Print this Article


මලුපෙත් ඇමදි පිනෙන් මහා ප්‍රඥාවක් ලැබූ හැටි

මලුපෙත් ඇමදි පිනෙන් මහා ප්‍රඥාවක් ලැබූ හැටි

මලුපෙත් හැමදීමෙන්, හා කසළ ඉවත් කිරීමෙන් දෙපා සහ දෑත් අපිරිසුදුවී ගිය කුඩා සාමණේර හිමියෝ අසලින් ගලා බසින නදියට ගොස් පිරිසුදු කර ගන්නට පටන් ගත්තා. ඒ තෙරුන් වහන්සේ නදියෙහි වේගයෙන් ගලන දිය එක් තැනක දී උඩ-යට යමින් දිය බුදුළු දමන තැනක් දුටුවා

කාශ්‍යප නම් බුදුරජාණන් වහන්සේ ලොව පහළ වූ සමයේ ගංගාවක් සමීපයේ මහා විහාරයක් තිබුණා. ඒ විහාරයේ බොහෝ භික්ෂූන් වහන්සේ වැඩ වාසය කළා. උන්වහන්සේලා අලුයම නැඟිට පිරිය යුතු වත්පිළිවෙත් පුරා මලුපෙත් හැමදුවා. එක් එක් භික්ෂුන් වහන්සේට වෙන් වූ කාර්යයන් සමූහයක් තිබුණා.

වැඩිහිටි භික්ෂූන් වහන්සේ ඇතැම් විට සාමණේරයන් වහන්සේලාගේ උපකාර ලබා ගැනීමට ද කටයුතු කළා. දිනක් එක් වැඩිහිටි භික්ෂූන් වහන්සේ නමක් තමන් වහන්සේට පැවරුණු මලුව ඇමද එහි කසල එක් තැනකට ගොඩකළා. සාමණේර හිමි නමක් අමතා ‘‘

සාමණේරය, මෙහි පැමිණෙව. මේ ඇමදූ කැලිකසළ බැහැර ගොස් දමව“ යි ආඥා කළා.

සාමණේර හිමි ද එම බස් නො ඇසුණ සේ යන්නට වුණා. දෙවැනිවත් අණ කළා . එවරත් නෑසුනකු සේ යන්නට ගියා. තෙවැනිවරද අමතා සිටියත් ඒ කිසිත් නො සලකා නෑසුනකු සේ ගමනේ ම යෙදී සිටි යා.

එවිට වැඩිහිටි භික්ෂුව මෙසේ සිතුවා. ‘‘මේ අකීකරු සාමණේර කෙනෙකි. දඩුවම් කර දැන්ම හික්මවා ගත යුතුයි”

තමන් වහන්සේ අතැති මුසුන් මිටින් ‘‘මා ඇමතූ විටත් නො සලකා යන්නේ එතරම් ම අකීකරු ද?”යි

පවසමින් පහරක් දුන්නා. පහර කෑ සාමණේර හිමි බයින් තැතිගත්තා. ඒ භික්ෂුන් වහන්සේ දිහා බලමින් හඬ හඬා කීකරු තැනැත්තකු සේ කැලිකසළ ගොඩ සමීපයේ උක්කුටිකයෙන් හිඳගෙන ඒවා මල්ලකට එකතු කළා. එය බැහැරට ගෙන ගොස් දමන අතරේ මෙසේ සිතනවා.

‘‘මේ කුණු විසිකර දැමූ කුසලයෙන් යම්තාත් සසරේ ඇවිදිමින් මතු දිනක මා නිවනට පැමිණෙම් ද? ඒ තාක් කල් අතරතුරෙහි උපනූපන් ජාතියෙහි, මධ්‍යාහ්නයෙහි නැඟෙන සූර්යාගේ ආලෝකය මෙන් මහේශාක්‍ය වූ, තේජස් ඇත්තා වූ, බලැත්තා වූ තැනැත්තකු ව උපදිම්වා”යි ප්‍රාර්ථනා කළා.

මලුපෙත් හැමදීමෙන් හා කසළ ඉවත් කිරීමෙන් දෙපා සහ දෑත් අපිරිසුදුවී ගිය කුඩා සාමණේර හිමියෝ අසලින් ගලා බසින නදියට ගොස් පිරිසුදු කර ගන්නට පටන් ගත්තා. ඒ තෙරුන් වහන්සේ නදියෙහි වේගයෙන් ගලන දිය එක් තැනක දී උඩ යට යමින් දිය බුබුළු දමන තැනක් දුටුවා.

‘‘යම්තාක් කල් මම නිර්වාණයට පැමිණෙම් ද? ඒතාක් මේ ජල පහරේ රළ වේගය මෙන් කිසිදා ක්ෂය නොවන්නා වූ ස්ථානෝචිත ප්‍රඥාවක් හිමිවේවා”යි පැතුවා.

ඒ අවස්ථාවේ වැඩිහිටි තෙරුන් වහන්සේ ද තමන් වහන්සේ අත තිබූ මුසුන්න මුසුන් හල තබා දෑත් සහ දෙපය පිරිසුදු කර ගැනීමට නදියට පිටත් වුණා. කුඩා සාමණේර හිමි උන්වහන්සේ දුටුවේ නෑ. අභිමත අයුරින් නදී ජලයෙන් ගත පිරිසුදු කරමින් තම ප්‍රාර්ථනාව කළා. එය අසා සිටි වැඩිහිටි තෙරුන් වහන්සේ ‘‘මේ සාමණේරයෝ ඉතා කුඩා කටයුත්තක් කර මෙසේ ප්‍රාර්ථනාවක් කරනවා. එම කසල එකතු කරමින් මලුව හැමදි විශාලතම කාර්යය කරන ලද්දේ මා විසිනුයි.

කුණු දැම්මවීම ද කරවන ලද්දේ මා විසිනුයි. එසේ හෙයින් මමත් මෙසේ ප්‍රාර්ථනා කරමි”යි සිතා වැඩිහිටි තෙරුන් වහන්සේ මෙසේ සිතුවා. “යම්තාක් සසරෙහි ඇවිදිමින් යම් දිනක මම නිවනට පැමිණෙම් ද? ඒතාක් කල් අතරතුර උපනූපන් ආත්මයන්හි මේ නදී ජලයේ වේගය මෙන් ක්ෂය නො වන්නා වූ අප්‍රමාණ ප්‍රඥාවක් සහිත ව උපත ලබම්වා, මොහු විසින් විචාළ විචාළ ප්‍රශ්න හෝ කථා ආදි සියලු දෑ නිරවුල් කරන්නට, වෙළුම් හරින්නට සමර්ථයෙක් වේම්වා”යි ප්‍රාර්ථනාවක් කළා.

මෙසේ ප්‍රාර්ථනා කළ දෙනම දිව්‍ය ලෝකයෙහි සහ මනුෂ්‍ය ලෝකයෙහි සැරිසරා දඹදිව යෝනක රටෙහි උපත ලැබුවා. එ සමයෙහි සාමණේරයන් වහන්සේ යෝනක රටේ සාගල නුවර උපත ලබා මිලිදු රජ නමින් ප්‍රසිද්ධ වුණා. හෙතෙම ඉතා පණ්ඩිත, ව්‍යක්ත, සහ ප්‍රඥාවත් වුණා.

සියලු කටයුත්තෙහි දක්ෂයකු වුණා. අතීත, අනාගත, වර්තමාන තුන් කල්හි තියුණු නුවණින් පිරී ගියා. වේද ශාස්ත්‍රය, ස්මෘති ශාස්ත්‍රය, ගණිතය, කාම ශාස්ත්‍රය, නීති ශාස්ත්‍රය, ගාන්ධර්වය, වෛද්‍ය ශාස්ත්‍රය, චතුර්වේදය, ඉතිහාසය, ජ්‍යෝතිෂය, ඉන්ද්‍රජාලය, යුද්ධ ශාස්ත්‍රය, ඡන්දෝශාස්ත්‍ර ආදි අනේක විධ ශාස්ත්‍ර වලින් වාද කිරීමේ අති සමතෙක් බවට පත් වුණා.

එ සමයෙහි මහණ බමුණන් සහ පණ්ඩිත යැයි කියා ගන්නා සියලු පුද්ගලයෝ මිලිදු රජුගේ වාදවලට බියෙන් රට අත්හැර දමා පලා ගියා. භික්ෂූන් වහන්සේලා වාදවලට බියෙන් හිමාලයේ වාසයට ගිය මෙ සමයෙහි සම්බුදු සසුන ආරක්ෂා කිරීමටත්, වාද පරදා ධර්මය බැබළවීමටත් මඟක් සොයන්නට එකල වැඩ සිටි අස්සගුත්ත මහ තෙරුන් වහන්සේ සෙසු රහතන් වහන්සේලා කැඳවාගෙන ශක්‍ර භවනට වැඩම කොට ශක් දෙවියන්ට කරුණු පහදා දී මනුෂ්‍ය ලෝකයෙහි ඉපදීමට මලුව ඇමදීම කළ පුණ්‍ය මහිමයෙන් දෙව් ලොව දිව සැපත් විඳින මහාසේන නමැති දිව්‍ය පුත්‍රයාට ආරාධනා කළා.

පළමුවත්, දෙවනුවත්, මිනිස් ලොව ඉපදීමට අකමැති වුවත් සම්බුදු සසුන ආරක්ෂා කිරීමට උපත ලබන ලෙස කළ ඉල්ලීම අනුව තෙවැනි වර ආරාධනාව පිළිගත්තා .

ඒ අනුව මහානාම දෙව් පුතු හිමාලය පර්වතය සමීපයේ කජංගල නම් බමුණුගම සෝණුත්තර නම් බ්‍රාහ්මණයාගේ බිරිඳගේ කුස පිළිසිඳගෙන උපත ලබා නාගසේන කුමරු නමින් ප්‍රසිද්ධ වුණා. සත් හැවිරිදි වියේ දී රෝහණ නමැති තෙර කෙනකුන් වහන්සේ සමීපයේ පැවිදි බිමට පත්ව මිලිඳු රජු සමඟ වාද කරන්නට පටන් ගත්තා. මෙසේ මිලිඳු රජුටත්, නාගසේන තෙරුන් වහන්සේටත් තියුණු, ව්‍යක්ත, ක්ෂය නොවන, මහා ප්‍රඥාවක් පහළ වූයේ මලුවක් ඇමදීමේ පුණ්‍ය මහිමය නිසයි.