Print this Article


විහාර මහා දේවිය-  04 කොටස: විහාරමහා දේවිය ගැමුණු කුමරු දිරි ගන්වයි

විහාරමහා දේවිය ගැමුණු කුමරු දිරි ගන්වයි

ගැමුණු කුමරු උපන් කාලයේ දී ම තින්නවිල නමැති විල් තෙර දී එක්තරා ඇතින්නක ඇත් පැටවකු ප්‍රසූත කළා ය.

විහාර මහා දේවියගේ ස්වාමියා වූ කාවන්තිස්ස මහ රජතුමා සිංහල රාජ පරම්පරාවේ ඉතා ශ්‍රේෂ්ඨ රණකාමී, ඒ වගේ ම දූරදර්ශී රජ කෙනෙක් ලෙස හැඳීන්විය හැකි ය. නරපතියකු සතු සියලු ම ගුණාංගයන්ගෙන් කාවන්තිස්ස රජතුමා පරිපූර්ණ ව සිටියේ ය.

විහාර මහා දේවිය සමඟ කාවන්තිස්ස මහ රජතුමා විවාහ වීම හේතුවෙන් මුළු රට ම එක්සේසත් කිරීමේ අඩිතාලමට මුල පුරන්නට කාවන්තිස්ස රජතුමාට හැකි විය. ඒ වගේ ම දුටුගැමුණු කුමරුට තියුණු නුවණක් මෙන් ම එඩිතර බවක් උපතින් ම හිමි ව තිබුණි.

කාවන්තිස්ස මහ රජතුමා සිය පුත් කුමාරවරුන් දෙදෙනාගේ සටන්කාමී බව හොඳීන් වටහා ගත්තේ ය. ඒ නිසා ම රජතුමා නිරතුරුව ම කල්පනා කළේ පුත් කුමාරවරුන්ගේ සහායට අවශ්‍ය එඩිතර සේනාවක් සම්පාදනය කැර ගැනීමට ය. ඒ හේතුවෙන් ම චතුරංගනී සේනාව මෙන් ම දස මහා යෝධයන් ද රැස් කළේ ය. යම් දිනක ගැමුණු කුමරුත්, තිස්ස කුමරුත් අතර ආරවුල් ඇතිවනු දැකීමට පිය රජතුමා කැමති වූයේ නැත. එතුමා නිරතුරුව ම කැමති වූයේ තම පුත් කුමාරවරුන් අතර සාමය ඇතිවනු දැකීමට ය. යම් දිනෙක තම පුත් කුමරුන් දෙදෙනා අතර රජකමට ආරවුලක් ඇති වූවොත් එය වැඩිදුර යන්නට නොදී ධර්මානුකූල ව අවවාද දී සමථයකට පත් කරන ලෙස කාවන්තිස්ස රජු භික්ෂූන් වහන්සේලාගෙන් අයැද සිටියේ ය. ඒ වගේ ම කාවන්තිස්ස මහ රජතුමා දස මහා යෝධයන්ද දිවුරවා පොරොන්දු කර ගත්තේ ය. ඒ ගැමුණු කුමරුත්, සද්ධාතිස්ස කුමරුත් අතර යම් දිනක යම් වූ ද ආරවුලක් ඇති වූවොත් කිසි විටෙකවත් ඒ දෙදෙනාගෙන් එක් අයකුගේ පැත්තක් නොගෙන කටයුතු කරන ලෙස ය.

කුමාරවරු දෙදෙනාගේ වයස අවුරුදු 10 ක් 12 ක් පමණ කාලයේ දී විහාර මහා දේවියත්, කාවන්තිස්ස මහ රජතුමාත් කුමාරවරුන්ගේ සිතැඟියාවන් පරීක්ෂා කර බැලීමක් සිදු කළහ. සංඝරත්නය සිය මාළිගයට වැඩම කැර වූ කාවන්තිස්ස මහ රජු විසින් උන්වහන්සේලාට කිරිබත් දානයක් පූජා කරන ලදී. සංඝයා වහන්සේලා දන් වළඳා ඉතිරි වූ දානයෙන් කිරි බත් ගුළි තුනක් සාදා පුත් කුමාරවරුන් දෙදෙනා ලවා ,අප දෙදෙනා කිසි දිනක මහා සංඝරත්නයට විරුද්ධ වන්නේ නැත, යනුවෙන් මහා සංඝරත්නය ඉදිරියෙහි කියා ශපථ කරවාගෙන පළමු කිරිබත් ගුලිය දෙකට බෙදා අනුභව කරවීය. දෙවනුව ,අප දෙදෙනා කිසි කලෙකත් එකිනෙකාට එරෙහි වන්නේ නැත, යනුවෙන්, එ පරිද්දෙන් ම මහා සංඝරත්නය ඉදිරියෙහි ශපථ කරවාගෙන දෙවන කිරිබත් ගුලිය දෙකට බෙදා අනුභව කරවී ය. එලෙස ම පිය රජු ,ද්‍රවිඩයන් සමඟ සටන් නොකරන බවට, ශපථ කරවා ගෙන තෙවන කිරිබත් ගුළිය කැවීමට උත්සාහ කළ විට පුත් කුමාරවරු දෙදෙනා ම එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළහ. ගැමුණු කුමාරයා කේන්තියෙන් කිරිබත් පිඬ රන්තලියට ම දමා ගසා එතැනින් ඉවත් ව තම සිරියහන් ගැබට වැද අත් පා හකුළුවාගෙන නිදා ගත්තේ ය. කාවන්තිස්ස පිය රජු කුමරුගේ මෙම ප්‍රතිචාරය දැක බලවත් සතුටක් යටි සිතෙහි ඇතිවූවාට ද කිසිදු සැකයක් නැත. ඒ වගේ ම පුත් කුමාරවරුන්ගේ ප්‍රතිචාරය දුටු විහාර මහා දේවියට ද ,කවදා හෝ ගැමුණු කුමාරයා මගේ බලාපොරොත්තු ඉටු කරන බවට කිසිදු සැකයක් නැතැයි සිතා, සතුටු කඳුළු වැගිරුවේ ය.

විහාර මහා දේවිය කුමරුගේ සයනය වෙත ගොස් සෙනෙහස පිරි වදනින් මෙසේ ඇමතුවා ය. ,පුත ගාමිණී, මෙතරම් සුව දෙන සයනයෙහි ඇයි ඔබ අත් පා හකුළුවාගෙන ගුලි ගැසී නිදා සිටින්නේ, "මෑණියනි, උතුරින් හැඩි දෙමළුන් ය. දකුණින් ගොළු මුහුද ය. ඉතින් මම කොහොම ද අත් පා දිගහැර නිදා ගන්නේ" දොළොස් වියැති පුංචි කුමරුගේ මේ ශ්‍රේෂ්ඨ කියමන ඇසූ විහාර මහා දේවිය ,ද්‍රවිඩයන් සමඟ සටන් කර අප රට, ජාතිය හා බුද්ධ ශාසනය රැක ගැනීමට කුමරුට යෝධ බල, යෝධ ශක්තිය ලැබේවා.යි සතුටු සිතින් යුතු ව කුමරු සිප ආශිර්වාද කරමින් දිරි ගැන්වූවා ය.

කුමාරවරු දෙදෙනාගේ වීරත්වය දුටු කාවන්තිස්ස මහ රජතුමා සෑම විට ම උත්සාහ කළේ කුමාරවරුන්ට ධනු ශිල්ප, කඩු ශිල්ප, හස්ති ශිල්ප, අශ්ව ශිල්පයන් උගන්වා සිංහල ජාතියේ ම ප්‍රෞඩත්වය රැක දෙන වීරවරුන් බවට පත් කිරීමට ය.

පිහිටි රටින් නිතර අසන්නට ලැබෙන අවාසනාවන්ත සිද්ධීන්ගෙන් කම්පාවට පත්ව ගැමුණු කුමරු ද්‍රවිඩයන් සමඟ සටනට යෑම සඳහා කාවන්තිස්ස පිය රජුගෙන් නිතර නිතර අවසර ඉල්ලා සිටියේ ය. ගැමුණු කුමරු 16වැනි වියේ පසුවන කුඩා දරුවකු හේතුවෙන් පිය රජු ,ඉවසන්න, ඉවසන්න, යැයි පවසමින් කුමරු සැනසුවේ ය. ගැමුණු කුමරුට අවසර නො දුන්නේ ය.

සටනට යෑමට අවසර නොදීම හේතුවෙන් කුමරු රජ මාළිගයෙන් පළා ගියේ ය. පළා ගිය කුමරු පිය රජු රට පාලනය කරන්නට තරම් එඩිතර බවක් නැති රජකු ලෙස තීරණය කොට, පිය රජුට ස්ත්‍රී ආභරණ පාර්සලයක් සකස්කොට යැවීය. ආභරණ පාර්සලය දුටු විගස පිය රජු එය වරදවා තේරුම් ගෙන කිපී ක්‍රියා කළහොත් වන්නේ නපුරෙකැ'යි සිතූ ගැමුණු කුමරු රජමැදුරින් පලා ගියේ ය. කොත්මලේ ප්‍රදේශයේ සැඟවිණි.

ආභරණ පාර්සලය පිය රජු අතට පත් වූ විගස ම ජාතිය බේරා ගැනීමේ සටනට අවසර නොදීමෙන් සිත් වේදනාවට පත් ව ගැමුණු කුමරු කළ ක්‍රියාවක් බව වටහා ගත්තේ ය. එ සැණින් ම ,ඔය දුෂ්ඨ ගාමිණී අල්ලාපියව්, කියා කෑ ගැසූ බව ද කියැවේ. පුත් කුමරුගේ එඩිතර ක්‍රියාවෙන් ප්‍රමෝදයට පත් සිය පිය රජු ,දුෂ්ඨ ගාමිණී, යැයි පවසා අදහස් කළේ ,

,ඔය අභීත බිය නැති ගාමිණී අල්ලාපියව්, යන ආදර බසක් විය හැකි බව ද කියැවේ. ඉවසිලිවන්ත දූරදර්ශී ගුණවත් කාවන්තිස්ස මහ රජතුමා වැනි පියකු තම පුතුට ,දුෂ්ඨ, එනම් ක්‍රෑර යනුවෙන් අමතන්නට ඇතැයි සිතිය නොහැකි ය. මෙහි තේරුම කෙසේ වෙතත් එයින් පසු, ගාමිණී කුමාරයා ,දුට්ඨ ගාමිණී, එනම් ,දුටුගැමුණු, යනුවෙන් හැඳීන් වූ බව කියැවේ.

කොත්මලේ ප්‍රදේශයට පැන ගිය ගැමුණු කුමරු තමා කාවන්තිස්ස මහ රජුගේ පුතකු බව නො හඟවා ද්‍රවිඩයන්ට විරුද්ධ ව තරුණ පිරිස් සංවිධානය කිරීමේ නිරත විය. මේ කාලය තුළ දී තම පිය රජු කාවන්තිස්ස රජතුමා අභාවයට පත් විය. කාවන්තිස්ස පිය රජුගේ අභාවයෙන් පසු තිස්ස කුමරු රාජ්‍යය අත්පත් කර ගෙන සිය මෑණියන් වූ විහාර මහා දේවිය සමඟ දිගාමඩුල්ලට ගොස් වාසය කරන බවට දුටුගැමුණු කුමරුට ආරංචි විය.

ගැමුණු කුමරු උපන් කාලයේ දී ම තින්නවිල නමැති විල් තෙර දී එක්තරා ඇතින්නක ඇත් පැටවකු ප්‍රසූත කළා ය. ඒ බව කණ්ඩුල නමැති වැද්දකු විසින් කාවන්තිස්ස මහ රජුට දන්වා සිටියේ ය. විහාර මහා දේවියගේ ද කැමැත්ත ඇතිව ඒ සුරතල් ඇත් පැටවා ගැන ආරංචිය සැල කළ වැද්දාගේ නම සිහිවීම් වස් ,කණ්ඩුල, නම් තබා රජවාසලට ගෙන ආ බව පැවසේ. මේ අවධියේ දී ඒ රාජකීය කඩොලැතු ද සිටියේ තිස්ස කුමරු ළඟ ය.

දුටුගැමුණු කුමරු තම හමුදාව ද රැගෙන දිගාමඩුල්ලට පැමිණ තම සොහොයුරු තිස්ස කුමරු සමඟ ද්වන්ද්ව සටනක් කළ බව ද පැවසේ. ගැමුණු කුමරු තම බාල සොහොයුරු තිස්ස සමඟ යුද්ධ කළේ සහෝදරයා සතුරකු ලෙස සලකාගෙන නොවේ. තම බාල සොහොයුරු බියකර ගැනීමේ චේතනාවෙන් බව ද වංශ කතාවන්හි සඳහන් වේ. දුටුගැමුණු කුමරු සිය කඩුවේ මුවහත් පැත්ත සොහොයුරු සමඟ සටන් කරද්දී පාවිච්චි නොකළ බව ද සඳහන් වේ.

ජනප්‍රවාදයන් හි මෙවැනි දේ ද හෙළි වේ. ඒ දුටුගැමුණු කුමරු තම බාල සොහොයුරු සමඟ සටන් කරමින් ,මල්ලියේ නුඹත් සමඟ සටන් කර මට බඩගිනි වෙලා. නුඹ ළඟ කන්න යමක් නැද්ද, යනුවෙන් අසා ඇති බවයි. කෙසේ වුවත් දුටුගැමුණු කුමරු පළමුවන වාරයේ දී තම සොහොයුරු තිස්ස කුමරුට පරාජය විය. එහෙත් දෙවැනි වර ජය ගත්තේ ය. එතැන් සිට දුටගැමුණු කුමරු රුහුණේ රජ බවට පත්විය. සද්ධාතිස්ස කුමරු හා දෙටු සොහොයුරු දුටුගැමුණු කුමරු අතර භේදය ඇතිවීමට ද්‍රවිඩයන්ගේ උපායක් හේතු වන්නට ඇති බව ද සඳහන් වේ.