Print this Article


බිය වෙන්න එපා අපට ඔය වගේ දුක් විඳීන්න වෙන්නේ නෑ

සාලෝහිත ජාතක කතාව ඇසුරිනි

බිය වෙන්න එපා අපට ඔය වගේ දුක් විඳීන්න වෙන්නේ නෑ

අයියා ගේ නම මහා ලෝහිත ය. මල්ලී ගේ නම චුල්ල ලෝහිත ය. දෙදෙනා ම ගොන්නු ය.

සහල් පිරවූ විශාල ගැලක් දිනපතා යොදුන් හතරක් දුර ගමක සිට බරණැස් නුවරට ඇදැගෙන ඒම උන්ට බාර ව තිබිණ. ගමට යන විට ද ගැමියනට අවශ්‍ය බඩුවලින් ගැල පිරවේ. නමා ගත් හිසින් යුතුව දෙපසට පැද්දෙමින් මහ බරක් ගෙන යන ඒ ගමන හැර වෙනත් ජීවිතයක් උන්ට නැත.

යොදුනක් ගිය විට උන්ට ගැල පදවන්නා ගෙන් විවේකය ද, පිදුරු ද, වතුර ද ලැබේ. හෝරාවකට පසු යළි ගමන ඇරැඹේ. බරණැස ස්වාමියා ගේ නිවසට පැමිණි පසු පැය කීපයක නිවාඩුවක් උන්ට හිමිවේ. නිවසේ මෙහෙකරුවන් දිවා කාලයේ කැපූ තණ කොළ උන්ට කෑමට ලැබෙන්නේ සැඳෑවේය.

"අනේ අපට මේවා දවාලට කන්නට ලැබෙනවා නම්! නැවුම් රහට කන්නට පුළුවන්. මේවා වේළිලා." චුල්ල ලෝහිතට කියැවෙයි.

''මේවා එ තරම් මැ නරක නැහැ. තාම නැවුම් රහ තියෙනවා."

මහා ලෝහිතට කියැවෙයි.

"අයියාට ඉතින් හැම දේම හොඳයි නේ"

මල්ලී ගේ සිත වේදනාවෙන් පිරෙයි. වමාරා කමින් දෑස පියා ගනී.

"මේ මිනිස්සු අපට හවසට කුඩු දෙනවා. උදේටත් කුඩු දෙනවා. අතර මගදීත් කුඩු දෙනවා. නුඹට ඒවා මතක නැහැ."

මහා ලෝහිත කී ය.

චුල්ල ලෝහිත සුසුමක් හෙළුවේ ය.

ගමට ගිය දාට නම් අලුත් තණ කොළ ලැබේ. හැන්දෑවේ ගැල් කරුවා ගැලෙන් මුදා ගත් ගවයන් තණ පිටියකට ගෙන යයි. ලඳුවල තණ උළා කෑම සතුටකි. මහා ලෝහිත මෙන් ම චුල්ල ලෝහිත ද ගමේ ගෙවන පැය කීපයට සතුටු ය.

දිනක් බරණැස ස්වාමියා ගේ නිවසට ඌරු පැටියකු ලැබිණ. ස්වාමියා ගේ කුඩා පුතු ඌරු පැටියා සමග ගෙමිදුලේ තරගයට දුවමින් සිටිනු චුල්ල ලෝහිතට පෙනිණ.

"අපේ ගෙදරට ඔන්න ඌරු නාම්බෙක් ගෙනැල්ලා"

චුල්ල ලෝහිත අයියාට කී ය.

අයියා කිසිවක් කීවේ නැත.

ස්වාමියා ගේ දුව ද ඌරු පැටියා දෙස බලා සිටියේ සිනාසෙමිනි.

"අනේ හරි සුරතල් සතා."

ඇය කීවා ය.

දිනක් හැන්දෑවේ ගමේ සිට සහල් පැටවූ මහ ගැලක් ගෙන ආ ගොනුන් දෙදෙනාට ස්වාමියා ගේ දුව ඌරු පැටියාට කැඳ පොවනු පෙනිණ.

චුල්ලලෝහිත ගේ සිත රිදිණ.

"අර කෙල්ල ඌරු තඩියාට කැඳ පොවනවා."

චුල්ල ලෝහිතට කියැවිණ.

"අහක බලා ගනින්."

මහා ලෝහිත කී ය.

"අපට හරිම මහන්සියි. අපි කොච්චර වැඩ කරනව ද? අපට හම්බ වෙන්නෙ පිදුරුයි කුඩුයි වතුරයි."

"කෑ නොගහ හිටපන්. අපට ඔය ලැබෙන ටික හොඳට ම ඇති."

බත්, කැඳ, එළවළු පමණක් නොව පලතුරු පවා ඌරු පැටියාට ලැබෙනු චුල්ල ලෝහිතට පෙනිණ.

“වැඩ කරන අයට නොවෙයි අද ලෝකෙ තැනක් තියෙන්නේ. වැඩ නොකරන කාලකන්නින්ට. චික්. මේ තක්කඩියා කොච්චර කනව ද? අපේ හාම් පුතා නම් මහ ම මෝඩයෙක්. නැත්නම් මොකට ද මූට මෙච්චර කෑම දෙන්නෙ?“

චුල්ල ලෝහිත අයියාගෙන් ඇසී ය..

“මම ඒක පස්සෙ කියන්නම්,“

අයියා කී ය.

ඌරු පැටියා ඉක්මනින් වැඩිණ. තෙල් බේරෙන උගේ සිරුර දුටු ගැල් කරුවා ද කෙළ ගිල්ලේ ය.

දවසින් දවස ඌරාට දෙන කෑම ප්‍රමාණය වැඩිවන බව පෙනිණ. ඌ ගේ පා සතරට ඌ ඔසවා ගෙන යාම ද අපහසුවන බව පෙනිණ.

විශාල කැඳ බඳුනක ඌරා සිය හිස සිර කැර ගෙන සිටිනු දුටු ස්වාමියාගේ දුව මහ හඬින් සිනාසුණා ය.

ඇගේ කැකිරි පලන සිනාව, සතුට උතුරන මුහුණ, රන් වන් සිරුර, ඇයත් අර ඌරු පැටියා මෙන් ඉක්මනට වැඩුණු හැටි. මහා ලෝහිතට සිතිණ.

ගවයන් ගේ ස්වාමියා සිය නිවස අලුත්වැඩියා කැරැවූයේ ය. ගෙවුයන ද අලංකාර කැරිණ. සතියක පමණ සිට වැඩට පිටින් ද දැසි දස්සු පැමිණිය හ. ගැල් කරුට වෙනත් වැඩ පැවැරිණ. ගවයන්ට ද නිදහස ලැබිණ.

"මොකක් ද මේ වෙන්න යන්නෙ? ගෙදර හරි සද්ද බද්ද. ගෑනු මිනිස්සු පිරිලා."

ගාලේ ලැග සිටින චුල්ල ලෝහිත ඇසී ය.

මහා ලෝහිත ඈනුමක් ඇර හිස එසැවූයේ ය.

ඌරාට හොඳට කෑම දීම ගැන නුඹ අමනාපයෙන් සිටියා නේ ද? ඒ ගැන කිසිවක් නොකියා මා පසුව කියන්නම් කිව්වා නේද? දැන් ඔන්න ඒක කියන්න කාලය ඇවිත්'

මහා ලෝහිත කී ය.

"අයියා මට ඉවැසිල්ලක් නැහැ. දැන්වත් ඒක කියන්න.''

"මේ ගෙදර මංගල්‍යයක් පවත්වන්න යනවා. අපේ හාම් පුතා ගේ දුව දීග දෙන්න වාගෙයි. මේ සූදානම් වෙන්නේ ඒ උත්සවයට.

"ඌරාගෙ කෑමයි, මේ මංගල්‍යයයි අතර තියෙන සම්බන්දෙ මොකක් ද?''

''ඇතැම් විට හෙට ම ඒක අපට පෙනේවි."

හෙට දවස උදා වූයේ මහා හඬක් ද සමඟ ය. ගවයෝ දෙදෙනා ම උඩ ගොස් බිම වැටුණ හ.

''අර ඌරු තඩියාගේ කෑ ගැහිල්ල නේද?''

චුල්ල ලෝහිත සිය අයියාට ළං වෙමින් ඇසී ය.

''ඔව් තව ටික වේලාවක් ඌ කෑ ගහවි. ඊට පස්සේ සදහට ම ඒ කෑ ගැහිල්ල නතර වේවි. ඌට හොඳම කෑම දුන්නෙ ඌ ඉක්මනට මහත් කැර ගන්න. පොඩි ඌරා ඉක්මනින් ම තඩි ඌරෙක් වූණා. හෙට මේ ගෙදරට එන මිනිසුන් සන්තෝෂ වෙන්නෙ ඔය ඌරාගේ මස්වලින්. ඇහෙනව නේද සද්දෙ උගේ කට අරවලා උණු වතුර වත් කරනවා. පැහිදාන උණු වතුර. ඇඟ ඇතුළ පිරිසුදු වුණාට පස්සෙ ඌට තළල ඌගේ බෙල්ල කපනවා. ඌ මැරෙන්නෙ මහා වධයක් විඳල. පසුගිය දවස්වල හොඳට කෑම ලැබුණෙ මොකද කියල දැන් ඌට තේරෙනවා ඇති. ගෙදර මගුලක්. ඒක අර ඌරාට අවමඟුලක්.''

චුල්ල ලෝහිත ගේ ඇඟ වෙවුලන්නට විය.

''බය වෙන්නට එපා. අපට ඔය වගේ දුක් විඳීන්න වෙන්නෙ නැහැ. හැබැයි ඉතින් අපට ලැබෙන්නෙ නම් පිදුරුයි තණ කොළයි කුඩුයි විතරයි.''

ඌරා ගේ හඬ නෑසී ගියේ ය.

පසු දා අමුත්තන් විශාල පිරිසක් පැමිණිය හ. ගුණ කියමින් රස කරමින් ඔවුහු ඌරු මස් කෑහ. දැසි දස්සු ගාල අසලට පැමිණ ඌරු මස් බුදිනු මහා ලෝහිතට සහ චුල්ල ලෝහිතට පෙනිණ.