Print this Article


නැති බැරිකමට ණය වුණත් පසුපස එන්නේ දුක් වැලක්

නැති බැරිකමට ණය වුණත් පසුපස එන්නේ දුක් වැලක්

තමන්ට තමන් පහනක් වන්න. තමන්ගේ ආලෝකය තමන් වන්න. තමන්ට තමන්ගේ සරණ පමණයි.

දිළිඳුකම දුකකි, ණය ගැනීම ද දුකකි. මේ පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ අංගුත්තර නිකායේ ඡක්ක නිපාතයේ ධම්මික වග්ගයේ ඉණ සූත්‍රයෙහි දේශනා කරති. අප මනුෂ්‍යයෝ වෙමු. මනුෂ්‍ය ලෝකය කාම ලෝකයකි. අප මනුෂ්‍යයන් වී උපත ලද්දේ කම් සැප විඳීමට අප තුළ පැවැති බලවත් කැමැත්ත නිසයි. අප කම් සැප විඳීමේ ලෝලත්වයෙන් පෙළෙන්නෝ වෙති. ඇස් පිනවන්නට, කන් සනහන්නට, නාසය ආග්‍රාණයට, දිව රස කරන්නට, කය සැනසීමට අපි නිති වෙහෙසෙමු.

කොතරම් ලැබුණ ද තෘප්තිමත් නොවෙමු. කම් සැප විඳීමේ ලෝලත්වයෙන් ම දිවි ගෙවමු.කම් සැප විඳීමේ ලෝලත්වය නිසා, කෙතරම් ඉඳුරන් පිනවූවත් තෘප්තිමත් නොවන නිසා මේ මිනිසා දිළින්දෙකි. දුප්පතෙකි.

දිළිඳුකම දුකකි. දිළිඳුකම නිසා අපි ණය ගන්නෙමු. එය ද දුකකි. ණයට පොළිය එකතු වෙයි. එය ද දුකකි. ණය නොගෙවූ විට චෝදනා ලැබෙයි. එය ද දුකකි. ණය ගෙවා ගත නොහැකි වූ විට සැඟව යයි. එවිට ණය කරුවන් ඔහු ලුහු බඳියි.මේ ණය කරුවන් ලුහු බැඳීම ද දුකකි. ණය කරුවන් ලුහු බැඳ අල්වාගෙන ණය නොගෙවූ නිසා දඩුවම් කරයි. හිරේ විලංගුවේ දමයි. එය ද දුකකි.

මේ අයුරින් උන්වහන්සේ ණය ගැනීම හා ඒ හා සම්බන්ධ ව ගොඩනැඟෙන දුක් වැලක් දේශනා කරති. ණය ගැනීම ලෞකික සුවය නැති කරයි. පාර ලෞකිත සුවය නැති කරයි. ලොකෝත්තර සුවය දුරු කරයි.

බුදු රජාණන් වහන්සේ දිළිඳු බව ලෙස අර්ථ කථනය කරනුයේ අශ්‍රද්ධාව, රත්නත්‍රය කෙරෙහි පැහැදීමක් නැති බව, පව් කරන්නට ලජ්ජා නැති කම, පව් කිරීමට භය නැති කම,වීර්ය නැති බව ,කුසල් කිරීමෙහි වීර්ය නැතිබව, කුසලෙහි කම්මැලි වීම, ප්‍රඥාව නැති බව, කුසල් කිරීමෙහි ප්‍රඥාව නොමැති වීම ආදි වූ කරුණු පැවතීම දිළිඳුකම ලෙස දක්වයි. මේ කරුණුවලින් යුතු පුද්ගලයා කයින්, වචනයෙන්, මනසින් වැරැදි කරයි.

සතුන් මරයි. සොරකම් කරයි. වැරදි අයුරින් ඉඳුරන් පිනවයි. මදයට ප්‍රමාදයට හේතුවන මත් වතුර, මත්ද්‍රව්‍ය පරිහරණය කරයි. බොරු, කේළාම්, පරුෂ වචන හිස් වචන කියයි.දැඩි ලෝභය, ව්‍යාපාදය (දැඩි තරහ) තමන්ට අලාභයක් කළ අය මැරීමේ පෙළීමේ චේතනාව, මිත්‍යා දෘෂ්ටිය (ලාභය උදෙසා ධර්මය අධර්මය ලෙස දකියි.අධර්මය ධර්මය ලෙස දකියි. විනය අවිනය ලෙස දකියි. අවිනය විනය ලෙස දකියි.) මේ අයුරින් කටයුතු කිරීම ණය ගැනීමයි.

එසේ වැරැදි කරමින් එය සමාජයෙන් සැඟවීමට වෙර දරයි.එය ණය සදහා පොළිය සෑදීමයි. මෙසේ වරදේ බැඳුන විට අනෙක් අය චෝදනා කරයි. එමෙන් ම මෙයින් සැඟවෙන්නට කෙහේ හෝ සැඟ වුණ ද තමා කළ දේ තම හදවතින් ඉවත් කළ නොහැක. නිතර නිතර එය ම සිහි වෙයි. එය ලුහු බැඳීමයි.

පව්කම් කොට තිරිසන් ලෝකයක, සතර අපායක වැටී දුක් විඳියි. එය දඩුවමයි.

මෙම සූත්‍ර දේශනාව තුළින් අපට දෙන ආදර්ශයක් වෙයි. එනම් දිළිඳුකම නැති කර ගැනීමයි. එවිට ණය ගැනීමක් නැත. ණය ගැනීමක් නැති විට, පොළිය වැඩිවීමක් නැත.පොළිය වැඩිවීමක් නොමැති විට, චෝදනා නැත. චෝදනා නැති විට ලුහු බැඳීමක් නැත. ලුහු බැඳීමක් නැති විට දඩුවම් ‘නැත’ යන අදහසයි.

ඒ අනුව පුද්ගල සංවර්ධනය ගොඩ නැඟෙයි. එවන් පුද්ගලයන් රාශියක් වූ විට එය ගමකි. රටකි. ඒ තුළින් ගම දියුණු වෙයි. රට දියුණු වෙයි. මෙලොව සතුටින් වෙසෙයි. මෙලොව සතුටින් විසූ විට ඒ සතුටින් ම මිය ගොස් පරලොව මනුෂ්‍ය, දිව්‍ය, බ්‍රහ්ම ලෝකවල උපදී. පාරලෞකික දියුණුව ලබයි.මෙය වඩාත් සංවර්ධනය වීම තුළ ලෝකෝත්තර දියුණුව ලබයි. එසේනම් ස්වයං පෝෂිත බව පිණිස, පෙහොසත් බව පිණිස, සංවර්ධනය පිණිස මේ කරුණු අනුගමනය කළ යුතුයි.

බුද්ධ, ධම්ම, සංඝ යන රත්නත්‍රය කෙරෙහි ශ්‍රද්ධාව ගොඩනඟා ගත යුතුයි.ශ්‍රද්ධාව යනු පැහැදීමයි. ප්‍රසාදයයි. විශ්වාසය යි.එම ශ්‍රද්ධාව යනු බුදු ගුණ, දහම් ගුණ, සඟ ගුණ හඳුනාගෙන ඒ ගුණ පිළිපැදීමයි.මේ ගුණ සියල්ලම නොවෙයි එක ගුණයක් අපේ ජීවිතවලට යොදාගත හැකි නම් ඒ තුළින් දිවිමග දියුණු කර ගත හැකි යි.

රහසින් වත් පව් නොකිරීම, කෙලෙස් වසඟ නොවීම, අලස නොවීම, ආහාරයෙහි පමණ දැනීම, නින්දෙහි ප්‍රමාණය දැනීම, වීර්ය ආර්ය අෂ්ඨාංගික මාර්ගය තුළ ගමන් කිරීම, මෛත්‍රිය, කරුණාව, දයාව පැවතීම ආදි ගුණ අපට නිරන්තරයෙන් භාවිත කළ හැකි ය. ධර්මය ගැන ප්‍රසාදය යනු බුදු බණ අනුගමනය කිරීමයි. සංඝයා ගැන පැහැදීම යනු සංඝ ගුණ අනුගමනය කිරීමයි.

කායික, වාචසික, මානසික අකුසල් කිරීමේ දී ලජ්ජා විය යුතුයි. බිය විය යුතුයි.ලජ්ජා බිය නැති විට පාපය යහපත් ය සිතා පාපයෙහි නිරත වෙයි. පාපයට ලැබෙන ප්‍රතිඵලයත් පාපී වෙයි. සතුට පලා යයි.දුක, සන්තාපය, අසහනය, අසතුට තුළ දිවි ගෙවයි. මෙලොව අසතුටුයි නම් පරලොව අසතුටු වෙයි. පව් තුළින් මෙලොව තැවෙයි. පරලොව තැවෙයි. දෙලොව ම තැවෙයි.අපායේ ඉපිද වඩවඩාත් තැවෙයි.

අපේ දියුණුව අම්මා කරන දෙයක් නොවෙයි. තාත්තා කරන දෙයක් නොවෙයි. වෙනත් ඤාතියකු කරන දෙයක් නොවෙයි. යහපත් ව ගොඩ නඟාගත්ත අපේ සිත තුළයි දියුණුව පවතින්නේ. තමන්ට පිහිට තමන් පමණි. අනුන්ගෙන් ඒ පිහිට අපේක්ෂා කළ නොහැක. තමන්ට තමන් පහනක් වන්න, තමන්ගේ ආලෝකය තමන් වන්න, තමන්ට තමන්ගේ සරණ පමණයි. වෙන කිසිවකුගෙන් සරණක් ලැබිය නොහැක. ඒ නිසා වීර්යය ගුණය තිබිය යුතුයි. නොලැබුණ දේ පිළිබඳ ව පසුතැවිලිවනවාට වඩා වීර්යයෙන් යුතුව කටයුතු කළොත් දියුණුව ලබා ගත හැකි ය.

දැන් රෑ,උදේ, දවල්, බඩ පිරුණා බඩගිනියි. ආදී වශයෙන් විවිධ කරුණු ගෙනහැර දක්වා වැඩ වැරීම සුදුසු නැත. අසනීපයක් හැදෙන්න ඇති විට අසනීප වුණොත් වැඩ අතපසු වේ යැයි වැඩ කළ යුතු ය. අසනීපයක් සුව වූ විට අසනීප වූ කාලයේ අතපසු වූ කටයුතු ඇතැයි. වැඩ කළ යුතුයි. ගමනක් යෑමට ඇති විටක ගමන ගිය පසු අතපසු වේ යැයි සිතා වැඩ කළ යුතුයි. ගමනක් ගොස් ආ පසු ගමන ගිය අවස්ථාවේ අතපසු වූ දේ කළ යුතු යැයි වැඩ කළ යුතු යි.

කුසගිනි වූ විට පෙර ගත් ආහාරයේ ශක්තිය ඇතැයි වැඩ කළ යුතුයි. කුස පිරුණ විට මා ගත් ආහාරයේ ශක්තිය නැති වීමට පෙර වැඩ කළ යුතුයි සිතා වැඩ කළ යුතු යි. මේ අයුරින් හැම මොහොතේම වැඩ කළ යුතුයි.ගැටලු දෙස බැලිය යුත්තේ ප්‍රඥාවෙනි. ගැටලුව, ගැටලුව ඇති වීමට බල පෑ හේතුව, ගැටලුව විසඳීම, ගැටලුව විසඳීමට ඇති මඟ ආදී වශයෙන් බැලීම ප්‍රඥාවයි.මේ අයුරින් කටයුතු කරයි නම් ණය කඳු සමතලා කළ හැක.මෙලොව දියුණුව ලද හැකි ය. පරලොව දියුණුව ලද හැකි ය. ලොකෝත්තර දියුණුව ලද හැකි ය. මේ බුදු මඟ යමු.