Print this Article


වර්තමාන බොදු පුනරුදයේ පෙරගමන් කරුවකු වූ උදාර සෙන්පති ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා

වර්තමාන බොදු පුනරුදයේ පෙරගමන් කරුවකු වූ උදාර සෙන්පති ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා

උරහිස දක්වා වැටෙන සේ තඹවන් කේශ කලාපයකින් ද, පුළුල් නළල් තලයෙන් හා උස්වූ නාසයකින් ද, මුහුණ පුරා දික්ව වැවුණු රුවුලකින් ද ගාම්භීර පෙනුමෙන් ද යුතු වූ එතුමා අසීමිත ව ශ්‍රී ලංකාවටත්, බුදු දහමටත් ඇලුම් කළේ ය. විදේශිකයකු වුව ද වර්තමාන බොදු පුනරුදයේ පෙර ගමන් කරුවකු ලෙස හැඳීන්විය හැකිය. එතුමන් අන් කවරකු හෝ නොව ශ්‍රීමත් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා ය.

අමෙරිකාවේ නිව්ජර්සි ප්‍රාන්තයේ දී 1832 අගෝස්තු දෙවැනි දින උපත ලැබූ ඔහු කුඩා කල නිව්යෝර්ක් නගරයේ විද්‍යාලයකින් හා පසුව කොලොම්බියා විශ්වවිද්‍යාලයෙන් ද අධ්‍යාපනය ලැබීය.

අමෙරිකානු සිවිල් යුද්ධ සමයේ එක්සත් ජනපදයේ යුද්ධ හමුදාවේ සේවය කළ අතර, පසුව කර්නල් නිලය දක්වා උසස් කරනු ලැබීය. හෙතෙම අමෙරිකාවේ කෘෂිකර්මාන්තය හා සිවිල් කටයුතු වෙනුවෙන් අග්‍රගනයේ සේවාවක් ඉටු කළ අතර, එය කොතරම් දැයි කිවහොත් 1880 සැප්තැම්බර් 01 දින නිව්යෝක් ටි‍්‍රබියන් පුවත් පතහෙි ඔහුව  The most progressive American of the Americans ලෙස හඳුන්වනු ලැබීය. සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන් නීතිඥයකු වශයෙන් ද අමෙරිකා එක්සත් ජනපදයේ කටයුතු කරනු ලැබීය.

1873 වසරේ දී මිගෙට්ටුවත්තේ ගුණානන්ද හිමියන් විසින් පානදුරාවාදයේ දී මිෂනාරි බලවේග පරාජය කරමින් විශිෂ්ට දේශනයක් පවත්වන ලදී. ඒ පිළිබඳ විස්තර දේශ දේශාන්තරයන්හි ද පළ විය. එම පුවත් හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන්හටද අසන්නට ලැබිණි. මෙහිදී එතුමාට බුදු දහම හැදැරීම සඳහා ආශාවක් ඇති විය. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන්ගේ ලංකාගමනයට හේතු වූයේ ද බුදු දහම ගැන ඔහුගේ ඇති වූ පැහැදීම ය.

ලෝක සත්‍යය ගවේෂණය කිරීමේ නොසන්සිඳෙන කුතුහලයෙන් යුතු වූ ඕල්කට් තුමන් ලංකාවට සම්ප්‍රාප්ත වීමෙන් අනතුරුව වර්ෂ 1880 මැයි මස 17 වැනි දින ගාල්ල, වැලිවත්තේ විජයානන්ද පිරිවෙනට පැමිණ අක්මීමන ධර්මාරාම මහා ස්වාමීන් වහන්සේගෙන් තිසරණ සහිත පංචශීලය සමාදන් වී බෞද්ධයකු බවට පත් විය. මෙතුමන් සමඟ පැමිණි පිරිසට බ්ලෙවෙට්ස්කි මැතිණිය ද අයත් ය. ලක්දිව බුදුදහම නැවත පුනර්ජීවයක් ලබා දීමට ඕල්කට් තුමන් විසින් පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමි, පූජ්‍ය මිගෙට්ටුවත්තේ ශ්‍රී ගුණානන්ද හිමි, පූජ්‍ය වස්කඩුවේ ශ්‍රී සුභූති යන යතිවරයන් වහන්සේලා සමඟ එක්ව කටයුතු කරන ලදී. සෙන්පති ඕල්කට් මැතිඳුන් හට අනගාරික ධර්මපාල තුමන් ද විශාල ශක්තියක් විය. එතුමන්ලා බුදු දහමේ උන්නතිය වෙනුවෙන් කැපවී වැඩ කටයුතු කළහ. මෙම අග්‍රගණ්‍ය සුසංයෝගය වඩාත් ක්‍රමවත් ව නව බොදු පුනරුදයක් ඇති කිරීමේ අදහසින් 1980 ජූනි මස 08 වැනි දින කොළඹ පරම විඥාානාර්ථ බෞද්ධ සමිතිය පිහිටු වීය.

සෙන්පති ඕල්කට් තුමන් විසින් ඉංග්‍රීසි පාලනය හමුවේ අකර්මණ්‍යව පැවතුණ බොදු අධ්‍යාපනය නැවත නඟා සිටුවීමේ අවශ්‍යතාවය වටහා ගන්නා ලදී. සිංහල බෞද්ධයා නඟා සිටුවීමට එහි මූලික අඩිතාලම සකසමින් බෞද්ධ පාසල් ආරම්භ කිරීමට යෙදුණි. එහි ප්‍රථිඵලයක් ලෙස වර්ෂ 1880 දී වර්තමාන බොදු අධ්‍යාපනයේ කේනද්‍රස්ථානය බඳු ආනන්ද විද්‍යාලයේ ආරම්භය සනිටුහන් විය. හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන්ගේ දර්ශනයට අනුව කොළඹ පරම විඥානාර්ථ බෞද්ධ සංගමය මඟින් කොළඹ ආනන්ද, නාලන්ද, ධර්මපාල, කුරුණෑගල මලියදේව, මහනුවර ධර්මරාජ, කොළඹ විශාකා, මියුසියස් වැනි අග්‍රගණ්‍ය පාඨශාලා 400 කට අධික සංඛාවක් ශ්‍රී ලංකාව තුළ ස්ථාපනය කරනු ලැබීය. මෙතුමා විසින් ආරම්භ කළ අධ්‍යාපනය නඟා සිටුවීමේ මෙහෙවර පිළිබඳ ව ඕල්කට් තුමා අසීමිත ව සතුටට පත්ව සිය ආචාර්යන් වහන්සේ ලෙස සැලකූ පූජ්‍ය හික්කඩුවේ ශ්‍රී සුමංගල හිමියන්ට එක් අවස්ථාවක මෙසේ පැවසීය.

“බිජුවට වපුරන ලදී. ඒවා මහා වෘක්ෂයන් බවට පත් වී මනා සේ පල දරයි. මාගේ ගුරුතුමාණෙනි, අහසේ හෝ පොළවේ කිසිම බලවේගයකට එය දැන් නවතාලිය නොහැක ”

මෙලෙස පැවසූ වදන් අද යතාර්ථයක් බවට පත් වී ඇති බව පැහැදිලිව ම පෙනෙන්නකි. තවද සෙන්පති ඕල්කට් තුමා මෙරට දහම් පාසල් ඇරඹීමෙහිලා පුරෝගාමී ව කටයුතු කළේ ය.

හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන් විසින් වෙසක් පෝය රාජ්‍ය නිවාඩු දිනයක් බවට පත් කිරීමට කටයුතු කරන ලදී. ඒ අනුව 1885 දී වෙසක් පොහොය දිනය රජයේ නිවාඩු දිනයක් ලෙස ප්‍රකාශ කෙරිණි. සරසවි සඳරැස පුවත්පත ආරම්භ කිරීමට මෙන්ම බෞද්ධ කොඩිය නිර්මාණය කිරීමට ද මෙතුමන් විසින් දායකත්වය ලබා දෙන ලදී.

1891 දී බෞද්ධ උරුමයන් සුරැකීම වෙනුවෙන් මහා බෝධි සංගමය ආරම්භ කිරීමට අනගාරික ධර්මපාල තුමාට සෙන්පති ඕල්කට් මැතිඳුන් උදව් කළේ අනගාරික ධර්මපාලතුමා සමඟ “ශෝභන මාලිගය” නමින් හැඳීන් වූ රථයෙන් රට පුරා ගමන් කර දේශනා පැවැත්වීමට ද එකතු විය.

හෙන්රි ස්ටීල් ඕල්කට් තුමා සියලු දෙනාටම කරුණාව දක්වූ අයෙකි. ගාල්ලේ ඊ.ආර්. ගුණරත්න වාසල මුදිලිතුමා වෙත වරක් ලියා එවූ ලිපියක ඉන්දියාවේ බුද්ධගයාවේ දේපළ තම දේපළ මෙන් පරිහරණය කළ හින්දු භක්තිකයකුගේ රෝගයක් විශ්ව ශක්තිය උපයෝගි කර ගනිමින් සුව කළ බව සඳහන් ය.

බුදු දහමේ වර්තමාන පුනර්ජීවනය වෙනුවෙන් අසීමිත ව කැප වී වැඩ කළ උදාර සුදු ජාතික සෙන්පතියාගේ මතකය හා ගුණ සුවඳ තවම ශ්‍රී ලංකාවේ සතර දිග පුරා විහිදී ඇති බොදු විදුහල් මඟින් ලක් වාතලයට මුසු කරනු ලබයි. බුදු දහමේ උන්නතිය වෙනුවෙන් අසීමාන්තික ව කැප වෙමින් අමිල මෙහෙයක් ඉටු කළ සෙන්පති හෙන්රි ස්ටීල් ඕල්කට් තුමන් වර්ෂ 1907 අගෝස්තු 17 වැනි දා මෙලොව හැරදා ගියේ ය. ශ්‍රී ලංකික ජනතාවගේ මෙන් ම ලෝකවාසීන්හට නිර්මල බුදු දහම සම්ප්‍රේෂණය කරන්නට ඕල්කට් තුමන් ලබා දුන් දායකත්වය මෙතෙකැයි වචනවලට ලඝු කොට දැක්වීමට හැකියාවක් නොමැත. එතුමන් විසින් බුදු දහමට ලබා දුන් පුනර්ජීවනය තවත් චිරාත් කාලයක් පවතිනු ඇත.