Print this Article


බෝසත් ගුණැති මහා යතිවරයන් වහන්සේ නමක් ලෙස සම්භාවනාවට පත් අපවත්වී වදාළ මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේ

බෝසත් ගුණැති මහා යතිවරයන් වහන්සේ නමක් ලෙස සම්භාවනාවට පත් අපවත්වී වදාළ මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේ

ජාත්‍යන්තර තලයේ බෞද්ධ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා සුවිශේෂී නායකත්වයක් ලබා දුන් ප්‍රංශයේ ජේතවන විහාරාධිපති, ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක, මුරුංගාගස්යායේ ඤාණිස්සර නා හිමිපාණන් වහන්සේ පසුගිය නොවැම්බර් පස්වැනි දින හදිසියේ ම අපවත් වී වදාළසේක.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ ගිරුවාපත්තුවේ මුරුංගාගස්යාය ග්‍රාමයේ ප්‍රභූවරයකු වූ එස්. ඒ. වීරක්කොඩි මැතිතුමාගේ සහ අමරකෝන් දිසානායක පුංචිහාමි මාතාවගේ පස්වැනි දරුවා වශයෙන් වර්ෂ 1945 අගෝස්තු 10 වැනි දා උපත ලද නාහිමිපාණන්වහන්සේ මිද්දෙණිය ප්‍රාථමික විදුහලෙන් අධ්‍යාපනය ලැබූහ.

සැදැහැති මව්පියන්ගෙන් ලද ශාසනික උරුමය සහ පූර්වෝකෘත පුණ්‍යමහිමයත් හේතුවෙන් වර්ෂ 1955 ජූනි මස 25 වන දින මුලනේ අග්ගාරාම මාහිමිපාණන් වහන්සේගේ ආචාර්යත්වයෙන් විතාරන්දෙණියේ ඇත්ගාලමුල්ල අශ්වත්ථාරාමයේ දී ප්‍රව්‍රජ්‍යා සම්පත් ලබා ස්වකීය ආචාර්යයන් වහන්සේලා වෙතින් මූලික බණ දහම් ප්‍රගුණ කළහ. කලක් වැසී තිබූ තංගල්ල ධම්මදින්න පිරුවන 1960 වසරේ යළි ආරම්භ කිරීමේ දී එහි ප්‍රථම ශිෂ්‍යයා වශයෙන් ඇතුළත් ව ශාස්ත්‍රොද්ග්‍රහණයකොට 1962 වසරේ දී වැඩිදුර අධ්‍යාපනය සඳහා කොළඹ මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙනට ඇතුළත් වූ හ.

අතිපූජ්‍ය කළුකොඳයාවේ පඤ්ඤාසේඛර මහ නාහිමි, වේඬරුවේ අනෝමදස්සි අනු නාහිමි, රද්දැල්ලේ පඤ්ඤාලෝක අනු නාහිමි, පල්ලාවෙල සද්ධාතිස්ස නාහිමි, අඹන්වැල්ලේ පඤ්ඤාසේඛර අනු නාහිමි, හෑගොඩ ඛේමානන්ද නාහිමි, දොරටියාවේ නන්දසාර නාහිමි ඇතුළු වියත් ඇදුරු මඬුල්ලක් සෙවණේ ශාස්ත්‍රෝද්ග්‍රහණයකොට 1968 වසරේ විද්‍යොදය පිරිවෙනේ අවසාන අංශයේ දක්ෂතම ශිෂ්‍යයා වෙත පිරිනමන ස්‍යාමරාජ ත්‍යාගයෙන් පිදුම් ලැබූහ.

උසස් අධ්‍යාපන කටයුතු සඳහා පේරාදෙණිය විශ්වවිද්‍යාලයට ඇතුළත් ව දර්ශනය පිළිබඳ විශේෂවේදී උපාධිය හදාරන කාලයේ සරසවි සිසු සංගම්වල නායකත්වය හොබවමින් තම සහෝදර සිසු පිරිස වෙනුවෙන් සුවිශේෂ මෙහෙවරක් සිදු කළහ.

අධ්‍යාපන කටයුතු නිමවා මැල්සිරිපුර පොල්ගොල්ලේ ශාස්ත්‍රානන්ද පිරුවනේ ආචාර්ය පදවියක් හොබවා රජයේ ගුරු සේවයට එක්වූ නාහිමිපාණන් වහන්සේ කදුරුපොකුණ මහා විද්‍යාලයේ හා වනාතමුල්ල සීවලී මහා විද්‍යාලයේ ධර්මාචාර්ය හිමිනමක වශයෙන් සේවය කළහ. මේ වකවානුවේ ම මාලිගාකන්දේ විද්‍යොදය පිරිවෙනේ ආචාර්යවරයකු වශයෙන් ද කටයුතු කරමින් ශ්‍රී ලංකා බෞද්ධ හා පාලි විශ්වවිද්‍යාලයේ ධර්මාධ්‍යක්ෂ පදවියේ ද වගකීම් දැරූහ.

ප්‍රංශයේ ප්‍රධාන සංඝනායක පරවාහැර චන්දරතන නාහිමියන්ගේ නිර්දේශය මත 1983 වසරේ ප්‍රංශයේ ධර්ම ප්‍රචාරක කටයුතු සඳහා යොමු වූ නාහිමිපාණන් වහන්සේ වෙත මල්වතු මහා විහාරයෙන් ප්‍රංශයේ ප්‍රධාන අධිකරණ සංඝනායක පදවිය පිරිනමන ලදී.

සරසවි වරම් ලබන සිසු දරුවන් දහස් ගණනක් සඳහා ඉගෙනීම් අවසන් වන තුරු ශිෂ්‍යාධාර පිරිනැමීම නාහිමිපාණන් වහන්සේ නොකඩ කොට සිදු කළහ. සුනාමි සහ ගංවතුර වැනි ස්වභාවික විපත්වලින් පීඩාවට පත්වන අය සඳහා ආධාර කිරීම, නිවාස නොමැති පවුල් සඳහා නිවාස තනවා දීම, මිද්දෙණිය රෝහල සඳහා අංග සම්පූර්ණ වාට්ටු සංකීර්ණයක් ඉදිකර දීම, අපවත්වන ස්වාමින් වහන්සේලාගේ ආදාහන පූජෝත්සව සඳහා ආධාර කිරීම, තම උපන් ගමේ උද්‍යාන, ආදාහනාගාර ආදී ඉදිකිරීම්කරවා දියුණුවට කටයුතු සම්පාදනය කිරීම නාහිමිපාණන් වහන්සේගේ මූලිකත්වයෙන් සිදුවිය.

කිසිදු ලාභාපේක්ෂාවකින් තොරව තමා හමුවට එන කාහටත් සත්කාර සම්මාන සිදුකළ නාහිමිපාණන් වහන්සේ වෙතින් උපකාර ලැබූවන් ප්‍රමාණය ලක්ෂ සංඛ්‍යාත වෙයි. හම්බන්තොට දිස්ත්‍රික්කයට පමණක් සීමා නොවී මුළු රටේම සුබසාධන කටයුතු සඳහා නාහිමිපාණන් වහන්සේ ස්වකීය දායකත්වය ලබා දුන්හ.

ජාත්‍යන්තර ධර්ම ප්‍රචාරක කටයුතුවල යෙදෙමින් ලක්දිව සමාජ සුබසාධන කටයුතු රාශියකට දායකත්වය සපයමින් බෝසත් ගුණැති මහා යතිවරයාණන් වහන්සේ නමක වශයෙන් සම්භාවනාවට පත් වූ මුරුංගාගස්යායේ ඤාණිස්සර නාහිමිපාණන් වහන්සේ පසුගිය 4 වැනි දින ලංකාවට වැඩම කළහ. හදිසියේ ගිලන් භාවයටපත් වූ නාහිමිපාණන්වහන්සේ පස්වැනි දින අපවත් වී වදාළහ. අපවත් වී වදාළ නාහිමිපාණන්වහන්සේට නිවන්සුව පතමු.