Print this Article


භාෂා සාහිත්‍ය දියුණු කරමින් ශාස්ත්‍රීය ලෝකය ඒකාලෝක කළ රත්මලානේ ධර්මාරාම නා හිමියෝ

භාෂා සාහිත්‍ය දියුණු කරමින් ශාස්ත්‍රීය ලෝකය ඒකාලෝක කළ රත්මලානේ ධර්මාරාම නා හිමියෝ

" එදා කොළඹ පරම විඥානාර්ථ සමාගමෙන් නිකුත් වූ “සරසවි සඳරැස“ පුවත්පතේ කර්තෘ වූයේ මෙරට ප්‍රවීණ මාධ්‍යවේදී එච්. එස්. පෙරේරා මහතා ය. එම කර්තෘ තනතුරෙන් ඉල්ලා අස් වූ ඒ මහතාට අභිනවයෙන් පුවත්පතක් ආරම්භ කිරීමට වුවමනා විය. ඒ සඳහා කලක් පවතින සුදුසු නමක් තනවා ගැනීම සඳහා පෙරේරා මහතා පිය නැඟුවේ රත්මලානේ ධර්මාරාම නාහිමියන් වෙතට ය. තමාගේ අදහස පවසා සුදුසු නමක් නිර්මාණය කර දෙන මෙන් පෙරේරා මහතා ධර්මාරාම නා හිමියන්ගෙන් ඉල්ලා සිටියේ ය. ධර්මාරාම නා හිමියන් පැවසුවේ ඔබ සේවය කළේ “සඳරැසේ“ නිසා අභිනව පුවත්පත “දිනමිණ“ නමින් නම් තබා පවත්වාගෙන යන ලෙස ය. “දිනමිණ“ පුවත්පත අද ලේක්හවුස් ප්‍රකාශනයකි."

ලෝක බෞද්ධ ශාසන ඉතිහාසයෙහි මහා ප්‍රදීපස්ථම්භයක් ලෙස හඳුන්වන පෑළියගොඩ විද්‍යාලංකාර මහා පිරිවෙන්හි දෙවන පරිවේණාධිපති වහන්සේ වූයේ රත්මලානේ ශ්‍රී ධර්මාරාම හිමිපාණන් වහන්සේ ය. උන් වහන්සේගේ ශාසන යුග මෙහෙවර වූයේ වර්ෂ 1853 සිට 1918 අතර කාලයයි.

රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියන් වහන්සේ විද්‍යාලංකාර පිරුවන මුළු මහත් ශාස්ත්‍ර ලෝකයේ ම සම්භාවනීයත්වයට පත් කරන්නට ඇප කැප වූ යතිවරයන් වහන්සේ නමක් මෙන් ම මෙරට පහළ වූ ධර්ම දේශකයාණන් වහන්සේ නමක්, ගුරුවරයෙක්, ගත් කතුවරයෙක්, සංස්කාරකවරයෙක් , උගතෙක් ලෙසින් අපේ රටට, ජාතියට, ආගමට දහමට මෙන් ම භාෂා ශාස්ත්‍රාදියට කළ සේවය අති මහත් ය. මෑත ඉතිහාසයේ වැඩ විසූ අද්විතීය වූ බහුශ්‍රැත, සුපේශල ශික්ෂාකාමී, සංඝ පීතෘවරයාණන් වහන්සේ නමක් ලෙසින් ශාස්ත්‍ර ලෝකය ම උන්වහන්සේට අදටත් ගරු බුහුමන් කරති.

1853 ක් වූ සැප්තැම්බර් 23 වැනි දින කලපළුවාවේ දී උපන් ධර්මාරාම හිමියන්ගේ මවත් පියාත් වූයේ දෝන ඉසබෙලා ද අල්විස් සිරිවර්ධන හා ඇලෙක්සැන්ඩර් වීරසිංහ අප්පුහාමි දෙපළයි. අනාගත සුබ මං සලකුණුවලින් පිරිපුන් ව උපත ලැබූ පුත් කුමරු බැලීමට පැමිණි ඥාති පිරිස අතර දෝන ජුලියානා ද අල්විස් සිරිවර්ධන හාමිනේ නම් පුත් කුමරුගේ කුඩා මෑණියන් හා එතුමියගේ ස්වාමියා වූ ගොතටුවේ දොන් යොහන්නස් වෙද මහතා ද විය. පුත් කුමරුගේ වේලාපත්කඩය සෑදවීම භාරගත් ජුලියානා හාමිනේ සිය සැමියාගේ ගුරුවරයා වූ බටුවන්තුඩාවේ දේවරක්ඛිත පඬිතුමා වෙත යැවීය. දේවරක්ඛිත පඬිතුමා කුමරුගේ උප්පත්තියෙහි දී ග්‍රහයන් පිහිටීම බැලූ පමණින් ම මෙය දුර්ලභ ගණයේ හැකියා රැසක් දෝතින් රැගෙන පැමිණි පින්වත් කුමරෙක් යැයි සතුටු සිතින් පවසමින් හඳහන ලියවා දෙන්න යැයි දොන් පිලිප් ද සිල්වා ඈපා අප්පුහාමි වෙත භාර කළේ ය.

ඈපා අප්පුහාමි කුමරුගේ කේන්ද්‍රය බලා“මේ කුමරු මතු වන්දනීය පැවිදි උතුමෙක් වන්නේ ය. ඒ වගේ ම ලෝකයට මහඟු සෙතක් අත්කර දීමට අප වෙත පැමිණි උතුම් උපතක් යැයි පවසමින් වේලාපත්කඩය ලියා නිම කළේ ය.

කුඩා කුමරු අකුරු ඉගෙනීමට සුදුසු කල පැමණි පසු, එනම් වයස අවුරුදු පහේ දී පමණ ශතක පොත් කියවීමට සුදුසු කාලය යැයි සලකා ඒ පිළිබඳව එවකට අතිදක්ෂ වූ කිත්සිරිමෙවන් කැලණි විහාරවාසී කොටගම ස්වාමීන් වහන්සේ වෙත බාර කළේ ය. ඒ උදේ අකුරට ගොස් සවස නිවසට පැමිණෙන ශිෂ්‍යයකු ලෙස ය. උදේ සවස මේ ආකාරයෙන් ඇවිදීමෙන් කුඩා දරුවාට අධික වෙහෙසක් ඇති විය හැකි යැයි මව්පිය දෙපළ සිතූහ. එසේ සිතා අලුත්කුරුවේ අස්ගිරිවල්පොළ විසූ ළඟම ඥාතිවරයකු වූ දොන් දිනෙස් අමරතුංග අප්පුහාමිගේ නිවසේ නතර කළේ ය. එහි නතර කොට ඊට නුදුරු ස්ථානයක වස් වසා වැඩ සිටි ඇලෙක්සැන්ඩර් වීරසිංහ අප්පුහාමි පියාගේ පැරැණි ඥාති සම්බන්ධයක් ද ඇති ධර්මධර, විනයධර, බහුශ්‍රැත, සිල්වත් හිමිනමක් වූ කහතුඩුවේ චන්දජෝති ස්වාමීන් වහන්සේ වෙත සිප් සතර ඉගෙනීම සඳහා තම පුතු භාර කරන ලදී.

ස්වාමීන් වහන්සේ මේ කුඩා පුත් කුමරු භාරගන්නා අවස්ථාවේ දී මේ ළමයා මහණ කරවන්නට සතුටු දැයි විමසා ඇත. එම ප්‍රශ්නයට පියා දුන් පිළිතුර වූයේ “අකුරු ඉගෙන ගත්තා ම කමැත්තක් කරන්නට පුළුවනි " යන්නයි.

වීරසිංහ අප්පුහාමි පියා එදා දුන් උත්තරය කුඩා දරුවා මහණ කිරීමට දුන් අවසරයක් යැයි සිතූහ. එසේ සිතා දරුවා භාරව සිටි දිනෙස් අප්පුහාමි කැඳවා “දරුවා මහණ කරන්නට කැමැත්ත දී තිබෙනවා. ඊට නැකැත් ද බලා තිබෙනවා. ඒ නිසා නැකැත් වේලාවට කලින් දරුවා කැටුව පැමිණෙන ලෙස කීවේ ය. “දිනෙස් අප්පුහාමි පවසා සිටියේ අපට පියාගෙන් එවැනි කැමැත්තක් පළ කළ බව කියා නැත යන්නයි.“ අපට වරද වැටේ යැයි කී විට ද, කහතුඩුවේ චන්ද්‍රජෝති හිමි පැවසුවේ වීරසිංහ අප්පුහාමි දරුවාගේ පියා මගේ කිට්ටු ඤාතිවරයෙක්, මේ දරුවා මගේ මුනුබුරෙක්. අකුරු කරන්නට භාර දීමේ දී මහණ කරන්න කැමැත්ත දී තිබෙනවා යන්නයි. නැකැත් දින ඉතා ළඟ නිසා දරුවාගේ පියාට දන්වා යැවීමට කාලයක් නැහැ. පැමිණෙන සියලු වරදකට මම ඉදිරිපත්වෙමි‘යි උන්වහන්සේ පැවසූහ . උන්වහන්සේගේ බලවත් ඉල්ලීම නිසා ම දිනෙස් අප්පුහාමි දරුවාගේ භාරකරු එයට කැමැතිව සිය නැදෑ පිරිස සමඟ දරුවා නියමිත වෙලාවට පැමිණ උන්වහන්සේට භාර කළේ ය. අවුරුදු හතයි මාස හතරක් පමණ වයසැති කුඩා කුමරු 1860 වසරේ දිනෙක උත්සවාකාරයෙන් කහතුඩුවේ චන්ද්‍රජෝති ස්වාමීන් වහන්සේගේ ආචාර්යත්වයෙන් පැවිදි බිමට ඇතුළත් විය. සිප් සතර ඉගෙනීමෙහි ලා අති දක්ෂ හිමි නමක් ද විය.

ශාසනික අභිවෘද්ධිය පිණිස චන්ද්‍රජෝති ස්වාමීන් වහන්සේ දරුවා මහණ කර යහපතක් කළේ ය. එහෙත් දරුවාගේ මව්පිය දෙපාර්ශ්වයට ම එය කණස්සල්ලට හේතුවක් විය. ඒ හේතුව නිසා ම විටක උපැවිදි කරන්නට තැත් කළ ද, හෙරණපාණන් වහන්සේ ද එයට අකමැත්ත පළ කළ හ. කුඩා සාමණේරයන් වහන්සේ මව්පියන්ගේ අකමැත්ත දුරු කරනු පිණිස සිංහල අලුත් අවුරුදු සමයක දී තම උපන් ගම්පියස වූ කලපළුවාව ප්‍ර දේශයේ මසක් පමණ වැඩ වසමින් බණ දහම් කියා දෙමින් තම ඥාති පිරිස අස්වසාලීමට ද ක්‍රියා කළහ. කුඩා සාමණේර හිමියෝ පාලි භාෂාවෙන් කතා කිරීම ද, චතුර ලෙස ධර්ම දේශන පැවැත්වීම ද ප්‍රගුණ කළ බව කියැවේ. කුඩා සාමණේර හිමියන්ගේ දක්ෂතාවන් දුටු ගුරු හිමියන් වූ චන්ද්‍ර ජෝති හිමියෝ “ඉතා දියුණු වන සාමණේර නමක යැයි ද, එසේ මෙසේ තැනක වාසය කරවිය යුතු නොවේ යැයි ද කල්පනා කළහ.

ඉතිරි කොටස මීළඟ කළාපයේ පළවේ ...