Print this Article


පහන් සිතක කවි

මෙවර ජයග්‍රාහී නිර්මාණය

පොඩි සාධු තනියම

කඩුපුල් මල් රැයේ පිපී උදැහැනැක්කෙ සුවඳ ගලා
සුවඳ නැඟී ගියත් උදේ අනියත බව ලකුණු වෙලා
වැවේ නෙළුම් මලක් පිපී වැනෙයි මඩෙන් උඩට වෙලා
අනේ! ඒක නෙළා ගන්න බැහැ නො වැ මට වතුර ගලා

ලොකු සමිඳුන් ගමේ ගොහින් අම්මා අසනීප නිසා
දායකයොත් ආවෙම නැහැ වැස්ස තුරල් නොවන නිසා
හිරු ඇවිදින් එහෙන් මෙහෙන් එබිකම් කර බලන නිසා
පෙහෙළි කළා වත්ත පුරා තණ කොළ දලු වැවිල නිසා

ඇටඹ ගහේ ගෙඩි ඉදිලා බටු ගිරවුන් පොර කනවා
ලේනුන් ටිං ටිං කියමින් උන් පසු පස එළවනවා
ජම්බු ගහේ ගෙඩි පිරිලා නඟින්න හිත සැරසෙනවා
පොඩි සාධුට අකැප නිසා අහක බලාගෙන යනවා

බුදු සමිඳුනි“ බතක් පිසිමි“ හීල් දානයට
අඩුවක් හෙම තිබුණෝතින් සමා වෙන්න මට
රැයේ පිපුණ මල් උදයට පරවී යන විට
අනියත බව කියා දුන්නෙ ලොකු සමිඳුයි මට

****

විපතක හැටි

සොබාදහම ඇයි මෙලෙස කිපෙන්නේ
නිරතුරුව ම සරදම් ලැබ දෙන්නේ
අසරණ මිනිසුන් ඉන් ලත වෙන්නේ
අධමුන්ගේ බල බිඳෙනු දැනෙන්නේ

ඇයි ලතවනු කිම පෙර භවවල දී
කළ හැඩි දැඩි කම් පල දෙන කල දී
ගෙන දෙයි මෙ විපත් විශ්වය පල දී
කළ කම් සිහිකොට හැදෙන්න පැහදී

****

කම්පල

අහසේ හිටියත් කම්පල දෙනවා
උස්මිටිකම් එහෙ නෑ
පොළොවේ හිටියත් ගුටිබැට දෙනවා
කුල මල කිසිවක් නෑ
මුහුදේ හිටියත් පස්සෙන් එනවා
අල්ලස් ගන්නෙ ම නෑ
ජීවිත ගමනේ සසර දනව්වේ
පිහිටට කව්රුත් නෑ

හම්බ කරපු දේ සත පනහක් වත්
අරගෙන යන්නට පුලුවන් ද
ඉඩම් කඩම් ටික හේන් කුඹුරු ටික
යනකොට අරගෙන යා හැකි ද
බැංකු ගිණුම්වල මුදල් හදල් ටික
පිහිට වෙන්නවත් එනවා ද
දූ දරුවන් හා නෑදැ පිරිවර
ඔබ හා පරලොව යනවා ද

පින්පව් විතරයි ජීවන ගමනේ
ඔබෙ තනියට පස්සෙන් එන්නේ
කළ කී දේවල් කම් පල විදියට
ඔබේ ගමන් මඟ සරසන්නේ
සසර පුරුදු ටික පමණයි ඔබගේ
තනිකම මඟ හරවා ලන්නේ
එහෙනම් පින්වත මේ කෙටි කාලෙට
මොකට ද ගුටිබැට ඇණ ගන්නේ

****

මව්පියො නමදිමු

දැනමුතුකම් සුරකින
වැඩිහිටියන් නමදින
මව්පියනට සලකන
සැම බැබළේ දින දින

අසමින් මුනිදුන් බණ
නිරතුරු පුදමින් දන
වැඩිකර මින් යහගුණ
පුරවා ගන්නෙමු පින

සංවරකර ඇස කන
පිරිසුදු කරමින් මන
සීලය රැක මෙන් පණ
අය වෙති ලොව සනසන

****

හරි මඟ

යා ගත හැකි වුණොත් දිවියේ හරි මඟ ම
තෝරා ගන්න දහමේ අරි අට මඟ ම
සිල්වත්කමින් පිරිසුදු වෙයි මුලු හිත ම
මතු යම් දිනෙක ඇත නිවනේ දොර ළඟ ම

සිහි නුවණින් විමසා මෙම දහමෙ තතු
ළං කර ගතොත් තම දියුණුව ගෙනෙයි මතු
සසරින් එතෙර වී නිවනේ මගම නතු
කර ගත හැකිය අරි අට මඟ ගියොත් පැතු

****

මව්ගුණ සිහි කරමි

මිණි කිරුළක් ලෙසින් මුළු නිවස ම බැබළු
පායා නැඟෙන ඉර හඳ සේ ඔප කරලූ
විකසිත උදය පියුමක් විය නෙත ඇළලූ
මව් ගුණ සිහි කරමි පිරි නෙත තුටු කඳුළු

මොළකැටි මුදු සිරුර සවිබල කරන්නට
ජීවය දුන්න වැටි වැටි පිය නඟන්නට
උණුසුම තුරුලෙ දුන් නැණ ගුණ වැඩෙන්නට
විශ්වයෙ වදන් නැත මව් ගුණ වණන්නට

උතුරා ගැලූ ඔබ සිරුරේ රස ඕජා
ලැබ මා හද මඬලෙ වැපිරිණි සරු බීජා
මෙතෙකැයි කිව නොහේ මා ඉන් ලද තේජා
මේ කවි කළඹ වේවා! ඔබහට පූජා

****

තෙමඟුල් උදානය

ලුම්බිණි උයනේ සල්තුරු සෙවනේ
බිළිඳු උපන් පින්යාමෙ බලා
සත් පියුමන් වෙමි කුමරු වඩින මඟ
බුදුවන අරුමය ලොවට කියා

පෙරුම් පුරා ආ සසර දනව්වේ
බුදුවන පින්බර යාමෙ බලා
බෝපත් වී මම පවන් සලන්නෙමි
වෙසක් පුරා සඳ නැඟෙන තුරා

කුසිනාරාවේ සල් මල් උයනට
වඩිනා අවසන් යාමෙ බලා
සල් කුසුමන් වී සුසුම් හෙළන්නෙමි
ලොව්තුරු සම්බුදු අසිරි මවා

****

මගේ ලෝකයේ රජු

ගත වද දී සොයා රුපියල්
රස මසවුළු කුසට පුරවා
ආදරයෙන් හිස අතගා
හැදට තුරුළු කර සිටිය හැටි
මතකයි තාමත්..

ළපටි අත්පොඩි මගේ එක්කොට
වෙහෙසුණා සිප් කිරි පොවන්නට
යා යුතු නො යා යුතු මං පෙතට ළංකොට
කැප කළා මුළු දිවිය ඔබගේ
මා මිනිසකු කරන්නට
අමිල ය ඔබේ ගුණ
ගයන්නට සිතේ ඇත
එහෙත්
කොතැනින් පටන් ගන්න ද
රජු ඔබය
තාත්තේ
මගේ දිවි ගමනේ

****

කවි කිවිඳියනට සතර පෝ දාට ම දහම් තුටු පඬුරු

බුදුසරණ ‘පහන් සිතක කවි’ නිර්මාණ පිටුව සරසන ලේඛකයන් ඇගයීම පිණිස දෙහිවල නැදිමාල බෞද්ධ සංස්කෘතික මධ්‍යස්ථානය සහ කොළඹ සම්බුද්ධත්ව ජයන්ති මන්දිරයේ අධ්‍යක්ෂ කිරම විමලජෝති නා හිමියන්ගේ අනුග්‍රහයෙන් දහම් පඬුරු තිළිණ කෙරේ. සතර පෝදාට ම හොඳම නිර්මාණ එවන ජයග්‍රාහකයන් සතර දෙනෙකුට එම තිළිණ පිරිනැමෙනු ඇත.