Print this Article


කච්ඡප ජාතකය ඇසුරිනි: ඉබි පාඩම

කච්ඡප ජාතකය ඇසුරිනි

ඉබි පාඩම

මඟුල් උයනේ සල් ගස යට අසුනෙහි රජු සිටිනු දුටු එක් ඇමතියෙක් වට පිට බලා වහා සැඟවී ආපසු ගියේ ය.

අනෙක් ඇමතියෙක් ද පැමිණ ගසකට මුවා වී සිටි පළමු ඇමති ලුහුබැන්දේ ය.

“යාන්තම් බේරුණා” දෙවැනියා සිනාසෙමින් කී ය.”

“ඔව්, මාත් බේරුණා, ඒත් අන්න අර මිනිහා නම් අහුවෙනවා”

වෙනත් ඇමතියකු රජු ඉදිරියෙන් යනු දුටු පළමුවන ඇමතියා කී ය.

“ඔව්, අන්න රජතුමා ඔහුට කතා කරනවා”

දෙවැනි ඇමති කීය.

රජතුමා තුන්වන ඇමතියා කැඳවී ය.

“අභය,ඊයේ තොප රාජ සේවයට ආවේ නැහැ. මොකද? පුතාගේ රෝගය තවමත් තිබෙනවාද? “

රජු ඇසී ය.

“රෝගය නම් සංසිඳිලා. දැන් වෙනත් රෝගයකට පුතු ගොදුරු වෙලා.”

ඇමති කීය.

“ඒ මොකක්ද?”

“පුතා තක්ෂිලාවට යන්න බැහැ කියනවා.”

“හා .ඒක නම් මහා රෝගයක්. මා තක්ෂිලාවේ සිටි යුගය මුළුමනින් ම ගත කළේ අධ්‍යාපනයට හා ! මා තරම් දක්ෂ ශිෂ්‍යයෙක් දිසාපාමොක් ආචාර්යතුමාට හිටියෙ නැහැ. එතුමා මට පුදුම ආදරයක් දැක්වූයේ. අන්තිම අවුරුදු දෙකේ අනෙක් ශිෂ්‍යයන්ට ඉගැන්වීම මට පැවැරුවා. එතුමා මා ගැන කතා කළේ ආඩම්බරයෙන්. අභයලා මේවා දන්නේ නැහැ. එතුමාගේ දුව ගොළු එකියක් නොවූවා නම් මට ඒකටත් කර ගහන්න වෙනවා.”

රජුගේ හඬ උස් විය. සිනාවක් ද නැඟිණ.

අභය ඇමති ද සිනාසුණේ ය.

ඈත සැඟවී සිටි පළමුවන සහ දෙවෙනි ඇමතිවරුන්ට ද මේ කතාව ඇසිණ.

“ඔය කතාව එක් දහස් එක් වැනි වාරෙටයි මා ඇසුවේ. මට අහලම එපා වෙලා.”

පළමු වන ඇමතියා කීය.

“මටත් එහෙමයි” දෙවැනි ඇමතියා කීය.

අභය පා ඇඟිලිවලින් බිම ඉරි අඳිමින් ඈණුම් හැරියේ ය.

රජු දිගට ම කතා කළේ ය.

“කඩු සරඹෙහි මා පළමුවැනියා. ආචාර්ය තුමාගේ කඩු දහයකට වැඩිය මා අතින් කැඩුණා. මගේ පිය රජතුමා ඒ දහයට කඩු සියයක් තක්ෂිලාවට යැව්වා. දුනු සරඹෙහිත් මුල් තැන මට. බඹ දහයක් දුර වෙරළු ගෙඩියකට මා විද්දා. වෙරළු ගෙඩියත් අරගෙන ඊතලය බඹ විස්සක් දුරට ගියා. ආචාර්ය තුමා අත්පුඩි ගැසුවා. අනෙක් ශිෂ්‍යයන් මට ඊර්ෂ්‍යා කළා.”

රජුගේ මුහුණේ සතුට ඉතිරිණ.

“රජතුමනි. ඔබතුමා කී කතා මා පුතාට කියනවා. ඉන් පසු මගේ පුතාගේ සිතට ඉගෙනීමේ ආසාවක් ඇතිවේවි.”

අභය ඇමති කීය.

“මා ඉගෙනගත් හැටි මුළු රටේ ම ශිෂ්‍යයනට කියන තරමට හොඳයි. මේ රටේ ළමයින් මා ආදර්ශයට ගත්තොත් රටම තක්ෂිලාවක් වේවි. පුතාට කියන්න මා ඉගෙන ගත් හැටි”

ඇමතිවරයා රජුට වැන්දේ ය.

“අවසරයි රජතුමනි, පුතාට මෙය හැකි ඉක්මනින් කිව යුතුයි.”

“තොපට මෙය රාත්‍රියේ කිව හැකියි. තව ස්වල්ප වේලාවක් තොප මා සමඟ රැඳී සිටිය යුතුයි.”

රජු තක්ෂිලාව පිළිබඳව තවත් කතා කීවේ ය. සැඟවී සිටි ඇමතිවරු දෙදෙනාට තවත් ඇමතිවරයෙක් එකතුවිය. ඒ පුරෝහිත ඇමති ය. “අභයට වෙච්ච දේ පෙනෙනවාද?

පළමු ඇමති පුරෝහිතගෙන් ඇසීය.

“ඊයේ මාත් දවස පුරා ම ඔය දඬුවම වින්දා. රජතුමා මට යන්න දුන්නේ නැහැ. එතුමා මුළු දවසම සිටියේ කට ඇර ගත්තු ගමන්. ඔය පුරුද්ද නතර කිරීමේ ක්‍රමයක් ගැන මා හිතනවා. නමුත් තාමත් සුදුසු ක්‍රමයක් මගේ හිතට ආවේ නැහැ.”

පුරෝහිත කී ය.

“ඔය කට වහන්න කිසිවකුට බැහැ. රජතුමා කිසිවකු නැති වේලාවට සුනඛයා සමඟ කතා කරනවලු.”

දෙවැනි ඇමති කීය.

අනෙක් දෙදෙනා මහ හඬින් සිනාසුණහ.

“අපි මෙතනින් පැන ගනිමු. හෙට උදේ රාජ සභාවත් තියෙනවා නේ.”

පළමුවැනි ඇමති කීය.

පසුදා රාජ සභාව ඇමතිවරුන්ගෙන්, සෙනෙවිවරුන්ගෙන්, සිටුවරුන්ගෙන් සහ රාජ පුරුෂයන්ගෙන් පිරිණ.

මහ අසුනේ වැඩ සිටි බඹදත් රජු අභය ඇමති දෙස බලා මඳ සිනා පෑවේ ය. පුරෝහිත ඇමති ද අභය දෙස බැලී ය.

“පුරෝහිතය, තොප දන්නවා ද මේ අභයගේ පුතා තක්ෂිලාවට යන්න බැහැයි කියනවා.”

රජු උස් හඬින් කියා සිනාසුණේ ය.

අභය නැඟිට රජුට හිස නැමී ය.

“රජතුමනි, පුතා අද උදෑසන යළි තක්ෂිලාවට ගියා.”

“සන්තෝෂයට කාරණාවක් එය,ඊයේ මා කී කතා නුඹ පුතුට කීවෙහි ද? නිසැකව ම කියන්නට ඇති. නැත්නම් කොහොමද පුතාට තක්ෂිලාවට යාමට අදම හිතුනේ.”

“රජතුමනි, ඔබතුමා අධ්‍යාපනය ලැබූ ආකාරය මා පුතාට කීවා. තක්ෂිලාවට යා යුතුයයි පුතාම ඉන් පසු තීරණය කළා.”

රජු යළි මහ හඬින් සිනාසුණේ ය.

“තක්ෂිලාවේ හොඳම ශිෂ්‍යයා වුණේ මම. මා සමඟ සිටි ශිෂ්‍යයන්ට ඉගැන්වීමට ආචාර්යතුමා මට කීවා. ඔය මගධ දේශයේ. කෝසල දේශයේ, අවන්ති දේශයේ, රාජ කුමාරවරුන්ට මා ඉගැන්වූවා. ඒ කුමාරවරු අද මා වගේ ම ඒ රටවල රජවරු.”

ඔහු සිය බිසව දෙස ද බලමින් කීය.

බිසවගේ ඇස යොමුවී තිබුණේ වාසල් දොරකඩ සිටි සුනඛයා දෙසට ය.

ඒ මොහොතේ ම වාසල් දොරකඩ දෙසින් මහ හඬක් නැඟිණ. සුනඛයා ද බුරා ගෙන දොරෙන් පිටතට දිව ගියේ ය.

මිනිසුන්ගේ ද, ළමයින්ගේ ද ඒ කෑ ගැසිල්ල රජුගේ මුහුණ අඳුරු කළේ ය.

“රාජ සභාව රැස් වන අවස්ථාවේ වාසල් දොරකඩ ඝෝෂා කරන නොසණ්ඩාලයනට දඬුවම් කිරීමට පෙර මේ කිමෙක්දැයි සොයා බලා එනු.”

රජු රාජ පුරුෂයනට අණ කෙළේ ය.

රාජ සභාව ද නො සන්සුන් විය.

රාජ පුරුෂයෙක් තොරතුරු සොයා ගෙන පැමිණියේ ය.

“රජතුමනි, ඇදැහිය නොහැකි දෙයක්. ඉබ්බෙක් අහසින් වැටිලා. ළමයින් සහ මිනිස්සු කෑ ගහනවා.” රජු දත් සැපුවේ ය.

“තොප රාජ සභාව විහිළුවට ගත්තාද? ඉබ්බන් පියෑඹු කාලයක් ගැන මා අහලා නැහැ”

“සමා වී වදාරනු මැනවි රජතුමනි. එහි සිටි අපගේ රාජ පුරුෂයන් ද එය දැක තිබෙනවා.”

රජු නැඟිට්ටේ ය.

රාජ සභාව ද නැඟිට්ටේ ය

“අප එතැනට යා යුතුයි” රජු කීය.

මඳ වේලාවක් නිහඬව සිටි රජු

“අප සියලු දෙනාම එහි යා යුතු නැහැ. පුරෝහිතය තොප මෙය පරික්ෂා කොට මට වාර්තා කළ යුතුයි. මා ඊට හෝරා දෙකක් කල් දෙනවා.”

රජු යළි අසුනට බර විය.

පුරෝහිත ඇමති මහ වාසල් දොරින් පිටවී වීථියට ගියේ ය.

ඔහු දුටු මහ සෙනඟ වීථීයෙන් ඉවත් වූහ.

දෙකඩ වූ ඉදිබු කටුවක්. මස් කැබලි කීපයක් ඔහුට පෙනිණ. ඒ අසල ලේ තැවරුණු කෝටු කැබැල්ලක් ද විය. එය ද අහසින් වැටුනු බව ළමයෙක් කීය. කෝටුව මැද දත් පහරවල් පුරෝහිතට පෙනිණ.

ඔහු කිසිවකුගෙන් කිසිවක් නො විමසුවේ ය.

සිදුවූයේ කුමක්දැයි ඔහුගේ සිතේ සිතුවමක් මෙන් ඇඳිණ.

ඔහු වහා ම රාජ සභාවට පැමිණියේ ය.

“කුමක්ද සිදුවුණේ”

රජු නොඉවසිලිවත් ය.

පුරෝහිත කතා පුවත හෙළි කළේය.

සිදුවී තිබුණේ කුමක්ද?. මීළඟ බුදුසරණ කලාපයෙන් ඒ ගැන දැන ගනිමු.