Print this Article


සමීපාතීතයෙහි පාලි මහ පඬිරුවන: අතිපූජ්‍ය පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහ නාහිමි

සමීපාතීතයෙහි පාලි මහ පඬිරුවන

අතිපූජ්‍ය පොල්වත්තේ ශ්‍රී බුද්ධදත්ත මහ නාහිමි

මහාචාර්‍ය අග්ගමහාපණ්ඩිත අතිපූජ්‍ය පොල්වත්තේ බුද්ධදත්ත මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ පනස්නව වැනි ගුණ සැමරුම් උලෙළ ශ්‍රී ලංකා අමරපුර මහාසංඝ සභාවේ අධ්‍යාපන ප්‍රකාශන හා ධර්මදූත අංශය මගින් පසුගියදා 09 මාර්ගගත ක්‍රමයට අතිපූජ්‍ය මහා නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේලාගේ සහ පින්වත් සාධූන්ගේ සහභාගීත්වයෙන් සිදුකිරීමට නියමිත ව තිබුණි. මෙම ලිපිය ඒ නිමිත්තෙනි.

දක්‍ෂිණ ලංකාවේ අම්බලන්ගොඩ නගරාන්තර්ගත පොල්වත්ත නම් ග්‍රාමවරයෙහි ප්‍රධාන කුලීනයකු වශයෙන් සලකනු ලැබූ ගම්වාසීන් විසින් අනවරතයෙන් සම්භාවිත, බුද්ධාදි රත්නත්‍රය විෂයයෙහි අනල්ප භක්තිමත් ඕබඩගේ ලුවිස් ද සිල්වා මහත්මයාගේ හා සකල නාරී ගුණ සමුල්ලසිත රත්නත්‍රය ශරණපරායන මෙත්තා කරුණාදී සතර බඹ විහරණයෙන් පිවිතුරු තුයියා ගම්හේවා සඟඤ්විහාම මාතාව ද ස්වකීය මාතෘ පීතෘන් කොට 1887 ජූලි මස 23 වැනි දා පූර්වෝපචිත කුසලශ්‍රීයෙන් විරාජමාන වූ මෙතුමාණන් වහන්සේ මනුලොව එළිය දුටු සේක.

දුටුදුටුවන්ගේ නේත්‍රයන්ට රසාඤ්ජනයක් බඳු වූ මාතෘ පීතෘන්ගේ සිත්හි මතු බලාපොරොත්තු ඇති කරවන්නා වූ සකල සාධු ගුණයන්ට වාසස්ථාන වූ මෙ කුමරුට වයස අවුරුදු හතේ දී ස්වකීය ප්‍රේමණීය ජනනී තොමෝ කලුරිය කළා ය. ස්වකීය මාතාවගේ අකාල මරණයෙන් පසු සිය දෙටු සොහොයුරිය මාතෘ ස්ථානය ගෙන මෙම ළදරුවා ආරක්ෂා සංවිධාන ඇතුව පෝෂණය කළා ය. වාසනා ගුණ සම්පන්න යථොක්ත ළදරු කුමරුගේ ආයත්‍යභිවෘද්ධියෙහි සාපේක්‍ෂ ව එකලට අක්‍ෂර ශික්‍ෂාව මැනවන් කරවිය හැකි වූ පොල්වත්ත බෞද්ධ පිරිමි පාඨශාලාවට ළමයා භාර කළෝ ය. සුවිනීත පැවැත්මෙන් ද, ධාරණ ශක්තියෙන් හා ස්ථාමෝචිත ප්‍රඥාවෙන් ද අනූන වූ මෙ කුමරු වැඩිදුර අධ්‍යයන කටයුතු සඳහා අම්බලන්ගොඩ ඉංග්‍රීසි පාඨශාලාවට ද ( පසුව ධර්‍මාශෝක විද්‍යාලය) ඇතුළත් කරන ලදී.

උන්වහන්සේගේ මෑණියන් තුළ ස්වකීය බාල දරුවා පැවිදි කිරීමට අදහසක් පැවතිණි. එහෙත් එම අභිමතාර්ථය මුදුන් පමුණුවා ගැනීමට මත්තෙන් ඇය පරලොව ගියා ය. එහෙත් වාසනා ගුණය ඒ කිසිදු බාධකයකින් යටපත් කළ නොහැකි විය. පූර්වෝපචිත පුණ්‍ය ශක්තිය මතු වී ආයෙන් වර්ෂ 1899 නොවැම්බර් මස 02 වැනි දා පොල්වත්ත අග්ගාරාම විහාරස්ථානයේ දී අතිපූජ්‍ය දොඩන්දූවේ ශ්‍රී පියරතනතිස්සාභිධාන ශ්‍රී කල්‍යාණිවංශ මහානිකායේ මහානායක ස්වාමින්‍ද්‍රයන් වහන්සේගේ උපාධ්‍යායත්‍වයෙන් සහඅග්ගාරාමාධිපති, ඉන්‍දියාවේ ශාන්ති නිකේතනයේ පාලි පිළිබඳ කථිකාචාර්‍ය, රාජගුරු අතිපූජ්‍ය පෝරඹ ශ්‍රී ධර්මාධාර ස්වාමීන්‍ද්‍රයන් වහන්සේගේ ආචාර්‍යත්‍වයෙන් පොල්වත්තේ බුද්ධදත්ත නමින් ප්‍රව්‍රජ්‍යා භූමියට ඇතුළත් කරන ලදී.

පොල්වත්තේ බුද්ධදත්ත කුඩා ස්වාමීන් වහන්සේ ස්වකීය ආචාර්‍යයන් වහන්සේගේ ආශ්‍රයෙන් ටික කලක් ප්‍රව්‍රජ්‍යා ප්‍රතිපත්ති සම්බන්‍ධ වූ ද ධර්මශාස්ත්‍රය සම්බන්‍ධ වූ ද ඉගෙනීමක් ලත් සේක. ඉන් අනතුරුව වර්ෂ 1903 ජනවාරි මාසයේ දී ස්වකීය ආචාර්‍ය පාදයන් වහන්සේ සමඟ බුරුම රටට වැඩම කළ අතර, එහි මොල්මේන්නුවර කොණ්හත් මහා විහාරයේ නොහොත් සුවණ්ණමණි විජ්ජොත රතන සීමාරාමයේ අධිපතිව සිටි සාගරඤාණ ස්වාමීන්වහන්සේ වෙතින් බුරුම භාෂාව හා අභිධර්මය මැනවන් හදාළහ. වසර දෙකක් පමණ එරට අධ්‍යයන කටයුතුවල නියැළී සිටිය දී අයහපත් සෞඛ්‍ය තත්‍වය නිසා උන්වහන්සේට මෙරටට හැරී එන්නට සිදුවිය. එහෙත් අභිධර්‍මය උගෙනීමට තිබූ දැඩි කැමැත්ත නිසාම නැවත වරක්, ස්වකීය ආචාර්‍යපාදයන් වහන්සේගේ සහ දායකකාරකාදීන්ගේ දැඩි විරුද්ධතාව මැද්දේ වර්‍ෂ 1906 දෙසැම්බර් මාසයේ දී රහසේ ම බුරුමය බලා වැඩම කළහ.

නැවතත් අතපසු වූ අධ්‍යයන කටයුතු කරගෙන යන අතරතුර ස්වකීය ධර්මාචාර්‍ය සාගරඤාණ මහා ස්වාමීන් වහන්සේගේ විශේෂ ඉල්ලීමක් මත 1907 ජනවාරි මස 23 වැනි දා මොල්මේන්නුවර සුවණ්ණමණී විජ්ජොත රතනසීමා මාලකයේ දී එකී සාගරඤාණ ස්වාමින් වහන්සේගේ උපාධ්‍යායත්‍වයෙන් පොල්වත්තේ බුද්ධදත්ත සාමණේරයන් වහන්සේ සුපරිසුද්ධොපසම්පදාව ලැබූහ. පෝරඹ ධර්මාධාර රාජගුරු ස්වාමීන් වහන්සේගේ කැමැත්ත වූයේ ස්වකීය ගෝල නම සංස්කෘත උගතකු වෙනු දැකීමයි. එහෙත් බුද්ධදත්ත හිමියන්ගේ කැමැත්ත වූයේ පාලි, බුරුම සහ අභිධර්මය ආදිය ඉගෙනීමයි. ඒ අනුව උන්වහන්සේ පාලි, බුරුම භාෂාවන්හි මෙන් ම අභිධර්මය පිළිබඳව ද මනා පටුත්‍වයක් ඇතිකර ගත්හ. එකී භාෂා ධර්ම කොට්ඨාසයන් පිළිබඳව වර්ෂ 1909 දී බුරුමය රජය මගින් පැවැත් වූ විභාගයට පෙනී සිට එම පරීක්‍ෂණය සඳහා පෙනී සිටි සිසුන් හයසිය දෙනා අතුරෙන් ප්‍රථමයා වී සාමර්ථය ලබා ත්‍යාග රාශියක් ද හිමිකර ගත්හ.

ඒ සා හපන්කමක් කිරීමට උන්වහන්සේට හැකි වූයේ කුඩා කල සිටම විස්මයාවහ ධාරණශක්තියක් ඇතිව සිටි නිසා බුරුම රටට වැඩම කරන සමය වන විට පාලි වරනැඟිල්ල, බාලාවතාරය, ධාතු මංජුසාව, පාලි නිඝණ්ඩුව, සතිපට්ඨානය, ධම්මපදය, වුතෙතාදය, අභිධම්මත්‍ථ සංග්‍රහය සහ අභිධම්ම මාතිකා ආදී පොත් සියල්ල කට පාඩම් කරගෙන තිබුණ නිසා ය. මේ තුළින් ප්‍රකට වන තවත් කරුණක් නම් අද බොහෝ දෙනා කටපාඩම් කිරීම නිරර්ථක දෙයක් සේ සැලකුව ද එහි ඇති වැදගත් බවයි.

වර්‍ෂ 1911 අප්‍රේල් මස 22 වැනි දා බුරුමයේ සිට ලක්දිවට වැඩම කළ බුද්ධදත්ත ස්වාමීන් වහන්සේ ඒවන විට කීර්තිධර තරුණ යතිවරයකු ලෙස නමක් දිනාගෙන සිටියහ. ඒ හේතුවෙන් ම 1918 දී ප්‍රාචීන භාෂොපකාර සමාගමේ සාමාජිකත්‍වයකට උන්වහන්සේ පත්කර ගැනීමෙන් ගෞරව දැක්වූහ. කොළඹ ආනන්‍ද විද්‍යාලය කේන්‍ද්‍ර කර ගනිමින් වර්ෂ 1919 දී භික්‍ෂූන් වහන්සේලා උදෙසා ඉංග්‍රීසී පන්තියක්, පී.ද. ඇස් කුලරත්න මහතාගේ මූලිකත්‍වයෙන් ඇරඹූ අතර, එයට බොහෝ සේ දෝෂාරෝපණ එල්ල විය. පුවත්පත් මඟින් දිගින් දිගට ම එම වැඩ පිළිවෙළ විවේචනය කරන්නට ද විය. පොල්වත්තේ බුද්ධදත්ත හිමියෝ එකී ඉංග්‍රීසී පන්තියට බැඳී අධ්‍යාපනය ලබන අතර තුර ම පුවත්පත්වලින් කළ රැවුම් ගෙරවුම්වලට පිළිතුරු සපයමින් භික්‍ෂුන් වහන්සේ ඉංග්‍රීසී දැනුමෙන් සන්නද්ධ වීමෙහි ඇති වටිනාකම පෙන්වා දුන්හ.

මෙම ලිපියේ ඉතිරි කොටස මීළඟ බුදුසරණ කලාපයේ පළවේ ...