Print this Article


පෝරතොට පේමරතන නා හිමි

පෝරතොට පේමරතන නා හිමි

රත්මලාන මාළිගාව පාර ලක්සිරිපුර සිරි විවේකාරාමාධිපති, මහාවිහාරවංශික ස්‍යාමෝපාලි මහා නිකායේ මල්වතු පාර්ශ්වයේ කොළඹ දිස්ත්‍රික්කයේ සල්පිටි කෝරළේ පල්ලේ පත්තුවේ ප්‍රධාන සංඝනායක, මොරටුව සොයිසාපුර සිරි සුමංගල සිරිනිවාස මහ පිරිවෙණේ විශ්‍රාමික නියෝජ්‍ය පරිවේණාධිපති, පෝරතොට පේමරතන නා හිමි ලක්දිව අතිසම්භාවනීය ථේරවාදී භික්ෂු පරපුරේ උදාර ගුණයන් මැනවින් ප්‍රකට කරමින් වැඩසිටින ශික්ෂාකාමී යතිවරයන් වහන්සේ නමකි.

දකුණු පළාතේ මාතර දිස්ත්‍රික්කයේ අකුරැස්සට අයත් පෝරතොට නමැති පෞරාණික ගම් පියසක් වෙයි. සුන්දර පරිසරයක පිහිටි සැදැහැවත් සොඳුරු මිනිසුන් වසන මෙම ගම්පියසේ විසූ මාරඹ ලන්දගේ චාර්ලිස් මහෝපාසක මහතාණන් ගේ සහ වික්‍රමරත්න ගුණසේකර කුසුමාවතී මහෝපාසිකා මාතාව ගේ පුත්‍ර රත්නයක් ලෙස වර්ෂ 1955 නොවැම්බර් 15 වැනි දින පෝරතොට පේමරතන නාහිමියෝ ජන්මලාභය ලැබූ හ. ගිහි කල ප්‍රාථමික අධ්‍යාපනය ලැබුවේ පෝරතොට ශ්‍රී මේධංකර විද්‍යාලයෙනි.

කුඩා කල සිටම ඉතා සැදැහැයෙන් ක්‍රියා කළ හෙයින් වර්ෂ 1969 මැයි මස 02 වැනි දින අකුරැස්ස මාරඹ රජමහා විහාරයේ දී උතුම් වූ ප්‍රව්‍රජ්‍යාභාවයට පත් විය. ආචාර්යපාදයන් වහන්සේලා වූයේ අතිපූජ්‍ය ඕපාත අනෝමදස්සි නා හිමි සහ මාවනානේ දේවානන්ද නා හිමිය. ප්‍රව්‍රජ්‍යාභාවයට පත් කළේ අකුරැස්සේ හිග්ගොඩ සුධර්මාරාමාධිපති හුලංදාවේ ශ්‍රී සුමන නා හිමි ය. මාරඹ විද්‍යා ශ්‍රී පිරිවෙණෙන් , මූලික පිරිවෙන් අධ්‍යාපනය ලත් පෝරතොට නා හිමි උසස් අධ්‍යාපනය ලැබුවේ කොළඹ හුණුපිටියේ ගංගාරාමස්ථ ශ්‍රී ඥානේශ්වර මහ පිරිවෙනෙනි.

වර්ෂ 1976 ජුනි මස 06 වැනි දින මහනුවර මල්වතු මහා විහාරයේදී අධිසීල සංඛ්‍යාත සුපරිසුද්ධෝපසම්පදාව ලැබී ය. තදනන්තරව රත්මලානේ පරිවේණාචාර්ය අභ්‍යාස විද්‍යාලයෙන් දෑ අවුරුදු ගුරු පුහුණුව ලද පේමරතන නාහිමියෝ ප්‍රාචීන ප්‍රාරම්භ හා මධ්‍යම විභාගයන් ද උසස් ලෙස සමත් වූහ. තවද බාහිර ශිෂ්‍යයකු ලෙස ඇතුළත් ව පේරාදෙණිය ශ්‍රී ලංකා විශ්ව විද්‍යාලයෙන් ශාස්ත්‍රවේදී උපාධිය ලැබූහ.

මාරඹ විද්‍යා ශ්‍රී මූලික පිරිවෙණේ උපගුරුවරයෙකු ලෙස පරිවේණාචාර්ය සේවාවට එක් වූ පෝරතොට නාහිමි හොරණ විද්‍යාරත්න විශ්ව විද්‍යාල පිරිවෙණේ උපගුරුවරයකු ලෙස ද, කටුබැද්ද සිරි ගුණරතන මූලික පිරිවෙනෙ ් පරිවේණාධිපති ලෙස ද මොරටුව සිරි සුමංගල සිරිනිවාස මහ පිරිවෙනේ නියෝජ්‍ය පරිවේණාධිපති ලෙස ද වසර 25 ක් මෙරට සාම්ප්‍රදායික පිරිවෙන් අධ්‍යාපනය වෙනුවෙන් මහනීය සේවාවක් සිදු කළේ ය.

මෙහි දී පෝරතොට නාහිමියන් ගේ උදාර දිවිමගේ සදාඅනුස්මරණීය අවස්ථාවක් දෙස අවධානය යොමු කරවීම ඉතා වැදගත් ය. එනම් අභිනවයෙන් රත්මලාන මාළිගාව පාර ලක්සිරිපුර සිරි විවේකාරාම විහාරස්ථානය ආරම්භ කිරීම ය. විශාල මඩ වගුරක් ව කිසිදු ප්‍රයෝජනයකට ගත නොහැකි ආකාරයට පැවති මෙම භූමි භාගය දැඩි පරිශ්‍රමයක් දරා චිත්තාකර්ෂණීය පුදබිමක් බවට පත් කිරීමට පෝරතොට නාහිමි දැක්වූයේ අප්‍රමාණ කැපකිරීමකි. එසේම විහාරස්ථානය කේන්ද්‍ර කරගෙන ශ්‍රී අනෝමදස්සී දහම් පාසල ද, ශ්‍රී සුමන පෙර පාසල ද ඇරඹීමෙහිලා පුරෝගාමී වූයේ පෝරතොට නාහිමි ය.

මොරටුව ශාසනාරක්ෂක බල මණ්ඩලයේ කාරක සභිකයකු වන පෝරතොට නාහිමි ශ්‍රී ලංකා වීදුරු සමාගමේ සමූපකාර සමිතියේ ප්‍රධාන අනුශාසක ලෙස ද ජනහිත එක්සත් මරණාධාර සමිතියේ ප්‍රධාන අනුශාසක ලෙස ද, සර්වෝදය සමිතිය, සමෘද්ධිලාභීන් ගේ සමිතිය හා බොරුපන ග්‍රාම සංවර්ධන සමිතියේ අනුශාසක ලෙස ආගමික සාමාජික හා සංස්කෘතික සේවාවන් රැසක නිරතව සිටියි. තායිලන්තය, සිංගප්පූරුව, මැලේසියාව, වියට්නාමය, කම්බෝජය, ඉන්දියාව, නේපාලය, කැනඩාව, අමෙරිකාව, ප්‍රංශය, බෙල්ජියම සහ ඕස්ට්‍රේලියාව යන රටවල ආගමික හා සංස්කෘතික ක්‍රියාකාරකම් රැසකට වරින්වර සහභාගි වූ පෝරතොට නාහිමි ඒ තුළින් ලත් අත්දැකීම් සම්භාරයකින් ද යුක්ත ය.

ඇසුවන් තුළ සද්ධාව ජනිත කරවීමෙහි සමත් අර්ථාන්විත හා කර්ණරසායන නෛසර්ගික ධර්ම දේශනා ශෛලියක් සේ ම පිරිත් දේශනා ශෛලියක් පෝරතොට නාහිමි සතුව පවතියි. සම්මුඛවූවන් සනහන මන්දභාසයක් සහජයෙන් ම ලබා සිටින පෝරතොට නාහිමි ඇසුර ලොකු කුඩා සැමට ම පි‍්‍රයජනක ය. දායකකාරකාදී සැදැහැවත් සාධු ජනයා ගේ ආගමික හා සාමාජික අවශ්‍යතා ද ඉතා මැනවින් සපුරමින් ඉතා නිහතමානී හා චාම් දිවි පෙවෙතක් ගත කරන ගෞරවාර්හ පෝරතොට පේමරතන නාහිමියන් ග් උදාර භික්ෂු ජීවිතය ගිහි පැවිදි සැමටම මනා පූර්වාදර්ශයක් සපයයි.