Print this Article


අපිරිසුදු සිතිවිලි දුරු කරන්න සිත ලෙඩ වුණොත් ජීවිතය ම පිරිහෙනවා

අපිරිසුදු සිතිවිලි දුරු කරන්න සිත ලෙඩ වුණොත් ජීවිතය ම පිරිහෙනවා

රාග, ද්වේෂ, මෝහ නිසා සිත අපිරිසුදු කර ගැනීමෙන් තමන් ම ලෙඩ වෙනවා. මිනිසා සිතෙන් නිකුත් කරන කළු කිරණ නිසා ලෝකය ම දූෂණය වෙනවා. මේ නිසා අකුසල් සිතිවිලි දුරු කිරීම පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ දේශනා කර ඇති අනුශාසනාවන්ට දැන්වත් ප්‍රමාද නොවිය යුතු යි.

සිත කියන්නේ ලෝකයේ ඇති අද්විතීය ම ශක්තියක් . සිත ක්‍රියා කරන හැටි, සිත දමනය කර ගන්නා හැටි, සිත දමනය කර ගත නොහැකි වුවහොත් එයින් වන විපාක ගැන බුදුරජාණන් වහන්සේ ඉතා අපූරු ලෙස දේශනා කොට වදාළා. අද අපේ සමාජයේ බොහෝ දෙනෙක් සිරුර සරසන්නට වෙහෙසෙනවා. සිරුරේ ලස්සන ගැන සිතනවා. සිත දියුණු කර ගැනීමට සිතන්නේ නෑ. බොහෝ අභියෝගයන්ට මුහුණ දෙන්නට සිදු වී තිබෙන්නේ ද ඒ නිසාම යි. ලොව පුරා පැතිර ගිය රෝග උවදුර ම ප්‍රමාණවත් ඒ සඳහා උදාහරණ කොට ගැනීමට.

ඒ ඒ අය මේවාට බලපාන විවිධ හේතු, විවිධ කරුණු පෙන්නුව ද මේ සියලු ම ව්‍යසනයන්ට මූලය වන්නේ පරිහානියට පත්ව ඇති මිනිසාගේ සිත යි.

අපි සම්බුද්ධ දේශනාවට අවධානය යොමු කරමු. ලෝකයේ සම්භවය පිළිබඳ ව බුදුරජාණන් වහන්සේ දීඝ නිකායේ අග්ගඤ්ඤ සුත්‍රයේ දී දීර්ඝ විස්තරයක් ඉදිරිපත් කොට තිබෙනවා.

ලෝක විනාසයෙන් පසුව පෘථිවිය නැවතත් ගොඩ නැඟීම ආරම්භයේ දී මෙම ලෝකය වෙතට ඇදී එන ආභස්සර දෙවියන් ශරීර ස්වභාවයෙන් දීප්තිමත් මෙන් ම ඉතා සියුම් කයක් ඇති ජීවි කොට්ඨාසයක්. මුල් කාලයේ දී ඔවුන් පෘථිවිය ඇසුරේ සැරිසරමින් ප්‍රීතීය පමණක් ආහාරයට ගන්නවා. කල් යත් ම ඔවුන්ගෙන් එක් අයෙක් මෙම පෘථිවියට ඇඟිල්ල ගසා රස බලනවා. ඉන් පසුව සියලු දෙනා යොදයක් මෙන් තිබුණු රස පෘථිවිය ආහාරයට ගන්නට බෙදෙනවා. පසු කාලයේ දී සියුම් කයක් තිබුණ දෙවියන්ගේ ශරීරය රළු වන්නට පටන් ගන්නවා. ඒ ආශාව, නැති නම් රාගය නම් වූ අකුසල චිත්තය වැඩී යාමත් සමඟ යි. මෙම ආභස්සර දෙවියන්ට ස්වයං ජාත හැල්, භදාලතා ආදිය ඉබේ ම පහළ වන්නට වුණා. මුල් කාලයේ දී මොවුන් තුළ රාග, ද්වේෂ, මෝහ අකුසලයන් අල්ප යි. ඒ නිසා මේවා ඉබේට ම පහළ වූවා. එහෙත් කල්යත් ම රාග, ද්වේෂ, මෝහ වැඩි වන විට ඉබේ පහළ වීම නතර වී වගා කිරීමට සිදු වුණා. එසේ ම මුල් කාලයේ දී මොවුන්ට ලිංග ස්වභාවය ද පහළ වූවා. එයින් පිළිබිඹු වන්නේ සිතෙහි ඇති බලවත්කම යි. චිත්ත ශක්තිය කෙතරම් ද කියතොත් සිතට අනුව ද්‍රව්‍යයන්ගේ හැඩගැසීම ද සිදු වන්නට වුණා. එසේ ම ඉන් අනතුරුව වගා කරන්නට යෙදුණු ස්වයංජාත ආදිය සඳහා ද ඇණ කොටා ගන්නට ඔවුන්ට සිදු වුණේ ද්වේශය නම් වූ අකුසල චෛතසිකය වර්ධනය වූ නිසයි. රාග, ද්වේශ, වැඩිවෙන්න වැඩිවෙන්න ඔවුන්ගේ මෝහය, එසේත් නැති නම් මුලාව ද වැඩිවෙන්නට වුණා.

කෙමෙන් කෙමෙන් පරිණාමය වන්නට යෙදුණු මේ මිනිස් සමාජය වර්තමානය වන විට රාග, ද්වේශ, මෝහ ඇසුරින් උපරිමයට ම ළඟා වී තිබෙනවා. මිනිසාගේ ඇති මෙම කළු කිරණ, එනම් මෙම අකුසල චිත්ත ශක්තීන් නිසා ලෝකයේ ස්වභාවයන්ට ද බලපෑම් සිදු වෙමින් පවතිනවා. මිනිස්සුන්ට සොයා ගැනීමට පවා අපහසු වූ ලෙඩ රෝග සම්භවය වී තිබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ වා, පිත්, සෙම් යන තුන් දොස් කිපීමට රාග,  ද්වේශ, මෝහ යන චෛතසිකයන් බලවත් වීම හේතුවක් වන බවයි.

එසේ ම ආයුර්වේ ද ග්‍රන්ථ අතර ප්‍රසිද්ධ චරක සංහිතාව, සුශ්‍රැත සංහිතාව, අෂ්ඨාංගහෘදසය සංහිතාව වැනි ආයුර්වේද ග්‍රන්ථයන් මඟින් පවා පෙන්වා දෙන්නේ මිනිසාගේ ලෙඩ රෝග වැඩි වීමට හේතු වන ප්‍රධානම කරුණක් වන්නේ මිනිස් සිතම වන බවයි.

දිනෙන් දින බලයට, ධනයට ඇලෙමින්, පොර බදිමින්, එකිනෙකා පෙළා ගනිමින් ගමන් කරන මිනිසාට ධර්මයක් හෝ සදාචාරයක් පෙනෙන්නේ නෑ. අම්මා, තාත්තා, සහෝදරිය පෙනෙන්නේ නෑ. කෙසේ හෝ තමන්ගේ පැවැත්ම උදෙසා පමණයි කටයුතු කරන්නේ. ඒ වගේ ම ද්වේශය නම් වූ අකුසල මූලය නිසා මොන තරම් දුරට මිනිස් සිත දූෂණය කර ගෙන තිබෙනවා ද? අතීතයේ අපේ මුතුන් මිත්තෝ මිනිසුන්ට පමණක් නොවෙයි, සතා සිවුපාවාට පවා මෛත්‍රිය පැතිර වූ ආකාරය මොන තරම් අපූරු ද?

අංගුත්තර නිකායේ “නිබ්බේධික“ සූත්‍ර යේ දී බුදු රජාණන් වහන්සේ සඳහන් කරන්නේ

“චේතනාහං භික්කවේ කම්මං වදාමි“

ලෙසටයි. චේතනාවට අනුව කර්මය සිදු වෙනවා. එම කර්මයන්ට අනුව විපාක ද ලැබෙනවා. මිනිසා රාග, ද්වේෂ, මෝහ යන අකුසල චේතනාවන් වපුරන විට ඒවාට අනුව ප්‍රතිඵල ද ලැබෙනවා. මේ වන විට පවා මුළු ලෝකය ම විවිධ වසංගතවලින් වෙළී පවතිනවා. මෙයට හොඳම උදාහරණය වන්නේ වර්තමාන කොරෝනා වසංගත තත්ත්වයයි. මෙවැනි වෛරස්වලට පවා මූලික හේතුව වන්නේ රාග. ද්වේෂ, මෝහවලින් අන්ධ වී මිනිසා සිදු කරන අධම ක්‍රියාවන්. පරිසරය විනාශ කොට, ගන්නා හුස්ම ටික පවා විසක් බවට පත්කර ගෙන තිබෙන්නේ මිනිසා ම යි. පානය කරන ජලය පවා විෂ මිශ්‍ර ජලය බවට පත්කර ගෙන තිබෙන්නේ ද මිනිසාම යි. ආහාරයට ගන්නා දේ පවා වස බවට පත්කර ගෙන තිබෙන්නේ අනිත් මිනිසුන් ගැන නොසිතා තම වෙළඳාම ගැන ම පමණක් සිතන දූෂිත සිත නිසයි. මත්වතුර, මත්ද්‍රව්‍ය පවා ලෝකයට බෙදා හැරීමට යොමුවන්නේ පව්කාර සිත නිස යි.

අධ්‍යාපනය තුළ පවා ඇත්තේ දුවන ගමනක්. එමඟින් බොහෝ විට සිදු වන්නේ සිත් දියුණු නොකර රොබෝවරුන් පමණක් සමාජයට දායාද කිරීමයි. අපේ මුතුන් මිත්තෝ ජීවිතය යනු කුමක් දැයි වටහාගෙන සිටියා. ජිවිතය කියන්නේ මුදල් ම පමණක් ද? එකිනෙකාට සිනාසීමටවත් වෙලාවක් මේ ගමන තුළ  තිබෙනවා ද? අතීත හෙළයා සතු ව තිබූ වටිනා ම වස්තු වූයේ දූෂ්‍ය නොවූ හිතයි. එය ඔවුනට මෙලොව මෙන් ම පරලොව ද සැප ලබා දුන්නා.

රාග, ද්වේෂ, මෝහ නිසා සිත අපිරිසුදු කර ගැනීමෙන් තමන් ම ලෙඩ වෙනවා. මිනිසා සිතෙන් නිකුත් කරන කළු කිරණ නිසා ලෝකය ම දූෂණය වෙනවා. මේ නිසා අකුසල් සිතිවිලි දුරු කිරීම පිළිබඳ ව බුදු රජාණන් වහන්සේ දේශනා කර ඇති අනුශාසනාවන්ට අනුගත වීමට මිනිසා දැන්වත් ප්‍රමාද නොවිය යුතු යි. බුදු දහමට අනුව එකිනෙකාට මෛත්‍රිය වැඩිය හැකි නම්, ගහට කොළට පවා ආදරය කළ හැකි නම්, අපා දෙපා, සිව්පා, බහුපා ඕනෑම සත්වයකුට මෙත් වැඩිය හැකි නම්, තමා ගැන පමණක් නොසිතා අන් අය ගැන ද සිතිය හැකි නම් මේ ලෝකයේ අර්බුදකාරී තත්ව පහවී යනවා. කලට වැසි වසිනවා. කෙත් වතු සාර වෙනවා. ජීවන ගමනේ වේගයෙන් දිව යන ඔබට නතර වූ පසු ඉතිරි වන්නේ මොනවා දැයි සිතීමට දැන් කාලය පැමිණ තිබෙනවා.