Print this Article


සසුන් කෙත බැබළවූ මහා යතිවරයන් වහන්සේ

සසුන් කෙත බැබළවූ මහා යතිවරයන් වහන්සේ

සමානාත්මතා ගුණය ප්‍රකට කළ මහ තෙරනමක්

ශ්‍රී ලංකා අමරපුර මහ නිකායේ උත්තරීතර මහා නායක කල්‍යාණිවංශ කීර්ති ශ්‍රී වංගීසවංසාලංකාර විපස්සනා කම්මට්ඨානාචරිය දොඩම්පහල චන්දසිරි මහා නාහිමි

කැලණිය, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, අග්ගමහා සද්ධම්මජොතිකාධජ, ත්‍රිපිටක, වාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය ධුරන්ධර වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ අපවත්වීම සම්බුදු සසුනට සිදුවූ බලවත් පාඩුවකි.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන මූලික කර ගනිමින් සුවිශාල ධර්ම ශාස්ත්‍රීය සේවයක් සිදුකළ නාහිමිපාණන් වහන්සේ නමක ලෙස වැලමිටියාවේ කුසලධම්ම ස්වාමීන්ද්‍රයන් වහන්සේ හැඳින්විය හැකි ය.

මෙරටේ ප්‍රධාන ආගමික කමිටුවල නිලතල දරමින් එම පදවි ශෝභාවත් කිරීමට වැලමිටියාවේ කුසලධම්ම නාහිමියන් ක්‍රියා කළ ආකාරය ආදර්ශවත් ය. සමස්ත ලංකා ශාසනාරක්ෂක මණ්ඩලයේ සභාපතීන් වහන්සේ ලෙස මෙරට බොදු දරුවන්ගේ දහම් අධ්‍යාපනය සුපෝෂණය කිරීමෙහිලා කුසලධම්ම නාහිමියන්ගෙන් සිදුවූ සේවය ප්‍රශස්ත ය.

ජාතික, ආගමික, සාමාජික, සංස්කෘතික ප්‍රශ්නවල දී නිර්භයව අදහස් ප්‍රකාශ කළ උන්වහන්සේ මෙ රටේ ආරක්ෂාව කෙරෙහි දැඩි අවධානයෙන් ක්‍රියා කළ නාහිමිනමකි. අප කල්‍යාණමිත්‍ර නාහිමිපාණන් වහන්සේ තුළින් විද්‍යාමාන වූ සුවිශේෂී ගුණාංගයක් වූයේ නිරහංකාර, නිර්ව්‍යාජ බවයි.

බුදු වදන් සුමට ලෙස විවරණය කළ චතුර ධර්ම දේශකයකු වශයෙන් හා රට දැය සමය වෙනුවෙන් තම පිළිගත් මතය නොබා පළකළ සමාජ ශෝධකයකු වශයෙන් ද කුසලධම්ම නාහිමියන් හැඳින්විය හැකි ය.

ලංකා ශාසනාම්භරය ආලෝකවත් කළ අපවත් වී වදාළ කැලණිය, පෑලියගොඩ විද්‍යාලංකාර පරිවෙණාධිපති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, අග්ගමහා සද්ධම්මජොතිකාධජ, ත්‍රිපිටක, වාගීශ්වරාචාර්ය, උපාධ්‍යාය ධුරන්ධර වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේට උතුම් නිවන් සුව අත්වේවායි ශ්‍රී ලංකා අමරපුර මහානිකායේ ස්ථවිර,මධ්‍යම, නවක සියලු දෙනා වහන්සේ වෙනුවෙන් ප්‍රාර්ථනා කරම්හ.

****

විදුලකර මාහිමි අභාවය සසුනට සිදුවූ බරපතළ පාඩුවක්

කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍රධර්ම මහා සංඝ සභාවේ මහානායක ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ කුලපති ආචාර්ය ඉත්තෑපාන ධම්මාලංකාර මහා නාහිමි

විද්‍යාලංකාර මහපිරිවෙන යනු වර්තමාන ශාසන පුනරුදයේ කේන්ද්‍රස්ථානයකි. අපගේ ගුරුභූමිය වන විද්‍යාලංකාරයේ වැඩ සිටි අපගේ ආචාර්ය ප්‍රාචාර්යයන් වහන්සේලා පිළිබඳව සිහිකරන විට අප හදතුළ ඇත්තේ බලවත් ගෞරවයකි. භක්තියකි. කුසලධම්ම නාහිමියනුත් මමත් එකම යුගයේ එකම පන්තියේ එකම කුටියේ සබ්‍රහ්මචාරීන් වහන්සේලා හැටියට කටයුතු කළ ආකාරය පිළිබඳව සිහියට නැගෙන විට අපට ඇති වනුයේ බලවත් සංවේගයකි.

රට දැය සමය වෙනුවෙන් ස්වකීය කාලය, ශ්‍රමය හා ධනය වැය කළ උන්වහන්සේ තෙරුවන් පිළිබඳ අසීමිත භක්තියකින් ද ස්වකීය ගුරු පරපුර පිළිබඳ අභිමානයකින් ද කටයුතු කළ අතර ලංකාවේ අස්සක් මුල්ලක් නෑර විහාරස්ථානවලට වැඩම කරමින් උදාර ශාසනික සේවාවක් සිදු කළහ. විදුලකර පිරිවෙන්පති ධූරය ලැබීමට තරම් පුරාකෘත පුණ්‍ය බල මහිමයකින් හෙබි උන්වහන්සේ අතිශයින් ම ත්‍යාගශීලී වූහ. කිසිදු නිකාය පාර්ශ්වය භේදයකින් තොරව පක්ෂ පාට භේදයකින් තොරව කටයුතු කළ උන්වහන්සේ නූතන ශාසන වංශ කතාවට එක්කරන ලද්දේ වටිනා මහා යතිවරයෙකුගේ කාර්ය භාරය යි.

 මේ අවස්ථාවේ කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමගී‍්‍ර ධර්ම මහා සංඝ සභාව අතිශය සංවේගශීලී වෙමින් උන්වහන්සේට අමා මහා නිවන් සුව ලැබේවායි ප්‍රාර්ථනා කරම්හ.

****

සම්බුද්ධ ශාසනයට ප්‍රතිපත්ති ගරුකව වැඩ කළ නේතෘවරයාණන් වහන්සේ නමක්

මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහ නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ අනු නායක / මහා ලේඛකාධිකාරී ශාස්ත්‍රපති පණ්ඩිත ඕමාරේ කස්සප අනු නාහිමි

අතිපූජනීය වැලමිටියාවේ ශ්‍රී කුසලධම්ම නාහිමිපාණන් වහන්සේ කලාතුරකින් පහළවන සංඝ නේතෘවරයාණන් වහන්සේ නමකි.

නිහතමානිත්වයේ ප්‍රතිමූර්තියක් ලෙස උන්වහන්සේගේ විශිෂ්ට ගුණාංගයන් අතර විශිෂ්ටයකු බව අගය කළ හැක.

පිරිපුන් ගුණාංගයන්ගෙන් හෙබි උන්වහන්සේ වැනි සංඝ පීතෘවරයාණන් වහන්සේලා වැඩසිටීමේ අවශ්‍ය යුගයක උන්වහන්සේගේ අපවත්වීම දැරිය නොහැකි මෙන්ම පිරිමැසිය නොහැකි ශාසනික පාඩුවක් වශයෙන් පෙන්වා දිය හැකි ය.

පටු නිකාය පාර්ශව භේදයකින් තොරව රටට, සම්බුද්ධ ශාසනයට ප්‍රතිපත්ති ගරුකව වැඩ කරන කවර ම භික්ෂුවක් සමඟ වුවද සහජීවනයෙන් යුතුව එසේම මනා ආගන්තුක සත්කාරයෙන් යුතුව කටයුතු කළ උන්වහන්සේ ඒ තුළින් ඊළඟ භික්ෂු සමාජයට ලබා දෙන්නේ විශිෂ්ට වූ ආදර්ශයකි.

අපවත්වී වදාළ නාහිමිපාණන් වහන්සේ පිළිබඳව ශෝක වන්නන් අතර මහා විහාර වංශික ස්‍යාමෝපාලි මහා නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාව ද සිටින බවත් අප සංඝ සභාවේ අතිපූජ්‍ය වැඩබලන මහනාහිමිපාණන් වහන්සේ ඇතුලු ත්‍රිංසත් වර්ගික විධායක කාරක සභාවේත්, තරුණ භික්ෂු සංවිධානයේත්, උපසම්පදා කාරක සභාවේත් සංවේගය මෙයින් පළ කරමින් උන්වහන්සේට අජරාමර නිවනින් සැනසීම අත්වේවායි ප්‍රාර්ථනා කරමි.

****

රටට ජාතියට ඉමහත් සේවයක් සිදු කළ පූජනීය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණෝ

ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය - ප්‍රංශය පරවාහැර චන්දරතන නායක ස්ථවිර

කැලණිය විශ්ව විද්‍යාලයේ කුලපති පෑලියගොඩ විද්‍යාලංකාර පරිවේණාධිපති කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අතිපූජනීය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන් වහන්සේගේ අපවත්වීම, මුළු මහත් ජාතියටත්, රටටත්, සම්බුද්ධ ශාසනයටත් විශාල හිඩැසක් ඇතිකරවන්නකි. දශක හයකට වඩා වැඩි කාලයක් ලෝක ශාසන සේවයෙහි නිරත වූ උන්වහන්සේ ජාත්‍යන්තර සම්මේලනවලට පවා සහභාගි වෙමින් බුදු දහම වෙනුවෙන් සුවිශාල කැපකිරීමක් සිදු කළහ. විශිෂ්ට ධර්ම කථිකයකු පමණක් නොව රට ජාතිය අනාගතය වෙනුවෙන් නොබියව අදහස් ඉදිරිපත් කළ උන්වහන්සේ විද්‍යාලංකාර සම්ප්‍රදාය මැනවින් ආරක්ෂා කරගත් යතිවරයාණන් වහන්සේ නමකි. 1875 වර්ෂයේ ශ්‍රීමත් රත්මලානේ ධර්මාලෝක යතීන්ද්‍රයාණන් වහන්සේ ආරම්භ කළ පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙනේ නවක සාමනේරයන් වහන්සේ නමක් වශයෙන්, කිරිවත්තුඩුවේ ශ්‍රී ප්‍රඥාසාර නාහිමිපාණන් වහන්සේ යටතේ ප්‍රවෘජා භූමියට පත් ව යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම වැනි සුපේෂල ශික්ෂාකාමී ශාස්ත්‍රඥයන් වහන්සේලාගේ ගුරුහරුකම් යටතේ පෝෂණය වූ අප කතානායකයාණෝ, 1989 වසරේ විද්‍යාලංකාර පිරිවෙන්පති බවට පත්වෙමින්, විද්‍යාලංකාර පරපුරේ වගකීම තම උර මතට රැගෙන කටයුතු කළ ආකාරය, අප කාගෙත් හිත්වල උන්වහන්සේ කෙරෙහි පැවති ගෞරවාදරය දෙගුණ තෙගුණ කරන්නට සමත්විය. සමාජයේ උගතුන් බුද්ධිතුන්, වියතුන් හා දක්ෂයින්, නිරතුරුව ම අඩුවක් නැතිව ඇගයීමට ලක් කිරීම උන්වහන්සේගේ පෞරුෂය තුළ පැවති උදාර ගුණයක් ලෙස හඟිමි.

විද්‍යාලංකාර පිරිවෙනින් බිහි වූ විද්‍යාලංකාර විශ්වවිද්‍යාලය හෙවත් වර්තමාන කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති ධුරය වසර ගණනාවක් තිස්සේ ම උසුලමින් නාහිමිපාණන් වහන්සේ ආදර්ශවත් සේවාවන් රැසක් ම සිදු කිරීමට කැප වූ බව අපි සියලු දෙනා දනිමු. ප්‍රංශයේ ජාත්‍යන්තර බෞද්ධ මධ්‍යස්ථානය සිදුකරන ජාතික ආගමික මෙහෙවර වෙනුවෙන් සැම කල්හිම අපට අනුශාසනා සිදු කළ උන්වහන්සේ, දෙවරක් ම ප්‍රංශයට වැඩම කොට අපගේ කටයුතු වෙනුවෙන් ආශිර්වාද කළහ. උන්වහන්සේ බිහිකළ ශික්ෂාකාමී සඟ පරපුරේ පූජනීය ස්වාමීන් වහන්සේලා වෙත අපගේ සංවේගය පළ කර සිටිමු. විද්‍යාලංකාර පිරිවෙනේ උන්නතිය දැක සතුටු වන, විද්‍යාලංකාර අරමුදලට සහභාගි වන හා විද්‍යාලංකාර සම්ප්‍රදායට ගරු කරන, ප්‍රංශයේ ජීවත් වන බෞද්ධ භික්ෂුවක් ලෙස මෙසේ මාගේ සංවේගය පළකර සිටිමි.

විද්‍යාලංකාර ශාඛා ප්‍රශාඛා දිවයිනේ දස අත විහිදුවා හරිමින් උගත්, බුද්ධිමත්, ජාති හිතෛෂි පරපුරක් රටට දායාද කිරීමට තම ජීවිත කාලය කැප කළ මල්වතු මහා විහාරීය කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක, පෑලියගොඩ විද්‍යාලංකාර මහ පිරිවෙන්පති, කැලණිය විශ්වවිද්‍යාලයේ කුලපති, සද්ධම්මජෝතික ධජ, අග්ගමහා පණ්ඩිත පූජනීය වැලමිටියාවේ කුසලධම්ම නායක මාහිමිපාණන් වහන්සේගේ අපවත් වීම පිළිබඳව ප්‍රංශය, අමෙරිකාව, ස්විට්සර්ලන්තය ඇතුළු සියලුම අමරිකානු යුරෝපීය මහා සංඝරත්නයේ හා දායක කාරකාදීන්ගේ සාතිශය සංවේගය ප්‍රකාශ කරමින් උන්වහන්සේට උතුම් වූ චතුරාර්ය සත්‍යය අවබෝධ වේවායි ප්‍රාර්ථනය කරමු.

****

දැයක් සුවඳවත් කළ ආදර්ශවත් සංඝ නේතෘවරයාණෝ

ශ්‍රී ලංකාවේ ගම්දනව් සිසාරා වැඩමවමින් මහජන සේවයට කැපවුණු, ශාසනයේ චිරස්ථිතිය සඳහා දිවා රෑ වෙහෙසුණු, ධර්මගරුක විනයගරුක ශාසනමාමක භික්ෂු පිරිසක් සකසා බුදුසසුනට දායාද කිරීමට තම ශ්‍රමය ධනය කාලය ඥානය කැප කළ, ධර්මධර විනයධර ශ්‍රද්ධා සම්පන්න ආදරය කරුණාව දයාව දසත විහිදුවමින් ඒ ගුණ සුවඳීන් දැයක් සුවඳවත් කළ අතිගරු වැලමිටියාවේ කුසලධම්ම නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ආදර්ශවත් සංඝ නේතෘවරයාණ කෙනෙකි.

උන්වහන්සේ ගේ පාණ්ඩිත්‍යයත්, අත්දැකීම්වලින් පිරිපුන් පරිණත බවත්, විචක්ෂණ බුද්ධිමත් තීරණ ගැනීමේ හැකියාවත් නිසා ශ්‍රී ලංකා රාජ්‍යයටත්, පණ්ඩිත විද්වත් සභාවලටත්, උපදේශක මණ්ඩලවලටත්, කොමිසන් සභාවලටත් උන්වහන්සේ නැතුව ම බැරි ස්වාමීන් වහන්සේ කෙනෙක් වූහ.

පෑලියගොඩ විද්‍යාලංකාර පිරිවෙන, පන්නිපිටිය විද්‍යාලංකාර පිරිවෙන, දෙමටගොඩ විද්‍යාලංකාර පිරිවෙන යන විද්‍යාලංකාර පිරිවෙන්වල ආධිපත්‍යය දරමින් රටට ජාතියට සමාජයට ආගමට විශාල මෙහෙවරක් සැපයු කොළඹ හලාවත දෙදිසාවේ ප්‍රධාන සංඝනායක අග්ගමහා සද්ධම්මජෝතිකධජ ආචාර්ය වැලමිටියාවේ කුසලධම්ම නාහිමිපාණන් වහන්සේට නිවන් සුව ලැබේවා.

බුද්ධශාසන අමාත්‍යාංශයේ බෞද්ධ කටයුතු දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වන සංක්ෂිප්ත ත්‍රිපිටක ග්‍රන්ථ සම්පාදක මණ්ඩලයේ උපදේශක සභාව නියෝජනය කරමින් අප මණ්ඩලයට උන්වහන්සේගෙන් ලැබුණු සහයෝගය පුණ්‍යානුමෝදනා පූර්වක ව අපි මෙහි දී විශේෂයෙන් සිහිපත් කරමු.