Print this Article


පෙරදිග මහා තක්‍ෂිලාව: පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන

1875 නොවැම්බර් මස 01 වැනිදා ආරම්භ කළ පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙනට මෙම මස 01 දිනට වසර 146 ක් සපිරුණි. මේ ලිපිය ඒ නිමිත්තෙනි

පෙරදිග මහා තක්‍ෂිලාව: පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන

පුරා වසර 146ක කාල පරාසයක් ආයු ගෙවමින් මේ රටට, ජාතියට, ආගමට, භාෂා ශාස්ත්‍රාදියට අනගි මෙහෙයක් ඉටු කළ, එමෙන් ම ඉටු කරන විද්‍යාලංකාර පිරිවෙන මේ රටට පමණක් නොව මුළු මහත් ලෝකයට ම අයත් මහා තක්‍ෂිලාවකි.

ශ්‍රී සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයාණන් වහන්සේගේ පාදස්පර්ශයෙන් පරම පූජනීයත්වයට පත් සිරි ලක්දිව, අනුබුදු මිහිඳු මහ රහතන් වහන්සේගේ වැඩම කරවීමත් සමඟ ශ්‍රී සද්ධර්මයෙන් ද පෝෂණය වූ දහම් දිවයිනක් බවට පත් විය.

“වැවයි දාගැබයි ගමයි පන්සලයි” යන සංකල්පය නිසා මිනිසා හා පන්සල අතර දැඩි සබැඳීයාවක් පැවති බව ඉතිහාසයෙන් පැහැදිලි වේ. අනුරපුරින් ඇරඹුණ භික්‍ෂු අධ්‍යාපනය ඉතා කෙටි කලකින් ලක්දිව සතර දිග්භාගයේ ම ව්‍යාප්ත වුණි.

1505 පෘතුග්‍රීසි ආක්‍රමණය නිසා පිරිහුණු දේශීය අධ්‍යාපනය ආරක්‍ෂාකර ගැනීමටත්, යළි නඟා සිටුවීමටත් ජාතියේ පිනට වැලිවිට ශ්‍රී අසරණ සරණ සරණංකර සංඝරාජ මාහිමියෝ පහළ වූහ. උන්වහන්සේ අති දුෂ්කරතා මැද පිරිහෙමින් තිබූ අපේ අධ්‍යාපනය මැනවින් ප්‍රගුණ කොට එයට අනුගත වූ ශිෂ්‍යානුශිෂ්‍ය පරපුරක් ලක්දිව පුරාම ඇති කළහ. ඒ ගෝල පරපුරෙන් අධ්‍යාපනය නගා සිටුවීම සඳහා මූලිකත්වය ගත්තේ ගෞරවාර්හ ආසිදෙණියේ ධර්මකීර්ති මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.උන්වහන්සේ ගේ පරපුරෙන් පැවත එන ගෝල පරපුරට අයත් මහා පඬිවරයෙකි, වලානේ ශ්‍රී සිද්ධාර්ථ මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ. උන්වහන්සේ රත්මලානේ පරමධම්මචේතිය පිරිවෙන ආරම්භ කරමින් රටට හා දේශීය බෞද්ධ අධ්‍යාපනය නඟා සිටුවීමට පෙරමුණ ගත හැකි පඬිවරු ගණනාවක් බිහි කළහ. රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1875 දී කැලණියේ පෑලියගොඩ විද්‍යාලංකාර ශාස්ත්‍ර ශාලාව ආරම්භ කරමින් වැලිවිට සංඝරාජ මාහිමියන්ගේ අභිමතාර්ථ ඉෂ්ටසිද්ධ කළහ.

රත්මලානේ පුරාණ විහාරයේ වැඩවෙසෙමින් ධර්ම ශාස්ත්‍රය බෙදා දුන් ධර්මාලෝක ස්වාමීන්ද්‍රයන් වහන්සේ දළුගම දායකකාරකාදීන්ගේ ආරාධනාවක් මත එහි වස් විසීමට තීරණය කළහ. වස් කාලයෙන් මසක් ගිය තැන දායක සභාවක් පිහිටවූ උන්වහන්සේ එකී දායක සභාවේ ඉල්ලීමක් අනුව විද්‍යාලංකාර ශාස්ත්‍ර ශාලාව ඇරඹූහ. ඒ සඳහා තමන් වහන්සේගේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍යවර වූ රත්මලානේ ධර්මාරාම හිමියන්ගේ පූර්ණ සහාය ද ලැබුණි. කුඩා පොල් අතු මඩුවකින් ඇරඹූ ශාස්ත්‍ර ශාලාවේ ගිහි පැවිදි බොහෝදෙනාට ධර්ම ශාස්ත්‍රය ලබා දීමට උන්වහන්සේ බෙහෙවින් කැපවී කටයුතු කළහ. ධර්ම ශාස්ත්‍රීය සේවයත්, අධ්‍යාපනික සේවයත් මෙසේ ඉටුකරන අතර ධර්මාලෝක මාහිමියන් විසින් ‘ධර්ම ශාලාවක් ’ ද තනන ලදි. ඒ රත්මලානේ ශ්‍රී ධර්මාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය. සහජයෙන් ම උන්වහන්සේ දක්‍ෂයකු වූහ. ස්වකීය ශිෂ්‍යවරයන් වහන්සේ සමඟ ඇරඹු විද්‍යාලංකාර ශාස්ත්‍ර ශාලාව මඟින් රටට හිතැති වූ ද, වැඩදායක වූ ද, ආගම දහමට ලැදි වූ ද ගෝල පරපුරක් බිහිකළ රත්මලානේ ධම්මාලෝක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1887 අගෝස්තු මස 15 දින අපවත් වූහ.

බෝධිසත්ව ගුණෝපේත රත්මලානේ ශ්‍රී ධර්මාලෝක මහා ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත් වීමෙන් පසු උන්වහන්සේ හැදූ සාර්වභෞම පණ්ඩිත රත්මලානේ ශ්‍රී ධර්මාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වර්ෂ 1887 දී විද්‍යාලංකාර පිරිවෙනේ පරිවේණාධිපතිත්වයට පත්වූහ. තම ගුරුදේවයන් වහන්සේ ඇරඹූ අධ්‍යාපනික සේවය වඩාත් තීව්‍ර කරමින් ඉදිරියට රැගෙන ගොස් ශාස්ත්‍රීය පර්යේෂණායතනයක් බවට පත්කිරීමට උන්වහන්සේ සමත් වූ හ.

සිංහල, පාලි, සංස්කෘත ආදී පෙරදිග භාෂාවන් පිළිබඳ හසල දැනුමක් සහිත වූ රත්මලානේ ශ්‍රී ධර්මාරාම නාහිමියෝ තොටගමුවේ ශ්‍රී රාහුල හිමියන්ට පමණක් දෙවෙනි වෙතැයි ඇතැම් උගත්හු විශ්වාස කරමින් ප්‍රකාශ කරති. න ණ ල ළ භේදය, ජානකීහරණ සංස්කරණය, සිදත්සඟරා සන්නය ආදී ශාස්ත්‍රීය පර්යේෂණ උන්වහන්සේගේ පාණ්ඩිත්‍යයට කදිම නිදසුන් ය. උන්වහන්සේ වෙතින් සංස්කරණය වූ ද, රචනා වූ ද කෘති අති විශාල සංඛ්‍යාවක් තිබේ. ඒ අතර මනෝරථපූරණී හා අත්ථසාලිනී වැනි පාළි අට්ඨ කථාද, මජ්ක්‍ධිම නිකාය හා ධම්මසංගනීය වැනි පෙළ පොත් ද, බාලාවතාර, කච්චායනවුත්ති හා පාළි නාමාඛ්‍යාත වැනි පාලි වියරණ පොත් ද, කාව්‍යශේඛරය, අමාවතුර, හංස සන්දේශය හා සැළලිහිණි සන්දේශය වැනි ග්‍රන්ථ ද එදා මෙන් ම අදත් උගතුන්ගේ ප්‍රසාදයට ලක්වී ඇති කෘති කිහිපයකි.

අපේ දේශීය අධ්‍යාපනය පරිහානියට පත්වෙමින් පැවති අවධියක දී ඊට නැවත පණ පොවමින් නඟාසිටුවීමට ඇරඹි විද්‍යොදය හා විද්‍යාලංකාර යන පිරිවෙන් දෙකින් එය මනාව ඉටුවෙමින් පවතින අතර, ඊට ශක්තිමත් අඩිතාලම වූයේ රත්මලානේ ශ්‍රී ධර්මාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ගේ ධර්ම ශාස්ත්‍රීය සේවය යැයි පැවසීම අතිශයෝක්තියක් නොවේ. විද්‍යාලංකාර පිරිවෙනටත්, අපේ බෞද්ධ අධ්‍යාපනයටත් අත්‍යුදාර සේවාවක් ඉටුකළ ගෞරවාර්හ රත්මලානේ ශ්‍රී ධර්මාලෝක නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ පිරිවෙනේ අභිවෘද්ධියටත්, දේශීය අධ්‍යාපනයේ අභිවෘද්ධියටත් සරිලන ගෝලබාල පිරිසක් හදාවඩා 1918 මැයි මස 03 වැනිදා අපවත් වී වදාළහ.

අතීත පරිවේණාධිපතීන් වහන්සේලාගේ ආචාර්ය සම්ප්‍රදායයන් හා පිරිවෙනේ ප්‍රතිපත්තීන් ඉදිරියට පවත්වා ගෙන යාම සඳහා අවශ්‍යතරම් භික්‍ෂූන් වහන්සේ පිරිවෙනේ වැඩ සිටියහ. ඒ අනුව තුන් වැනි පරිවේණාධිපතීන් වහන්සේ වශයෙන් ගෞරවාර්හ ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද ස්වාමීන්ද්‍රයන් වහන්සේ විද්‍යාලංකාර සභාව මඟිින් පත් කරන ලදී. පොල් අතු මඩුවකින් ඇරඹි විද්‍යාලංකාර පිරිවෙනේ ගොඩනැඟිලි ඉදිවීම ආරම්භ වූයේ මේ යුගයේ දී ය.

පණ්ඩිතාචාර්ය ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ද විවිධ විෂයයන්ට අදාළ පොත්පත් රචනා කරමින් හා සංස්කරණය කරමින් ධර්මාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආරම්භ කළ ශාස්ත්‍රීය පර්යේෂණ සේවාවට නව පණක් ලබා දුන්හ. එසේම මෙම යුගය ඉතා සුවිශේෂත්වයට පත් වන්නේ පිරිවෙන සතු පූජනීය වස්තුව වන නිර්මල සර්වඥධාතූන් වහන්සේ පිරිවෙනට වැඩම වීම නිසා ය. 1940 වර්ෂයේ දී බ්‍රිතාන්‍යයේ මේයිසි පරපුරේ බරොස් මැතිනිය සහ ස්මිත් මැතිනිය විසින් ලක් රජයට පරිත්‍යාග කළ මෙම සර්වඥධාතූන් වහන්සේ සර් කනිංහැම් මහතා සමඟ ඉන්දියාවේ භිල්සා ස්තූපයෙහි කැනීම් කටයුතු සිදු කළ ජෙනරාල් මෙයිසි මහතාට 1849 වර්ෂයට පෙර හමු වී ඇත. ලක් රජයට පරිත්‍යාග කළ සර්වඥ ධාතූන් වහන්සේ පිරිවෙනේ දීප්තිමත් ආදි ශිෂ්‍යයකු වන සර් ඩී. බී. ජයතිලක මැතිතුමා මගින් විද්‍යාලංකාර පිරිවෙනට වැඩමවීම විදුලකර ඉතිහාසයේ සුවිශේෂී සන්ධිස්ථානයකි.

සම්මා සම්බුද්ධ සර්වඥ රාජෝත්තමයන් වහන්සේගේ සම්බුද්ධ ශරීරයේ ම කොටස් වශයෙන් ඓතිහාසික ව ඔප්පු වී ඇති ධාතූන් වහන්සේ සියැසින් දැක ගැනීමට වාසනාව ලත් ගෞරවාර්හ ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1945 ජූනි මස 18 වැනි දා අපවත් වී වදාළහ.

පණ්ඩිතාචාර්ය ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්දාභිධාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමියෝ විද්‍යාලංකාර පරිවේණාධිපතිත්වයට වර්ෂ 1945 දී පත්වූහ. ස්වකීය ආචාර්ය සම්ප්‍රදායයන් ආරක්‍ෂා කරමින් හා විද්‍යාලංකාර පිරිවෙනේ අනන්‍යතාවය සුරක්‍ෂිත කරමින් භාෂා හා ධර්ම ශාස්ත්‍රීය සේවයක් සිදුකළ ප්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ධර්මධර, විනයධර යතිවරයන් වහන්සේ නමක් මෙන්ම දයා කරුණාභරිත ගූණවතුන් වහන්සේ නමකි. අතීත පරිවේණාධිපතීන් වහන්සේලා මෙන් ම ග්‍රන්ථ සම්පාදනය කරමින් හා සංස්කරණය කරමින්, ශාස්ත්‍රීය සේවයට මහඟු මෙහෙවරක් ඉටුකළ, චාම් සරල දිවිපෙවතක් ගත කළ ගෞරවාර්හ කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විද්‍යාලංකාර (කැලණිය) විශ්වවිද්‍යාලයේ ප්‍රථම උපකුලපතිවරයාවශයෙන් ද සුවිශාල සේවාවක් ඉටුකළහ.

ශ්‍රී ධර්මානන්ද නාහිමි යුගයේ සිට පිරිවෙනේ අධ්‍යක්‍ෂ හැටියට ඉතා දීර්ඝ කාලයක් සුවිසල් මෙහෙවරක් ඉටුකළ අතිගරු යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම ස්වාමීන්ද්‍රයන් වහන්සේ පස් වැනි පරිවේණාධිපතීන් වහන්සේ වශයෙන් පත් වූහ.

1934 වර්ෂයේ පටන් පිරිවෙනේ දියුණුවට ජීවිත පරිත්‍යාගයෙන් දිවා රෑ නොබලා ඇපකැපව ක්‍රියා කළ අතිගරු යක්කඩුවේ නාහිමියෝ විද්‍යාලංකාර පිරිවෙනට අනුබද්ධ ආයතන හැටියට පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන හා දෙමටගොඩ ධර්මප්‍රාසාදය අරඹා ධර්ම ශාස්ත්‍රීය සේවය ගිහි පැවිදි හැම දෙනා අතර ම ව්‍යාප්ත කළහ.

මෙහි දී විශේෂයෙන් සඳහන් කළ යුතුව ඇත්තේ මහාචාර්ය වල්පොළ රාහුල මාහිමියන් වහන්සේ කළ යෝජනාවත්, ඉලංගරත්න ඇමතිතුමාගේ පෙළඹවීමත් නිසා පිරිවෙන් අධ්‍යක්‍ෂ යක්කඩුවේ නාහිමියන්ගේ අප්‍රතිහත ධෛර්යයෙන් යුක්තව ඉටුකළ ත්‍රිපිටක ධර්ම සංගීතියයයි. පිරිවෙනට වසර 75ක් පිරීම නිමිත්තෙන් 1950 අගෝස්තු මස 15 වැනි දින ඇරඹූ ත්‍රිපිටක ධර්ම සංගීතිය අවුරුදු තුනයි මාස පහයි දවස් පහළොවක් පුරා පැවැත්වීමෙන් විද්‍යාලංකාර පිරිවෙන පුණ්‍ය භූමියක් බවට පත් විය. මෙය ද විද්‍යාලංකාර ගමන් මඟේ සුවිශේෂී වූ ද, අනර්ඝ වූ ද කර්තව්‍යයකි. එහි පුරෝගාමියා වූයේ ද අපේ නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ම ය.

සාර්වභෞම පණ්ඩිත අතිගරු යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාමාභිධාන කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ වර්ෂ 1986 මාර්තු මස 01 වැනි දා සිහි නුවණින් යුතු ව අපවත්වීමෙන් පසු එතැන් පටන් පරිවේණාධිපති තනතුර හොබවන ලද්දේ ගෞරවාර්හ නාත්තන්ඩියේ ශ්‍රී පඤ්ඤාකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විසිනි. ලුණුපොකුණේ ශ්‍රී ධර්මානන්ද නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ යුගයේ පටන් යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ යුගය දක්වා පිරිවෙනේ අභිවෘද්ධිය වෙනුවෙන් අභ්‍යන්තර කටයුතුවලට වඩා බාහිර කටයුතුවල දී ඇපකැපවීමෙන් සුවිශාල මෙහෙවරක් උන්වහන්සේ ඉටු කළහ. 1986 දී පිරිවෙනේ පරිවේණාධිපති වශයෙන් පත්වූ ගරුතර නාත්තන්ඩියේ ශ්‍රී ප්‍රඥාකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ 1990 වර්ෂයේ දී අපවත් වී වදාළහ.

ගෞරවාර්හ නාත්තන්ඩියේ ශ්‍රී ප්‍රඥාකර නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීමෙන් පසු එවකට උප පරිවේණාධිපති හා අධ්‍යක්‍ෂ වශයෙන් කටයුතු කළ වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ විද්‍යාලංකාර පරිවේණාධිපති හැටියට විද්‍යාලංකාර සභාව මඟින් පත්කරන ලදී. උන්වහන්සේ එවක් පටන් අතීත පරිවේණාධිපතීන් වහන්සේලා අනුගමනය කළ ආචාර්ය සම්ප්‍රදායයන් අඛණ්ඩ ව පවත්වා ගෙන යමින් විද්‍යාලංකාර පිරිවෙන රටේත් ලෝකයේත් ජීවමාන කරවීමට දිවා රෑ නොබලා කටයුතු කළහ. ලොකු පොඩි, දුප්පත් පොහොසත්, උගත් නූගත් ආදිය නොබලා තමන් වහන්සේගේ සේවය අවශ්‍ය වන්නේ කොතැනට ද එතැනට වැඩම කරමින් ඔවුන් බලාපොරොත්තු වූවාටත් වඩා හොඳීන් ඉටු කර දීමට පරිවේණාධිපතීන් වහන්සේ වගබලා ගත්හ.

කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති පදවියෙන් ද බුරුම රජය ප්‍රදානය කළ අග්ගමහා සද්ධම්මජෝතික ධජ යන ගෞරව නාමයෙන් ද පුදලද ගරු කටයුතු අපේ වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ සේවය දෙස් විදෙස්වල පවා ඇගයීමට ලක් විය. දෙස් විදෙස් විවිධ පදවි තානාන්තරවලින් පූජාර්හ ලැබූහ. ස්වාමීන්ද්‍රයන් වහන්සේ විවිධ සුභසාධන සේවාවන් රැසක් අරඹමින් ද, අතීත පරිවේණාධිපතීන් වහන්සේලා ඇතුළු පිරිවෙන ආරම්භ කළ, ආරක්‍ෂා කළ, පෝෂණය කළ ගිහි පැවිදි උතුමන් අනුස්මරණය කරමින් කළගුණ සැලකීමට

“ විද්‍යාලංකාර දිනය” අරඹමින් ද, අතිමහත් සේවාවන් ගණනාවක් දියත් කළහ.

පුරා වසර 146ක කාල පරාසයක් ආයු ගෙවමින් මේ රටට, ජාතියට, ආගමට, භාෂා ශාස්ත්‍රාදියට අනගි මෙහෙයක් ඉටු කළ, එමෙන් ම ඉටු කරන “විද්‍යාලංකාර පිරිවෙන” මේ රටට පමණක් නොව මුළු මහත් ලෝකයට ම අයත් මහා තක්‍ෂිලාවකි.