Print this Article


බොදු දන නෙත් සිත් සුපහන් කරවන මොරපිටිය ශ්‍රී මහින්දාරාම විහාරස්ථ ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ

බොදු දන නෙත් සිත් සුපහන් කරවන මොරපිටිය ශ්‍රී මහින්දාරාම විහාරස්ථ ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ

සියවස් ගණනාවක් පුරා අපමණ සැදැහැවතුන්ගේ වන්දනාවට පාත්‍රවන අගනා ශෛලමය සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ සහ විහාර මන්දිරය මොරපිටිය ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ නිර්මාණය කළ වගයි......

අනුරාධපුර‍යේ මහමෙවුනා උයනේ වැඩසිටින සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ ලෝ වැසි බොදු දනන්ගේ වන්දනීයත්වයට, පූජනීයත්වයට පාත්‍ර වූ බුද්ධ ප්‍රතිමා වහන්සේ නමකි.

බුදුරජාණන් වහන්සේ සමාධියට සමවැදී වැඩ සිටින අයුරු නිරූපණය කරන , සමාධි මුද්‍රාවෙන් යුතු මෙම පිළිම වහන්සේ උසස් ශිල්පියකුගේ නිර්මාණයකැයි විචාරකයෝ පවසති. දෙස් විදෙස් බොහෝ පිරිස් සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරූ තම නිවෙස්වල තබා ඇත්තේ සිත් පහන් කරවන ශාන්තමය සමාධිගත ඉරියව් නිසා ය.


විහාරාධිපති සද්ධම්ම කීර්ති ශ්‍රී මොරපිටියේ ධම්මානන්ද නාහිමි

එළැඹෙන 06 වැනි දින මොරපිටිය ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ දී නිරාවරණය වෙන්නේ ද එවන් අසමසම නිර්මාණයක් වූ සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුවකි.

උතුරෙන් පැලෑඳ ඓතිහාසික ප්‍රදේශයෙන් ද, දකුණින් සිංහරාජ මායිම් රක්ෂිතයෙන් ද, නැඟෙනහිරින් සබරගමු කඳුවැටියෙන් ද, බස්නාහිරින් කළුතර දිස්ත්‍රික්කයෙන් ද මායිම් වන මුහුදු මට්ටමින් මීටර් 30ක් උස් වූ මනරම් කඳුගැටයක නැඟෙනහිර පස්දුන් කෝරලේ මහාපත්තුව මොරපිටිය නම් ග්‍රාමයේ ශ්‍රී මහින්දාරාම විහාරස්ථානය පිහිටා තිබේ. කෝට්ටේ ව්‍යාඝ්‍රයා ලෙස විරුදාවලී ලත් වීදිය බණ්ඩාර කුමරු යුද්ධ කිරීමට පෙර මුරට සිටි ආරක්ෂක වළල්ල කඳවුරු බැඳී ප්‍රදේශය පසුකාලීන ව මොරපිටිය ලෙස ප්‍රචළිත විය.

බෞද්ධ ප්‍රජාවක් වෙසෙන මේ ග්‍රාමයේ විහාරස්ථානය සමඟ නිරන්තර සම්බන්ධතාවක් පැවැත්වූ දායක දෙපළකගේ මුනුබුරකු වූ සරිත් හරින්ද මේ බුද්ධ ප්‍රතිමා වහන්සේ නිර්මාණය කිරීමේ මහඟු‍ පින්කමේ දායකත්වය දරන්නේ ය. ඔහු ශ්‍රී ලංකා නීතිගත ඉංජිනේරු සංගමයේ සාමාජිකයෙකි.

අනුරාධපුර සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේගේ අනුරුවක් කළුගලින් නිර්මාණය කිරීමේ අදහස ද ඔහුගේ ය. ටොන් 15 පාෂාණයක් සමාධි බුද්ධ ප්‍රතිමාවක් බවට පත් කිරීමේ අභියෝගාත්මක සහ වෙහෙසකර කාර්යයට ඔහු නොපැකිළ ව අත ගැසුවේ ය. විහාරාධිපති සද්ධම්ම කීර්ති ශ්‍රී මොරපිටියේ ධම්මානන්ද නාහිමියෝ අවශ්‍ය මාර්ගෝපදේශ හා අනුශාසනා ලබා දුන්හ. මෙහිදී අභියෝගයක් වූයේ අනුරාධපුර සමාධි ප්‍රතිමා වහන්සේ නිර්මාණය කර ඇති සුදු පැහැති පාෂාණයට සමාන පාෂාණයක් සොයා ගැනීමයි. ඒ සදහා අවශ්‍ය මෙම සුදුපැහැති ග්‍රැනයිට් පාෂාණය සොයා ගන්නා ලද්දේ' නෙලු‍ව ප්‍රදේශයේ ගල් කොරියකිනි. ඝන මීටර් 7 කින් යුත් ටොන් 12 ක් බරැති කළු ගල් කුට්ටිය ශාන්ත පෙනුමින් යුත් බුද්ධ ප්‍රතිමාවක් බවට පත් කිරීම ඊළඟ අභියෝගය විය. ඉන්දියානු ගල් කැටයම් ශිල්පීන්ට නො දෙවෙනි ලෙස ඒ අභියෝගය ද ජය ගැනීමට ශ්‍රී ලාංකික ගල් කැටයම් ශිල්පී මිනුවන්ගොඩ මදුශංක මහතා ඇතුලු‍ ඔහුගේ සහායක ශිල්පීන් සමත් විය.


සරිත් හරින්ද

මොරපිටිය ශ්‍රී මහින්දාරාම විහාරස්ථානයේ ආරම්භක ප්‍රධාන දායක යුවළක් වූ ඔහුගේ මුත්තණුවන් හා මිත්තණිය, මෙන්ම මියගිය නෑදෑ හිතවතුන් සිහිකර පින්පෙත් පැමිණවීම ද මෙම මහඟු පින්කමේ එක් ප්‍රධාන අරමුණක් විය. මෙම පුණ්‍ය කටයුත්ත සඵල කර ගැනීම සඳහා විහාරවාසී නාභිත පොඩි හාමුදුරුවන් වහන්සේ ඇතුළු විහාරස්ථානයේ ස්වාමින් වහන්සේ ලබා දුන් සහාය මිල කළ නොහැකි ය.

මෙම මහඟු කර්තව්‍යය සඳහා වෙහෙස නොබලා සියලු ඉදිකිරීම් කටයුතුවල නිරත වූ වසන්ත මහතා ඇතුලු‍ පිරිස මෙන් ම අනුර සෙනවිරත්න මහතා ඇතුලු‍ සේවක කණ්ඩායම ද සිහිපත් කළ යුතු ය.

මෙම සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ බොදු දනන්ගේ වන්දනීයත්වයට විවෘත කෙරෙන දින විහාරස්ථ

සම්බුද්ධ මන්දිරය ද විවෘත කෙරෙන්නේ කඨින පූජා පින්කමට සමගාමීව ය.

අනුරාධපුරයේ සමාධි පිළිම වහන්සේ සියවස් ගණනාවක් දෙස් විදෙස් ජනතාවගේ සිත් පහන් කරමින් වැඩ සිටිනවා සේ ම මොරපිටිය ශ්‍රී මහින්දාරාම විහාරයේ සමාධි ප්‍රතිමා වහන්සේ චිරාත් කාලයක් මෙරට ජනතාවගේ සිත් සතන් පහන් කරමින් වැඩ සිටිනු දැකීම පින්බර ප්‍රාර්ථනාව ය.