Print this Article


බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ

බුදුරජාණන් වහන්සේගේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ

බුදුරජාණන් වහන්සේ සමඟ භික්ෂූන් වහන්සේ පන්සියයක් පමණ සදහම් චාරිකාවෙහි යෙදුන සේක. එකල ත්‍රිවේධයෙහි පරතෙර පැමිණි, නොයෙක් විෂයයන් පිළිබඳ මනා දැනුමක් ඇති, විශේෂයෙන් මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයෙහි විශේෂඥ, බ්‍රහ්මායු නම් විසි එක් හැවිරිදි උගත් බමුණු පඬිවරයෙක් මිථිලා නම් නගරයෙහි වාසය කළේ ය.

මේ අනුව බුදුරජාණන් වහන්සේ චාරිකාවේ යෙදෙන බවට බ්‍රහ්මායු බමුණු පඬිවරයාට දැන ගන්නට ලැබිණ. නව අරහාදී බුදු ගුණයෙන් යුක්ත වූ භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ දැක ගන්නට ඇත්නම් ඉතා මැනවයි බමුණු පඬිවරයාට සිතිණ. බ්‍රහ්මායු බමුණු පඬිවරයාට එතුමා සේ ම දැන උගත් උත්තර නම් ශිෂ්‍යයෙක් විය. පඬිවරයා තම ශිෂ්‍යයා කැඳවූයේ ය.

"දරුව, බුදුරජාණන් වහන්සේගේ යසස, කීර්තිය දස දෙස පැතිර ඇත. ඔබ උන්වහන්සේ හමුවට යන්න. උන්වහන්සේ සතු වනවා යැයි කියන දෙතිසක් පුරුෂ ලක්ෂණ ඇත්ත වූවක් ද, එසේත් නැති නම් නැති දෙයක් ඇතැයි වංචාවෙන් පෙන්වීමෙන් ඇති වූ කීර්ති ඝෝෂාවක්දැයි පරීක්ෂා කරන්න. අප දන්නා මහා පුරුෂ ලක්ෂණ ශාස්ත්‍රයට අනුව දෙතිසක් මහා පුරුෂ ලක්ෂණ සියල්ල යමකු සතු වේ ද, ඔහු ගිහි ගෙයි වාසය කළහොත් සක්විති රජ වීමට නියමිත ය. ගිහි ගෙය හැර පැවිදි වුවහොත් කෙලෙස් නසා අර්හත් සම්මා සම්බුදු වන්නේ ම ය."

යැයි බ්‍රහ්මායු පඬිවරයා ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණ සියල්ල බුදුරජාණන් වහන්සේ සතු වේ දැයි පරික්ෂා කොට පැමිණෙන්නැයි කියා උත්තර මානවකට බාර කළේ ය.

ගුරුතුමාගේ අණට කීකරු වූ උත්තර මානවක, ගුරුවරයාට වැඳ සමුගෙන බුදුරජාණන් වහන්සේ සමීපයට ගියේ ය. උන්වහන්සේ වෙත ගොස් වැඳ එකත්පස්ව හිඳගෙන සම්බුදු සිරුරෙහි මහා පුරුෂ ලක්ෂණ එකින් එක පරීක්ෂා කරන්නට විය. මේ අනුව පුරුෂ ලක්ෂණ දෙකක් හැර අනෙක් පුරුෂ ලක්ෂණ ඔහු දුටුවේ ය. උත්තර මානවකයා බුදුන් වහන්සේගේ පුරුෂ ලක්ෂණ පරීක්ෂා කරන බව දුටු බුදුරජාණන් වහන්සේ, ඔහු ලකුණු දෙකක් හැර අනෙක් ලකුණු දුටු බවත්, ඒ දෙක හැර පිළිබඳව සැක කරමින්, විමතියට පත්වෙමින්, නො පැහැදීමෙන් සිටින බවත් දැන ඒ ලකුණු දෙක ද ඔහුට පෙනෙන සේ සෘද්ධියක් කළ සේක.

තම ගුරුවරයා සඳහන් කළ පරිදි බුදුරජාණන් වහන්සේ දෙතිසක් මහා පුරුෂ ලක්ෂණවලින් යුක්ත බව උත්තර මානවක දැන ගත්තේ ය. ගුරුවරයා සඳහන් නො කළ ද වෙන යමක් පිළිබඳ ගුරුවරයා ප්‍රශ්න කළහොත් එයට පිළිතුරු දීම ද අවශ්‍ය වන බැවින් බුදුරජාණන් වහන්සේගේ ක්‍රියාකලාපය පිළිබඳ ව, යන එන තැන්වල කරන ලද දේශනා විලාසය පිළිබඳ පරීක්ෂණයක් කළ යුතු යැයි සිතීය. ඒ අනුව පුරා සත් මසක් පර්යේෂණයක යෙදුණේ ය. එම නිසාම උත්තර මානවකට බුද්ධ පරීක්ෂක, බුද්ධ විමංසක යන අන්වර්ථ නාමයන් පටබැඳුණු බව අටුවාවල සඳහන් වේ. මේ අනුව උත්තර මානවක සත් මසක් පර්යේෂණයෙන් පසු තම ගුරුතුමා වෙත ගොස් බුදුරජාණන් වහන්සේ පිළිබඳ ව ඇති වී තිබෙන කීර්ති රාවය ඇත්ත වූ ම දෙයකින් හට ගත්තක් බව පැවසීය.

මේ අනුව දීඝ නිකායේ ලක්ඛණ සූත්‍රයෙහි අන්තර්ගත වන්නේ ලක්ෂණ ශාස්ත්‍රයට අනුකූල ව පුරුෂයන්ගේ රූප ලක්ෂණ හඳුන්වන ආකාරයයි. දෙතිස් පුරුෂ ලක්ෂණයන් හඳුන්වන විට පුරුෂයන්ගේ දෙපතුලින් ආරම්භ කොට අනුපිළිවෙළින් හිස දක්වා විස්තර කෙරේ. එම නිසා මේ චාරිත්‍ර ධර්මයට අනුකූල ව බුදුරජාණන් වහන්සේගේ මහා පුරුෂ ලක්ෂණ විස්තර වන්නේ ශ්‍රී පතුලේ සිට සම්බුදු සිරස දක්වා වූ අනුපිළිවෙළිනි,

සුප්පතිට්ඨිතපාදො - මනාව පිහිටි පාද ඇත්තේ ය

චක්කානි ජාතානි - යටිපතුල්හි මඟුල් ලකුණු ඇත

ආයතපණ්හි - දික් වූ විලුඹ ඇත

දීඝංගුලි - පිරිපුන් දික් වූ ඇඟිලි ඇත

මුදුත එන හත්ථපාදො - ඉතා මෘදු අත් පා ඇත

ජාලහත්ථ පාදො - නම්‍යශීලී අත් පා ඇත

උස්සංඛපාදො - පා වල ගොප් ඇත. ඉහළින් පිහිටා ඇත

ඒණි ජංගතා - ඕලු මුවකුගේ බඳු කෙණ්ඩා ඇත

ආජානුලම්බි හත්ථනා - සිටි වනම නොනැමී දෙ අත්ලෙන් දෙදණ ස්පර්ශ කිරීමේ හැකියාව ඇත

කෝසෝහිත වත්ථගුය්හෝ - කෙමියක බහාලු පුරුෂ නිමිත්ත ඇත

ස්වර්ණවණ්ණො - ශ්‍රී දේහය රන්වන් පැහැ ඇත

සුඛුමච්ඡවි - ඉතා සියුම් සම නිසා ශරීරයේ දාඩිය, තෙල්, කුණු නොඇලේ.

ඒකේකලෝමෝහෝති - එක් ලෝම කූපයක එක් ලෝමයක් පමණක් පිහිටීම

උද්ධග්ගලෝමෝ - ලෝම දකුණට කරකැවී උඩට හැරී පිහිටා ඇත. දෙබැම අතර ඌර්ණ රෝම ධාතුව පිහිටා ඇත.

බ්‍රහ්මුජ්ජුගත්තෝ - බ්‍රහ්මයකුගේ මෙන් සෘජු ශරීරයක් ඇත

සන්තුස්සදතෝ - පිටි අතුල්, පිටි පතුල් දෙක, උරහිස් දෙක, කොන්ද යන සත් තැනම තථාගත ශරීරයේ ඇත. නහර මතු නොවී පිහිටා තිබීම

සීහ පුබ්බද්ධ කායො - තථාගත ශරීරය සිංහයාගේ ඉදිරි ශරීරය මෙන් හැම තැනම පිරිපුන් ය

චිත්තන් රාසො - පිටෙහි වූ පිරිපුන් මාංශ ඇත

නිග්‍රොධපරිමණ්ඩලො - සමව පිහිටි ශරීරය, උස පමණට ගැලපෙන මහතින් යුතු බව

සමවත්තක්ඛන්ධො - මනාව වට වූ ගෙල කතා කිරීමේදී නහර හෝ උගුරු ඇටය මතු නොවී මිහිරි හඬ නැගේ

රසග්ග සග්ගි - මුඛයට තබන ලද ඉතාම සුළු ආහාරයක වුව ද රස සකල ශරීරයෙහි පැතිරීම

සීහ හනු - සිංහයාගේ යටි හක්ක මෙන් උඩ යටි හනු දෙකම පූර්ණ ව පවතී

චත්තාලීස දන්තො - දන්තයන් සතළිහක් පිහිටීම

සමදන්තො - සම ව පිහිටි දත් ඇති බව

අවිරළ දන්තො - විවර හිඩැස් නැති සේ දත් එකට බැඳී තිබීම

සුසුක්ත දාඨො - සුදෝ සුදු වූ දන්තයන් ඇත

පහූත ජිව්හෝ - පුළුල් වූ ජිව්හා ධාතුව ඇත

බ්‍රහ්මස්සරො - බ්‍රහ්මයාගේ බඳු මිහිරි හඬ ඇත

අභිනීල සුනෙත්තො - නිල්වන් නෙත් ඇත

ගෝපඛුමො - ළදරු වස්සකුගේ බඳු නෙත් ඇත

උණ්ණාලක්ඛණතා - දකුණට කරකැවුණු ඌර්ණ රෝම ධාතුවක් පිහිටා ඇත

උණ්හීස සීහො - සෙස්සන්ට නොමැති දිග, පුළුල්, උස් වූ නළල් තලයක් පිහිටා ඇත