Print this Article


ලොවට පිපෙන මල් - 04 කොටස: පුංචි වුණත් වීරයෙක් වෙන්න හැම දරුවකුටම පුළුවන්

පුංචි වුණත් වීරයෙක් වෙන්න හැම දරුවකුටම පුළුවන්

ආදරණීය දුවේ, පුතේ,

ඔබට හුඟක් ආදරය කරන ආරක්ෂා කරන පාසල් යවන සමීපම නැදෑයින් දෙදෙනා තමා අම්මා සහ තාත්තා. මේ නැදෑයින් දෙදෙනා නැත්නම් දරුවනුත් නැහැ. ඒනිසා අපිත් අම්මාටයි තාත්තාටයි හුඟක් ගෞරව කරන්න ඕනැ. කීකරු වෙන්න ඕනෑ. හොඳට ඉගෙනගෙන හිත් සතුටු කරන්න ඕනෑ.

අම්මාගේ, තාත්තාගේ වටිනාකම කොච්චර ද කිව්වොත් අපි බුදු රජාණන් වහන්සේටත් බුදුපියාණන්, අමා මෑණියන් කියනවා. අම්මා තාත්තා වගේ ම බුදුපියාණන් වහන්සේත් දරුවන්ට කරුණාවන්තයි. ආදරෙයි. දරුවෝ හොඳ මිනිසුන් වෙනවා දැකලා සතුටු වෙනවා.

දුවේ පුතේ ඔබලා රූපවාහිනිය බලනවා නේද? පත්තර බලනවා නේද? රේඩියෝවට සවන් දෙනවා නේද?

ඔබ දැකලා ඇති, අහලා ඇති, සමහර දරුවෝ තමන්ගේ මව්පියන්ට නරක විදිහට හිරිහැර කරන හැටි. මව්පියන් වයසට ගියා ම අපි ඒ අය ගෙදරින් එළියට ඇදලා දාන්න හොඳ නැහැ. කන්න බොන්න අඳීන්න පළඳින්න නොදී කාමරේකට හරි, සුනඛ කූඩුවකට හරි හරක් ගාලකට හරි දාලා මියයන තුරු බලාගෙන ඉන්න එක පව්කාරකමක්. ජීවත්වෙලා ඉන්න කොට ආදරයෙන් කරුණාවෙන් බලා ගන්නේ නැතිව, උපස්ථාන නොකර, ලෙඩට බෙහෙතක් අරන් දෙන්නේ නැතිව, මැරුණට පස්සේ ලොකු ලොකු උත්සව කරලා පලක් නෑ.

දුවේ, පුතේ අම්මා අපිව හැදුවේ ලේ ටික කිරි කර දීලා. තාත්තා දවස පුරාම දහදිය පෙර පෙරා වැඩ කරලා. වයසට යන මව්පියන් කැමති දරුවන් එක්ක ගෙදර ඉන්න. හූල්ල හූල්ලා අඬ අඬා මහල් නිවාසවල ඉන්න කැමති නහැ. වයසට ගියා ම සතුටින් ඉන්න ගෙවල් දොරවල් හදලා, ඒත් ළමයින්ට ම දීලා මහලු නිවාසවල ඉන්න එක මහා දුකක්. ඒකනෙ බුදු පියාණන් වහන්සේ කියන්නේ මව්පියන්ට උපස්ථාන කිරීම, සැලකීම, රැක බලා ගැනීම උතුම් මංගල කාරණයක් කියලා.

දුවලා පුතලා අහලා ඇති

පාන තියා බුදු සාධුට හිමිදිරියේ
අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා
ඇස් නොපෙනෙන අම්මා ගෙයි තනි කරලා

අපි කෝච්චියේ විරිදු කියන්නට එනවා. කියන ගීතය . දරුවෝ දෙන්නෙක් අන්ධ අම්මා කෙනෙක් ගැනයි ඒ ගීයෙන් කියන්නේ.

බුදු පියාණන් වහන්සේත් ඈතම ඈත අතීතයේ එක් කාලයක දුප්පත් දරුවෙක් වෙලා ඉපදිලා තියෙනවා. මේ දරුවාගේ අම්මයි තාත්තයි දෙන්නාගේ ඇස් පේන්නෙ නැහැ. අන්ධයි.

දරුවා පුංචි වුණත් වීරයෙක්. අන්ධ මව්පියන් ආදරයෙන් බලා ගත්තේ. එයා උදේම නැඟිටලා ජීවත් වුණ පුංචි ගේ පිරිසුදු කරනවා. මොනවා හරි කන්න දෙයක් උයනවා. පොකුණකින් වතුර ගෙනත් අම්මයි තාත්තායි නාවනවා. ඊට පස්සේ අලුත් එළවළු, පලතුරු ටිකක් හොයා ගන්න ළඟම තියෙන කැලෑවට යනවා.

කැලෑව සතුන්ගෙන් වගේ ම පලතුරුවලින්, එළවළුවලින් පිරිලා. සත්තුන්ගෙන් මේ දරුවාට කිසිම කරදරයක් නැහැ. ඇයි දන්නව ද දරුවා කිසිදාක කිසිම සතකුට කරදර කළේ නැහැ. ඒ නිසානේ දරුවාට සාම කියලා නමකුත් තිබුණේ.

දවසක් දරුවා පුංචි කෙක්කකුයි කූඩයකුයි අරන් කැලේට ගියා. ඉදුණු රස පලතුරු කඩලා කූඩය පුරවා ගත්තා. දැන් එයාට මහන්සියි. පොකුණකට ගිහින් මුහුණත් සෝදා ගෙන වතුර බොන්න පටන් ගත්තා.

මේ රටේ රජතුමා සත්තු දඩයම් කරන්න මේ කැලෑවට ම එන්න පුරුදු වෙලා හිටියා. එදත් රජතුමා මුවෝ දඩයම් කරන්න කැලෑවට ඇවිත්.

රජතුමාට පොකුණින් වතුර බොන දරුවා පෙනුණා. හැබැයි දරුවෙක් කියලා හඳුනා ගත්තේ නැහැ. මුවෙක් කියලා හිතලා දුන්නෙන් විද්දා. ඊතලය වේගයෙන් ඇදිලා ගිහින් දරුවාගේ ශරීරයට ඇතුල් වුණා. ඊතලයට විෂ දාලා නිසා දරුවා වේදනාවෙන් කෑගහන්න පටන් ගත්තා. අනේ එයා ඇඬුවේ එයාට රිදෙනවා, ලේ එනවා, ශරීරය දනවා, හුස්ම හිරවෙනා කියලා නෙමේ.

“අනේ දෙයියනේ ඇයි මාව මරන්න හදන්නේ. මං මැරුණොත් ඇස් පේන්නෙ නැති අම්මයි තාත්තයි බලා ගන්නේ කවුද? ඒ දෙන්නා බඩගින්නේ මැරිලා යාවි. අනේ මගේ අම්මයි තාත්තයි.

දරුවාගේ විලාපය රජතුමාට ඇහුණා. හොඳට ම දුකට පත්වුණ රජතුමා දරුවා ළඟට දුව ගෙන ආවා.

“අනේ පුතේ, මට සමාවෙන්න. මං ඔබ ව දැක්කේ මුවෙක් වගේ. ඒකයි විද්දේ“

රජතුමා කතා කළේ ලොකු දුකකින්

“මං මැරෙන්න බය නැහැ. ඒත් මගේ අන්ධ අම්මයි තාත්තයි තවත් අසරණ වෙනවා. ඒකයි මට දුක.“

“පුතේ මං පොරොන්දු වෙනවා පුතාගේ මව්පියන් හොඳීන් බලා ගන්න.

දරුවාගේ ඇස් දෙක පියැවුණා. ඔහු මියගියා කියල හිතපු රජතුමා කොළ අතු කඩලා ඔහුව වසා දැම්මා. පලතුරු වට්ටියයි කෙක්කයි අරන් අන්ධ තාත්තා ඉන්න පුංචි ගෙදරට ගියා.

ඇවිත් ඉන්නේ සාම පුතා නොවන බව අන්ධ මව්පියන්ට තේරුණා. කෝ අපේ පුතා කිය කියා අහන්න පටන් ගත්තා. බැරිම තැන ඇත්ත කිව්ව. රජතුමා ඒ දෙන්නාව සාම දරුවා ළඟට එක්ක ගියා.

තම පුතා වැළඳගත් මව්පියෝ අපේ පුතා අපිව හොඳට බලා ගත්තා. උපස්ථාන කළා. කිසිම දුකක් දුන්නේ නැහැ. ඒ මහා පින් බලයෙන් අපේ පුතාට පණ එන්න ඕන. අපිව බලා ගන්න අපේ පුතා ජීවත් වෙන්න ඕන“.

කියලා මහා සත්‍යක්‍රියාවක් කළා. මව්පියන්ගේ සත්‍ය වචන බලයෙන් ප්‍රාර්ථනාවෙන් සාමට පණ ආවා.

සතුටුයි නේද?