සේවාවක යෙදී සිටිති.

කිරුළපණ ශ්‍රී පූර්වාරාමයෙහි වැඩවසමින් විහාරස්ථ ශ්‍රී ස්ද්ධර්මෝදය දහම් පාසලේ පනස් වසරක සේවාවක යෙදුණු නාහිමියෝ සිරි රහල් ළදරු පාසල, ශ්‍රී සුමනසාර ළමා සමාජය, කිරුළපණ සණස සමිතිය, පූර්වාරාම කාර්ය සාධක සමිතිය, පූර්වාරාම සණස සමිතිය, සණස බැංකුව, සහ ශ්‍රී පූර්වාරාම කුලඟන සමිතිය ද ආරම්භ කිරීමෙන් ද පන්සලෙන් ගමට” සේවාව යටතේ කිරුළපණ ග්‍රාමයට අගනා සේවයක් සිදුකරති. සිල්වත් උගත් සඟ පරපුරක් සසුනට දායාද කිරීමේ උදාර අරමුණ ඇති ව 1998 දී ශ්‍රී පඤ්ඤාලෝක ධර්ම නිකේතන පිරිවෙන ආරම්භ කොට සාර්ථක ව පවත්වාගෙන යන අතර එමගින් රාජකීය පණ්ඩිත, ශාස්ත්‍රවේදී ආදී උපාධි ලැබූ විශාල ශිෂ්‍ය සංඛ්‍යාවක් බිහිකර තිබීම සතුටට කරුණකි. පහළොස් නමකට අධික ශිෂ්‍ය භික්ෂූන් පිරිසක් සසුන්ගත කළ උන්වහන්සේ සිය ගණනක් වූ පරිවේනික සිසුන්ට උපදේශනය සිදු කරමින් වැඩ වෙසෙති.


පිරිවෙන් ගුරු දිනය නිමිත්තෙන් රචිත ගුරු ගීතය

විසුල ගුණ නැණ හසල ඉසිවර
දිසාපාමොක් ඇදුරු පරපුර
ඇඳීලි බැඳ පා කමල නමකර
සදා සමරමු පුදමු හරසර.....//

සතර සරතැස නිවූ මදනල
තිලෝගුරු මග හෙළි
පෙහෙළි කළ....//
සුබ සිහින සරසවා හද මල
සුසර කළ මුදුසරය මනකල..../

විසුළ ගුණනැණ.../

සිසිරකර දුළ අඳුරු නුබ ගැබ
අකුරු කරැ වූ සරසවිය ඔබ....//
සසර සරනාතුරු මැ මතු මතු
අමරණීය ය පිදූ දැනමුතු..../

විසුළ ගුණනැණ..../

ගේය පද - මහරගම ජාතික අධ්‍යාපන ආයතනයේ පිරිවෙන්
ඒකකයේ සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ
යූ.කේ. රත්නායක

සංගීතය - දර්ශන වික්‍රමතුංග

ගායනය - දයාන් විතාරණ සමඟ අමිලා නදීශානි