|  | ශ්‍රී බුද්ධ වර්ෂ 2565 ක් වූ ඉල් පුර පසළොස්වක පෝදා 2021 නොවැම්බර් 18 බ්‍රහස්පතින්දා | |||||||||
| 
 
 
 මගේ තාත්තා විවාහ වී තිබුණේ ඉතාම සුන්දර, ගුණගරුක කාන්තාවක් සමඟ. ඇය නෙස්ලින් රාජපක්ෂ. තාත්තාගේ ව්‍යාපාරයට වගේ ම අපගේ ඉගෙනීමටත් මගේ අම්මා මහත් රුකුලක්, සවියක් වූවා. බුදු දහමේ සඳහන් ආකාරයට කාන්තාවකට තිබිය යුතු සියලු ගුණාංග ඇය සතුව තිබුණා. ව්‍යාපාරයේ සේවකයන්ටත් ඇය මවක් වූවා. මට සහෝදරයන් 04 ක් සහ සහෝදරියන් 03 සිටිනවා. මම පවුලේ දෙවැනියා. පිරිමි සහෝදරයන් අතර වැඩිමලා. මම වෛද්‍යවරයෙක් දක්වා ඉගෙනුම ලබද්දී සහෝදර සහෝදරියන් සියලු දෙනාම විශ්ව විද්‍යාල අධ්‍යාපනය දක්වා අධ්‍යාපනය ලැබුවා. පාවහන් ව්‍යාපාරයක ඇරඹුම . . .
 මගේ තාත්තාට රෙදිපිළි ව්‍යාපාරය අතරතුර දී නො සිතූ ලෙස පාවහන් ව්‍යාපාරයට යොමු වීමට අවස්ථාව ලැබී තිබෙනවා. ඒ සඳහා අංක 76, පළමුවන හරස්වීදිය, පිටකොටුව, කොළඹ කඩ කාමරයක් කුලියට ගෙන තිබෙනවා. ඒ කඩ කාමරය ගිනි ගෙන වසා දැමූ එකක්. එය මිල දී ගන්න තීරණය කළවිට අවට සිටි අය කියා තිබෙනවා “ඇයි මුදලාලි ගිනි ගත් කඩයක් ගන්නේ? ඒ කඩ එ තරම් පල දෙන්නේ නැහැනේ” කියා. “මගේ අතේ තිබෙන මුදලටයි මම මේක ගන්නේ. අපි කරල බලමු” ඒ අවස්ථාවේ එසේ කියමින් තාත්තා සියල්ලන්ට ම අස්වැසිල්ලක් ලබා දී ඒ කඩය නවීකරණය කර තිබෙනවා. කුඩාවට තිබූ උළුවස්ස පළල් කොට ලෑලි දොර දමා කඩේට නැඟීමට තිබූ පඩි ඉවත් කොට පාර මට්ටමට කඩේ බිම පහත් කර තිබෙනවා. ඒ සමඟම කඩ කාමරය වෙනසකට ලක් වෙලා. ඒ වෙනස්කම් කරන්න තරම් මගේ තාත්තාට දූරදර්ශී බුද්ධියක්, තිබුණා. පසුව දවසින් දවස පාවහන් කඩය නො සිතු විරූ ලෙස දියුණු වුණා. කිරි, කිරි සමඟ ද, තෙල්, තෙල් සමඟ ද, ගිතෙල්, ගිතෙල් සමඟ ද සැසඳෙන්නාක් මෙන් කලණ අදහස් ඇති අය කලණ අදහස් ඇති අය සමඟ සැසඳෙනවා. එවැනි හොඳ මිනිසකු මගේ පියාගේ ව්‍යාපාර ජීවිතයේ මුල සිට ම සිටියා. ඒ ඔහුගේ ඥාති පුත්‍රයෙක් වූ සෝමපාල මහතා යි. 
 අනුව 1962 වර්ෂයේ ඩී. සැම්සන් කර්මාන්ත ශාලාව අපේ නිවස අසලමයි ඉදි වුණේ. සේවකයන් 25 දෙනකු මුලින් ම සේවයට යොදා ගෙන ගමේ සිටින තරුණ පිරිසට රැකියාවක් දීමේ අදහසින් කර්මාන්ත ශාලාව ගමේ ම ඉදි වූ බව මා අසා තිබෙනවා. තරුණ වයසේ සිටි අප, තාත්තා ව්‍යාපාරය දියුණු කරන්නට ගන්නා මහන්සිය, ඒ සඳහා යොදවන ඥානය දෑසින් දුටුවා. කාලයත් සමඟ අපි පිටකොටුවේ පළමු හරස් වීදියේ තවත් කඩයක් විවෘත කළා. ඒ කාලයේ දී ම කොළඹ 03 වැනි ප්‍රදර්ශනාගාරයත් විවෘත කළා. ඒ සමඟම තොග ගබඩාවට මැලිබන් වීදියේ ගොඩනැඟිල්ලක් මිලදී ගෙන ව්‍යාපාරය ක්‍රමයෙන් පුළුල් කළා. මගේ තාත්තාට විශ්ව විද්‍යාල අධ්‍යාපනයක් නො තිබුණාට පිටකොටුව තුළ සිට ව්‍යාපාර ප්‍රජාව ඇසුරු කිරීමෙන් ලද අත්දැකීම් සම්භාරය ඉතා ඉහළියි. ඒ අත්දැකීම් සමඟ තමන් සතු සහජ ව්‍යාපාරික ඥානය ද උපයෝගි කර ගනිමින් මගේ තාත්තා මේ ව්‍යාපාරය දියුණු කරන්නට ඇතැයි මට දැන් හිතෙනවා. නව ව්‍යාපාරයන් සඳහා ගමන් කළ ඒ අභියෝගාත්මක ගමන සාර්ථක ව තරණය කළේ තාත්තා ඉතා නිහතමානී, අවංක පුද්ගලයකු වූ නිසා කියා අද අප විශ්වාස කරනවා. 
 මේ වන විට ච්ඉ ධ් සමූහ ව්‍යාපාරයේ ප්‍රදර්ශනාගාර 250 ක් පමණ දිවයින පුරා තිබෙනවා. සේවකයන් 12,000 ක් පමණ සේවය කරනවා. මේ තුළින් අපි අපේ රටේ තරුණ පිරිසට විශාල අත දීමක් කර තිබෙනවා වගේම රටට විදේශ විනිමය ගෙන ඒමටත් මේ ව්‍යාපාරය රුකුලක් වී තිබෙනවා. බුදුදහමට මුල්තැන. . .තාත්තා මේ සියල්ල ම සිදුකළේ බෞද්ධ දර්ශනය මුල් කරගෙන යි. පුද්ගලයකු වශයෙන් එතුමා තුළ අප්‍රතිහත ධෛර්යය, ස්ථානෝචිත ප්‍රඥාව, අප්‍රමාදී ව කටයුතු කිරීම වගේ ම ජවසම්පන්න ක්‍රියාශීලිත්වයක් තිබුණා. සම්මා සතිය යන බුද්ධ වචනය මහත් සේ අගය කළා. එය ක්‍රියාවට නැඟුªවා. ඔහු සෑම කටයුත්තක දී ම බුදු දහමට මුල් තැන දී කටයුතු කළ උතුම් මිනිසෙක්. බෞද්ධ සිද්ධාන්ත මුල්කරගෙන මේ ව්‍යාපාරය ආරම්භ කර, ක්‍රියාත්මක කළ නිසයි මෙ තරම් දියුණු වුණේ. එතුමා පාසල් දරුවන්ගේ ගුණධර්ම නඟා සිටුවීමටත්, දහම් පාසල් දියුණු කිරීමටත් විශාල මෙහෙවරක් සිදුකළා. ච්ඉධ් ව්‍යාපාරයට බඳවා ගන්නා දරුවන්ට දහම් පාසල් සහතිකය සහ ගමේ විහාරස්ථානයේ ස්වාමින් වහන්සේගේ චරිත සහතිකය අනිවාර්ය කර තිබුණා. අදටත් අපගේ ව්‍යාපාර තුළින් ලැබෙන ලාභයෙන් කොටසක් සමාජ සත්කාර වෙනුවෙන් වෙන් කරනවා. විහාරස්ථාන නඟා සිටුවීමට මෙන් ම, සෞඛ්‍ය, අධ්‍යාපනය, කලා ක්ෂේත්‍රය ආදී විෂයයන් වෙනුවෙන් අප පෙනී සිටිනවා. බුදු දහමේ එන සත්‍යවාදීත්වය සහ කෘතවේදී බව කියන ප්‍රතිපත්ති අපේ ආයතනයේ මූලධර්ම යි. ඒ කෘතවේදීත්වය පාරිභෝගිකයන් වෙත අප දක්වන්නේ මිල සාධාරණය තුළින් සහ ගුණාත්මකභාවය තුළින්. තුන්වැනි පරම්පරාව. . .මේ වන විට මම විශ්‍රාම සුවයෙන් පසුවුවත් ආයතනය නිවැරැදි මාර්ගයේ ගමන් කිරීමට උපදෙස් සහ අනුග්‍රහය ලබා දෙනවා. මේ වනවිට තුන්වැනි පරම්පරාව විසිනුයි ආයතනය මෙහෙයවනු ලබන්නේ. ව්‍යාපාර ලෝකයට සරිලන පරිදි ඔවුන් අධ්‍යාපන සුදුසුකම් සපුරා තිබීම අපට සතුටක්. අප දරුවන්ටත් කියා දෙන්නේ දෑස් විවිර කර ලෝකය දෙස බලනවාට වඩා දෑස් වසාගෙන තමා දෙස බැලීම සුදුසු බවයි. ලාභ, අලාභ, යස, අයස, නින්දා, ප්‍රශංසා, සුඛ, දුක්‌ඛ යන අටලෝ දහම පිළිබඳ අවබෝධයෙන් අපගේ පියාණන් කටයුතු කළ ආකාරයට ම ක්‍රියා කිරීමට අප විසින් තුන්වැනි පරම්පරාවට ද උපදෙස් දෙනු ලබනවා. සේව්‍යයා හා සේවකයා අතර සම්බන්ධය පිය - පුතු සෙනෙහස හා සමාන කොටයි මගේ පියා සැලකුවේ. ඒ නිසයි සේවකයන්ගේ සහයෝගය අදටත් මෙතරම් මේ ආයතනයට ලැබෙන්නේ. අදටත් අප සියලු දෙනාම කිසිම හොර, බොරු, වංචාවක් නැතුව පංච ශීල ප්‍රතිපත්තීන්ට අනුව යමින් මේ ව්‍යාපාරය පවත්වාගෙන යන්නේ පියාට ගෞරවයක් වශයෙන් සහ එතුමා අනුගමනය කළ ක්‍රියාපටිපාටිය අනුව යි. 
 | ||||||||||