Print this Article


දෙවියන්ගේ පිහිට ලැබෙන්නේ තිසරණ සරණ ගිය සිල්වතුන්ටයි

දෙවියන්ගේ පිහිට ලැබෙන්නේ තිසරණ සරණ ගිය සිල්වතුන්ටයි

තථාගත සම්මා සම්බුදු රජාණන් වහන්සේ මේ ලෝකයට පහළ ව දෙවි මිනිසුන්ට දුකින් නිදහස් වීමේ මාර්ගය දේශනා කොට වදාළා. මිනිස් ලෝකයේ අප වගේම දෙව් ලොව දෙවියන් ද මේ ශ්‍රී සද්ධර්මයට කැමැතියි. ඒ දෙව් පිරිස් පෙර ජීවිතවල දී ශ්‍රද්ධා, සීල, ශ්‍රැත, ත්‍යාග පඤ්ඤා ආදී ගුණධර්ම දියුණු කර මරණින් මතු දිව්‍ය සැප සම්පත් විඳීමින් සිටිනවා. එවන් දෙව් දුවක් පිළිබඳ විස්තර කෙරෙන කතාවකි මේ.

කේසකාරී ඇගේ නම යි. ඇය කසී රටේ ජීවත් වුණා. බරණැස ඇය උපන් ගම යි. ඒ දිනවල භාග්‍යවතුන් වහන්සේ බරණැස් නුවර ඉසිපතන මිගදායේ වැඩ විසුවා. එක් දිනක් බොහෝ භික්ෂූන් වහන්සේලා පිණ්ඩපාතය සඳහා ගමට පිටත්වූවා. කේසකාරී‌ගේ නිවස ඉදිරිපිටටත් වැඩම කළා. කේසකාරී ඉතාමත් ඥානවන්ත තරුණියක්. ඇය මීට පෙර භික්ෂූන් වහන්සේලා දැක තිබුණේ නැහැ. උන්වහන්සේලා වඩින මඟ ඇය ප්‍රීතියෙන් බලා සිටියා.

"මේ භික්ෂූන් වහන්සේලා දැකීමෙන් සිත ප්‍රීතියට පත්වෙනවා. බිමට යොමු කර ගත් දෑසින් වඩින මේ උතුමෝ කවුරු ද? සිල්වත් පින්වත් මේ උතුමන්ට ගිහි ගෙදර කලකිරුණේ කුමන කරුණක් නිසා ද? මේ උතුමෝ මේ තරුණ වියේ දී ම පැවිදි වූයේ කා වෙනුවෙන් ද?" ආදී කුතුහලයෙන් යුතු ව ඇයගේ මව වෙත ගොස් මෙසේ අසා සිටියා.

"මෑණියනි, මේ භික්ෂූන් වහන්සේලා ඉතා මනෝභාවනීය යි. රූමත්. හැමගේ ම ප්‍රසාදය ලබන පැවිදි උතුමන් පිරිසක්. සැමගේ ම ප්‍රසාදය ලබනවා. මේ භික්ෂූන් වහන්සේලා හැමෝ ම තරුණ වයසේ නේද පසුවන්නේ? මේ උතුමෝ කුමන හේතුවක් නිසා ගිහි ගෙදර හැර දමා තරුණ වියේ දී ම පැවිදි වූවා ද?"

"දියණිය, ශාක්‍ය වංශයේ පුත්‍රයෙක් ගිහි ගෙදරින් නික්මිලා පැවිදි වී බුද්ධ නමින් ශාස්තෘන් වහන්සේ නමක් ලෙස ලොවට පහළ වෙලා. ඒ බුදුරජාණන් වහන්සේ මුල, මැද, අග යහපත් අර්ථ සහිත ධර්මය දේශනා කරනවා. උන්වහන්සේ දෙවි, මිනිසුන්ට මේ සංසාර දුකෙන් එතෙර වීමටයි කියා දෙන්නේ. සියලු සත්ත්වයන් කෙරෙහි අප්‍රමාණ දයාවකින් වාසය කරන්නේ. ඒ බුදුරජාණන් වහන්සේගේ ගුණ අනන්ත යි. අප්‍රමාණ යි. උන්වහන්සේ වෙත අප්‍රමාණ කරුණාව, දයාව, ඉවසීම තිබෙනවා. නිතර ම මෙත් සිත පතුරවමින් වාසය කරන්නේ. සියලු අකුසල් දුරුකර රාග, ද්වේශ, මෝහ ප්‍රහානය කර සියලු කෙලෙසුන්ගෙන් නිදහස් වූ උත්තමයෙක්. මේ බ්‍රහ්මචාරී පැවිදි පිරිස ඒ භාග්‍යවතුන් වහන්සේ උදෙසා පැවිදි වී සිටින්නේ."

ඔවුන් අසල සිටියා මගඵල ලාභී එක් උපාසකයෙක්. ඒ කේසකාරීගේ මව ඔහුගෙන් මෙසේ අසනවා

"උපාසකතුමනි, මේ කාලයේ බොහෝ කුල පුත්‍රයන් මහත් වූ වස්ත්‍ර ද, බොහෝ නැදෑ පිරිස ද, නම්බුනාම සිටු තනතුරු ද හැරදමා බුදුරජාණන් වහන්සේ ළඟ පැවිදි වෙනවා. එසේ පැවිදි වීමෙන් ඔවුනට වන යහපත කුමක් ද? බොහෝ සැප සම්පත් විඳීමින් ගිහි ගෙදර වාසය කිරීමට අවස්ථාව තිබිය දී ඒ සියල්ල අතහැර දමා පඬු සිවුරු දරාගෙන, මැටි පාත්‍ර ගෙන පිණ්ඩපාතයෙන් ලැබෙන කටුක ආහාර වළඳමින් මෙවැනි ජීවිතයක් ගත කරන්නේ ඇයි? ඔවුන් සොයන්නේ මොනවගේ සැනසීමක් ද? ඒ පිරිස සොයන සැනසීම භාග්‍යවතුන් වහන්සේ ළඟ තිබෙනවා ද?"

"දියණිය, මා දන්නා ආකාරය ඔබට කියා දෙන්නම්" කියා උපාසකතුමා මෙසේ විස්තර කළා.

"මේ පැවිදි උතුමෝ පංචකාමයෙහි ආදීනව දකිමින්, පැවිදි ජීවිතයේ අනුසස් දකිමින් වාසය කරන්නේ. තුනුරුවන කෙරෙහි අප්‍රමාණ ශ්‍රද්ධාවකින් වාසය කරන්නේ. ඒ වගේ ම සිල්පද මනා ලෙස රැකීම නිසා ප්‍රසන්න ව ප්‍රමුදිත ව වාසය කරනවා."

"උපාසකතුමනි, ඔය ආකාරයට තුනුරුවන් සරණ යාමෙන් ඒ යහ ගුණ අපටත් ඇතිකර ගත හැකිද? " කියා කේසකාරී ඇසුවා.

උපාසකතුමා,

"දියණිය, එය එසේ ම යි. ඔබත් අද පටන් තුනුරුවන් සරණ ගොස් ඒ ලාභය ලබා ගන්න"

කියා ඇය තිසරණයෙහි සහ සිල්පදයන්හි සමාදන් කරවූවා.

"උපාසකතුමනි, තිසරණය සමාදන් වීමට අමතර ව තවත් යමක් කළ යුතු ද?" කේසකාරී ඇසුවා

"දියණිය ඔබ ඉතාම ප්‍රඥාවන්ත යි. ධර්මාවබෝධයට සුදුසුකම් තිබෙනවා. එනිසා ඔබ මෙසේ සිහි කරන්න. මේ ශරීරයේ තිබෙන කුණුප කොටස් තිස් දෙක නුවණින් මෙනෙහි කරන්න. කයට තිබෙන ආශාව දුරුකර දමන්න. වෙනස් වෙමින් පවතින මේ ශරීර ස්වභාවය පිළිබඳ අනිත්‍ය දකින්න" යැයි විදර්ශනා මාර්ගය කියා දුන්නා.

ඇය ඒ ආකාරයට අනිත්‍ය මෙනෙහි කළා. විදර්ශනා වැඩුවා පිළිකුල් වැඩීම තුළින් සිත සන්සුන් වුණා. සිල් ගුණදම් දියුණු කළා. ඇය ටික කලකින් සෝවාන් ඵලයට පත්වුණා.

කලකට පසු ඇය කලුරිය කළා. මරණින් මතු ඇය සක්දෙවිඳුගේ භවනෙහි පරිචාරිකාවක ලෙස උපත ලැබුවා. අප්සරාවන් ලක්ෂයක් පිරිවරා සිටියා.

කේසකාරී දෙව්දුව දුටු සක් දෙවිඳු අසනවා, "පින්වත් දෙව්දුව ඔබ අලුතෙන් මේ ලෝකයට ආවේ. මනුස්ස ලෝකයේ දී මොන වගේ පිනක් කරලා ද මේ අලංකාර දිව්‍ය විමානය පහළ වුණේ?"

ඒ දෙව්දුව කියනවා "සක් දෙවිඳුනි, මේ දිව්‍ය විමානය හරිම සිත්කළු යි. ප්‍රභාෂ්වර යි. වෛරෝඩි මාණික්‍යවලින් මේ විමානය සකස් වී තිබෙන්නේ. රනින් කළ වෘක්ෂයන්ගෙන් හැම තැනම සුන්දර වී තිබෙන්නේ. මගේ පුණ්‍ය කර්මයක විපාකයක් ලෙස මෙම විමානය පහළ වුණේ."

"දෙව්දුව සුපුන් සඳ රැස් විහිදා බබළනවා. එවිට තරු එළියෙන් වැඩක් නැහැ. ඒ සඳ මඬලමයි බබළන්නේ. ඔබත් ඒ වගේම යි. මේ අප්සරාවන් පිරිවරාගෙන දිලිහි දිලිහී යසසින් බබළනවා. පින්වත් දෙව්දුව, ඔබේ දර්ශනය අලාමක යි. මේ විමානයට ඔබ පහළ වූයේ කවර ලෝකයකින් චුත වෙලා ද?"

කේසකාරී දෙව්දුව කියා සිටියා

"සක්දෙවිඳුනි, ඔබ මගෙන් ඇසුවේ මේ දෙව්ලොවට මම ආවේ කවර ලෝකයකින් චුත වෙලා ද?" කියලා. "කසී රට බරණැස කියා නගරයක් තිබෙනවා. ඒ නගරයේ දුවක් වෙලා මම හිටියේ. බුද්ධ, ධම්ම, සංඝ රත්න කෙරෙහි මගේ සිතේ පැහැදීමක් තිබුණා. ඒ ශ්‍රද්ධාව ස්ථිර එකක්. මම සැක රහිතවයි සිටියේ. නො කඩ කොට සිල්පද රැක්කා. සෝවාන් ඵලයට පත් මම නියත ලෙස නිවන අවබෝධ කරන කෙනෙක්."

එවිට සක් දෙවිඳු

"දෙව්දුව, ඔබ ඒ අරහත් සම්මා සම්බුදුරජාණන් වහන්සේ පිළිබඳවත් ශ්‍රී සද්ධර්මය ගැනත් ශ්‍රාවක සඟ රුවන ගැනත් සිතේ ලොකු පැහැදීමක් ඇතිවයි ඉන්නේ. ඒ ශ්‍රද්ධාව ස්ථිර එකක්. අප ඔබගේ පැමිණීම සතුටින් පිළිගන්නවා".

යැයි කියා සිටියා.

මේ කතාව පසු කාලයක දී සක් දෙවිඳු මුගලන් මහ රහතන් වහන්සේට ප්‍රකාශ කළා. උන්වහන්සේ භාග්‍යවතුන් වහන්සේට ඒ පුවත කියා සිටියා. භාග්‍යවතුන් වහන්සේ මිනිසුන්ගේත්, දෙවියන්ගේත් හිතසුව පිණිස එය නැවත දේශනා කොට වදළා.