Print this Article


ධාතු වංශය - 01: ධාතුන් වහන්සේ වැඳ පින් පුරවා ගනිමු

ධාතුන් වහන්සේ වැඳ පින් පුරවා ගනිමු

භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් ධාතුන් වහන්සේලා ඉතිරි වන්නේ දෙවි මිනිසුන්ට පින් කර ගැනීමට යි. ධාතුන් වහන්සේලාගේ පරම්පරා විස්තරය මෙන්ම ධාතු පරිනිර්වාණයත් ඉතාමත් අසිරිමත් . ඒ අසිරිමත් විස්තරය යම් කෙනෙක් නොදනී නම් ඔහු රන් කන්දක් උඩ ඉඳගෙන සිටින දුගී මිනිසකුට සමාන වේ.

මේ ලෝකයට දහවල බබළන්නේ ඉරයි. රාත්‍රියට ඉරෙහි ආනුභාවයක් නැත. එ ලෙසම රාත්‍රියට සඳ මඬල බබළන නමුත් දිවා කාලයට සඳ මඬලේ ආනුභාවයක් නැත. සියලු සේනා සහිත ව ආභරණවලින් සැරසී සිටින රජුන් බැබළේ. එහෙත් රජු බබළන්නේ රාජ ඇඳුමින් සැරසී සේනා සහිත ව සිටින විටයි. යම් රහතන් වහන්සේ නමක් භාවනානුයෝගි ව වැඩ සිටිනවා ද උන්වහන්සේගේ ඉරියව් දහවල ඉර පෑයුවා මෙන් බබළ යි. රාත්‍රියට සඳ පෑයුවා මෙන් බබළයි. උන්වහන්සේගේ තේජස එ තරම් ප්‍රබල යි.

එනමුත් අප සරණ ගිය ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ ගතවෙන මොහොතක් පාසා බැබළෙති.

භාග්‍යවතුන් වහන්සේ සිවුර පෙරවූවත්, පාත්‍රය අතටගෙන පිඬුසිඟා වැඩියත් , ආසනයක වැඩ සිටියත්, දන් වැළඳුවත්, දහම් දෙසුවත්, දෙවියන් සමඟ දහම් සාකච්ඡාවේ යෙදුණත් සෑම ඉරියව්වක දී ම බබළන්නේ භාග්‍යවතුන් වහන්සේ ම යි. එවැනි මනුෂ්‍ය රත්නයක් ලෝකයට පහළ වෙන්නේ මහා කරුණාවෙන්. ඒ භාග්‍යවතුන් වහන්සේගේ අසිරිමත් ධාතුන් වහන්සේලා ඉතිරි වන්නේ දෙවි මිනිසුන්ට පින් කර ගැනීමට යි. ධාතුන් වහන්සේලාගේ පරම්පරා විස්තරය මෙන්ම ධාතු පරිනිර්වාණයත් ඉතාමත් අසිරිමත් . ඒ අසිරිමත් විස්තරය යම් කෙනෙක් නොදනී නම් ඔහු රන් කන්දක් උඩ ඉඳගෙන සිටින දුගී මිනිසකුට සමාන වේ.

අපේ මේ පින් බිමේ යම් කෙනෙක් හිස හැරුණ කිනම් පෙදෙසකට ගියත් ඒ සෑම පෙදෙසක ම ධාතුන් වහන්සේ වැඩ සිටින සෑයක්, මන්දිරයක් තිබේ. එහෙත් මිනිසුන් ධාතුන් වහන්සේ නමක් ඇසුරු කරගෙන කොහොම ද පින් කරන්නේ කියා නොදනී. බුදුරජාණන් වහන්සේගේත්, රහතන් වහන්සේලාගේත් ධාතුන් වහන්සේ ඉතිරි වෙන්නේ සකල සතට සෙත පිණිස යි. අමාමහ නිවන පිණිසයි, වහා ධර්මය අවබෝධ වීම පිණිස ය. පින් තිබෙන ශ්‍රද්ධාවන්තයාට බුදුරජාණන් වහන්සේගේ ධාතුන් වහන්සේ ඇසුරෙන් සුගතියේ ඉපදීමටත්, අමා මහ නිවන පිණිස පින් පුරාගන්නටත් හැකි යි. ඒනිසයි තථාගතයන් වහන්සේගේ ධාතුන් වහන්සේ ලෝකයේ ඉතිරි වෙන්නේ.

ඒ ධාතුන් වහන්සේ කොහොමද බෙදුණේ? ධාතුන් වහන්සේගේ ස්වභාවය කෙබඳු ද? ධාතුන් වහන්සේ ඇසුරෙන් පින් කර ගන්නේ කොහොම ද? ඒ වගේම ධාතුන් වහන්සේ පරම්පරාවෙන් පරම්පරාවට පැවැත ගෙන ආවේ කොහොම ද? මේ ධාතුන් වහන්සේ අතුරුදහන් වන්නේ කොහොම ද? බුද්ධ ශාසනය ලෝකයෙන් අතුරුදහන් වන්නේ කොහොම ද? කියා බුදුරජාණන් වහන්සේගේ ශ්‍රාවකයාට යම් දැනුමක් තිබිය යුතු වෙනවා. මුල, මැද, අග පිරිසුදු ශාසනය පිළිබඳ හැඟීමක් තිබිය යුතු වෙනවා.

ධාතුන් වහන්සේගේ පරම්පරා කතාවේ ආරම්භය සිදුවන්නේ බුදුරජාණන් වහන්සේ බුද්ධත්වයට පත් වීමටත් කලින් බෝධිසත්ත්ව කාලයේ දී යි. ලෝකයේ ජනගහනයෙන් ඉතාමක් සුළු පිරිසකට පමණයි ධාතුන් වහන්සේ දකින්න, වන්දනා කරන්න සිත පහදවා ගන්නට ලැබෙන්නේ. තථාගතයන් වහන්සේ ගේ ද්‍රෝණයක් ධාතුන් වහන්සේ මිත්‍යා දෘෂ්ඨික සමාජයක ප්‍රදර්ශනය ක‌ළොත් මිනිසුන් එහි වටිනාකම තේරුම් නොගනී . සමහර පිරිස් සිතාගෙන සිටින්නේ ධාතුන් වහන්සේ කියන්නේ රැස් විහිදවමින් දීප්තිමත්ව පැවතිය යුතුයි කියා. නමුත් එය නිවැරැදි නැහැ. බුදුරජාණන් වහන්සේගේ පහළවීම අතිශයින් ම දුර්ලභ යි. උන්වහන්සේ ලෝකයාට අනුකම්පාවෙන් කලාතුරකින් ලොවට පහළ වූ සේක. එමෙන්ම උන්වහන්සේගේ ධාතුන් වහන්සේලාත් අතිශයින් ම දුර්ලභ යි.

භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන් පෑ පසුව ලෝකයාට පින් කර ගැනීම සඳහා ධාතුන් වහන්සේ වැඩ සිටින්නේ බුදුරජාණන් වහන්සේගේ අධිෂ්ඨානය නිසා ම ය. ඒ අසිරිමත් ධාතුන් වහන්සේලා සහ ඒ ධාතු පරිනිර්වාණය දක්වා මෙම ලිපි පෙළින් සාකච්ඡා කෙරේ.

බුද්ධ ශාසනයක පරිනිර්වාණ තුනකි. ඒ සෝපාධිශේෂ පරිනිර්වාණ ය, අනුපාධිශේෂ පරිනිර්වාණ ය සහ මහා ධාතු පරිනිර්වාණය යි.

සෝපාධිශේෂ පරිනිර්වාණය

කෙලෙස්වල පිරිනිවීම , ආශ්‍රව නැතිවීම මෙයින් හැඳීන්වේ. ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමක් බවට පත් වූයේ දසමාර සේනා පරාජය කොට කාමාශ්‍රව, භවාශ්‍රව, අවිද්‍යාශ්‍රව ආදී ආශ්‍රව නැවත හ‍ට නොගන්නා ස්වභාවයක් ඇද්ද එය සෝපාදි‍ශේෂ පරිනිර්වාණ ධාතුව යි. රූපය කෙරෙහි ඇති ඡන්ද රාගය සහමුලින් සිඳ දැමූ අතර, පංච උපාදානස්කන්ධයේ තිබෙන තෘෂ්ණාව මුලින් ම සිඳ දැමුවා ද ඇස, කන, නාසය, දිව, කය, මනසට ඇති ආශාවක් ඇති ද ඒ සියල්ල ම පිරිනිවුණි. යම්තාක් කෙලෙස් ඇද්ද එය දුරු වූහ. නැවත හට ගැනීමක් නොවිණි. එය අරහත්වයට පත්වීම යි. ලොව්තුරු සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ කෙලෙස් නසා දැමීමෙනි. ඒ නැසීම සෝපාධිශේෂ පරිනිර්වාණය යි.

අනුපාදිශේෂ පරිනිර්වාණය

ලෝකයාට මහත් අනුකම්පාවෙන් වැඩ සිටි තථාගතයයන් වහන්සේ කුසිනාරාවේ සල්ගස් දෙකක් අතර පිරිනිවන් පා වදාළ සේක. උන්වහන්සේගේ දෙතිස් මහ පුරුෂ ලක්ෂණයන්ගෙන් සුපෝෂිත ජීවමාන රූප කාය බුදුරජාණන් වහන්සේගේ පිරිනිවීම ලෝකයාට දරාගත හැකි දෙයක් නොවේ. සම්මා සම්බුදුරජාණන් වහන්සේ ලෝක‍යාගේ අවිද්‍යාව, අඳුර දුරු කිරීමට පහළ වූ හිරු මඬල යි. මහා කරුණාවෙන් ලොව දෙස බලන බුදුරජාණන් වහන්සේ ලෝකයට පහළ වෙන්නේ කලාතුරකින්. උන්වහන්සේ‍ගෙන් පිහිට ලබාගත හැකි කෙනෙකු සිටියේනම් ගම් නියම්ගම් පුරා සිරිපා තබමින් වැඩම කළහ. පන්සාළිස් වසක් පුරාවට ම ඒ සිරිපා සඟල එයවුණේ ලෝකයාට අනුකම්පාව පිණිසම යි.

බුදුරජාණන් වහන්සේ දහම් දෙසුවත් ලෝකයාට අනුකම්පා පිණිස යි. දහම් නො දෙසුවත් ලෝකයට අනුකම්පාව පිණිසම යි. නිහඬව සිටියත් ලෝකයට අනුකම්පාව පිණිස යි. චාරිකාවේ වැඩියත් අනුකම්පාව පිණිසම යි. චාරිකාවේ නො වැඩ එක් ස්ථානයක වැඩ සිටියත් ලෝකයට අනුකම්පා පිණිසම යි. පිණ්ඩපාතය කළත් අනුකම්පා පිණිස යි. යම් කෙනකුගේ ජීවිතයේ සෑම තත්ත්පරයක් ම ලෝකයාට අනුකම්පා පිණිස වැඩ සිටියා කියා දෙයක් ඇද්ද ඒ සම්මා සම්බුදුරජාණන් වහන්සේ නමකගේ ජීවිතය යි. මහා කරුණාවෙන් ලෝකය දෙස බැලූ අපගේ බුදුරජාණන් වහන්සේ කුසිනාරාවේ දී පිරිනිවන් පා වදාළ සේක.

පින්වත් මහණෙනි, මම නුඹළා අමතමි වයධම්මා සංඛාරා සියලු සංස්කාරයෝ නැසෙන සුළුයි. අප්පමාදේත සම්පාදේත අප්‍රමාදී ව කුසල් වඩන්න. නැවත විවර නො වන ලෙස ඒ නිල්වන් නෙත් සඟල පියවී ගියහ. දෙතිස් මහ පුරුෂ ලක්ෂණයෙන් හෙබි ඒ සොඳුරු සිරුර නිසොල්මන් විය. ධ්‍යානයෙන් ධ්‍යානයට සම වදිමින් භාග්‍යවතුන් වහන්සේ පිරිනිවන වෙත වැඩිසේක. ඒ මොහොතේ මහ පොළොව බලවත් ව කම්පා විය, අකලට වැසි හැලුණේ ය. මහා සුළං හමන්නට විය. යම්තාක් මල් පිපි තිබුණා ද ඒ සියලු මල් පොළොවට පතිත විය. බුදුරජාණන් වහන්සේ එසේ පිරිනිවන් පානවා කියා දෙයක් ඇද්ද එය අනුපාදිශේෂ පරිනිර්වාණය යි.