Print this Article


පස්දුන් රට එළිය කළ පින්කෙත බුලත්සිංහල දේවමිත්තාරාම මහ පන්සල

පස්දුන් රට එළිය කළ පින්කෙත බුලත්සිංහල දේවමිත්තාරාම මහ පන්සල

අදින් වසර තිස්හත් දහසක් පමණ ඈත අතීතයේ අපේ මුතුන් මිත්තන්ගේ ජීවයේ සාක්කිය, ප්‍රාග් ඓතිහාසික වටිනාකම් රැසක් පස් යට සඟවා ගත් පාහියංගල පුදබිම, බුලත්සිංහල ක්‍ෂේම භූමිය සාලංකාර ව දිදුලවන්නට සමත් විය. කුඩා ගඟ ආදි අතු ගංගා රැසකින් සුපෝෂිත බුලත්සිංහල කළුගම් කොමලියගේ පහස විඳීන්නේ තම සශ්‍රීකත්වය ලෝකයට විදහාමිනි. මාකිරි ඇල්ල, ගිනිගෙදර ඇල්ල ආදි දිය දහරා ද, බුලත්සිංහල මාතාවගේ දිගු කෙහෙරැල්ල මෙනි. රාජ මහා විහාර රැසකින් සමුපශෝභිත බුලත්සිංහල පුරවරයේ, මහ පන්සල යැයි විරුදාවලිය ලත් දේවමිත්තාරාමය සත්‍යය වශයෙන් ම නමට අන්වර්ථ වූ මහපන්සලකි.

බුලත්සිංහල දේවමිත්තාරාමය බස්නාහිර පළාතේ පස්යොදුන් කෝරළයේ බුලත්සිංහල ප්‍රාදේශීය ශාසනාරක්‍ෂක බලමණ්ඩලයට අයත් පුරාණ විහාරයකි. හොරණ කලවැල්ලාව හරහා මතුගම මාර්ගයේ ඈගල්ඔය පසුකොට හොරගස් හන්දියෙන් වමට හැරි මීටර් 500 පමණ ගිය තැන මෙම වෙහෙරට ළඟා විය හැකි ය. (මාර්ග රැසක් ඇත.)

මෙම විහාරස්ථානයේ ආරම්භක වර්ෂය වශයෙන් අනුමාන කරන්නේ 1850 වසරයි . 1856 දී පමණ නාරගල දේවමිත්ත නම් යතිවරයාණ කෙනෙක් මෙම විහාරස්ථානය ආරම්භ කරන්නට ඇතැයි සැලකේ. එ සමයේ පුරාණ බුද්ධ ප්‍රතිමා ගෘහය ඉදි කරන්නට ඇතැයි විශ්වාස කෙරේ. මන්ද විහාර ගෘහයේ ප්‍රධාන පිවිසුම් දොරටුවට ඉහළින් බුදුගෙයි වැඩ අවසන් කළ වර්ෂය බු.ව. 2410 (ක්‍රි. ව. 1867) බව සටහන් වීම යි. ඒ අනුව මේ වන විට මෙම විහාරය වසර 142 ක ඉතිහාසයකට උරුමකම් කියයි.

වර්තමාන විහාරාධිපති
අමරගෙදර නන්දදේව හිමි

දේවමුල්ලේ ශ්‍රී ගුණාන්නද හිමි ඉඹුලාගොඩ සද්ධාතිස්ස හිමි

මෙම බුද්ධ ප්‍රතිමා මන්දිරය පිට මාලය හා ඇතුළු මාලය වශයෙන් දෙ කොටසකි. විහාරය දෙස විමසුම් ඇසින් බලන විට පෙනී යන්නේ විහාර ගෘහයට ආලින්ද කොටස පසුව එක් කොට ඇති බව යි. 1986 දී ද මෙම විහාරයේ ප්‍රතිසංස්කරණයක් සිදු වී ඇත. මෙම විහාර ගෙයි පිළිම දෙකක් දැකගත හැකි ය. පළමු වැන්න නම් හිටි ඉරියව්වෙන් යුතු සමාධි බුද්ධ ප්‍රතිමා වහන්සේ යි. අනෙක හිටි ඉරියව්වෙන් යුතු විශ්ණු ප්‍රතිමාව යි. බුද්ධ ප්‍රතිමාවේ ශීර්ෂය මීට දශක කිහිපයකට පෙර වෙනස් කොට ඇති අතර, එහි දී ප්‍රතිමාවේ දැවමය සිරස්පතය වෙනුවට සිමෙන්තියෙන් තැනූ සිරස්පතයක් සවි කොට ඇත. මහනුවර යුගයේ සහ කොළඹ යන යුගවල ශෛලින් මිශ්‍ර වී ඇත. ශ්‍රී හස්තයන් සමාධි මුද්‍රාවෙන් නිරූපිත අතර, දෙපා වීරාසනයෙන් යුක්ත ය. පිළිම වහන්සේගේ සිරස මත මාලක තුනකින් යුත් අලංකාර ශීර්ෂාවරණයකි. මෙය මුල්කාලීන ස්වරූපයෙන් ම ඇතැයි විශ්වාස කළ හැකි ය. මිට අමතර ව විහාරයේ චිත්‍ර පුරාවිද්‍යාත්මක වටිනාකමින් අනූන ය. ඇතළු මාලයේ බිතුසිතුවම්හි සත්සතිය දක්වා ඇත. සිවිලිමේ චිත්‍රයන්හි නෙළුම් මල් 80ක් දැක්වීමෙන් අසු මහා ශ්‍රාවකයන් වහන්සේ අර්ථ ගන්වන්නට ඇතැයි මතයකි.

ඊට අමතර ව බුද්ධ චරිතයේ විශේෂ සිදුවීම්, දේව රූප, මල් මොස්තරාදිය මෙහි අලංකාරවත් ව චිත්‍රණය වී ඇත. පිවිසුම් මකර තොරණේ කිසිම ආයුධයක් නො දැකීම විශේෂිත ය. කෙසේ වෙතත් මෙම චිත්‍රකරු කවුරුන් ද යන්න හරියාකාරව තේරුම් ගත නො හැකි වුවත් මහනුවර යුග ශෛලිය අනුව ගිය පහතරට කෙනකු බව මතය යි.

දඹදෙණි යුගය වනාහි ශ්‍රී ලාංකේය වංසකතාවේ ස්වර්ණතම යුගවලින් එකකි. එයිනුත් කලිකාල සාහිත්‍ය සර්වඥ පණ්ඩිත දෙවැනි පරාක්‍රමබාහු නරපති යුගය සුවිශේෂිත ය. පස්යොදුන් රට පිහිටි කෙසෙල්හේනා රාජ මහා වෙහෙරෙහි ආරම්භය ද මෙම සමය (ක්‍රි.ව. 1250) යි. ඉන් ශතවර්ෂ 8ක් පමණ ගෙවෙයි. සසුන පිරිහෙයි. කෙසෙල්හේනා වෙහෙර කැලෑවට යයි. ඒ කීර්ති ශ්‍රී නිශ්ශංකමල්ල භූපතින්ගේ කාලය යි. වල් කපනු පිණිස කැළයට ගිය ගැමියෙක් වල් වැදුණු කෙසෙල්හේනා අරම දකී. එහි ප්‍රතිඵලය වූයේ නැවත ආරමයේ ප්‍රතිසංස්කරණය වීම යි. නූතන ශාසනෝද්දිප්තියේ යුගකාරයන් වහන්සේ වූ අසරණ සරණ පිණ්ඩපාතික සරණංකර සංඝ රාජයාණන් වහන්සේගේ දසවෙනි ශිෂ්‍යයා වුයේ වේහැල්ලේ ධම්මදින්න මාහිමිපාණන් ය. උන් වහන්සේට ද ශිෂ්‍යයන් හතළිස් එක් දෙනෙක් වූ අතර, උන් වහන්සේගේ ශිෂ්‍යයන් වහන්සේ නමක් වූ කෙසෙල්හේනාවේ ධම්මක්ඛන්ද හිමියෝ ප්‍රථම වරට කෙසෙල්හේනා රාජමහා විහාරයේ විහාරාධිපති වූ හ.

ගම් වැසියන් විසින් රත්නපුර මාර්ගයෙන් සිරිපා වන්දනය පණිස යන මුන් වහන්සේ නවතා මෙම ආරාමය සුද්ධ කොට නවත්වා ගනු ලැබූ බව කියැවේ. විටින්විට විවිධ මාහිමිවරුන් මෙහි අධිපතිකම් දරා ඇත.

කාලයාගේ ඇවෑමෙන් විහාරාධිපති ධුරයට පත් වන කෝට්ටේ ශ්‍රී කල්‍යාණි සාමග්‍රීධර්ම මහා සංඝ සභාවේ උපාධ්‍යාය ධුරන්ධර දේවමුල්ලේ ශ්‍රි ගුණානන්ද නාහිමියෝ බුලත්සිංහල දේවමිත්තාරාමයේ දෙවන විහාරාධිපතීන් වහන්සේ ය. උන්වහන්සේට ප්‍රධාන ශිෂ්‍යවරයන් පස් නමක් වූ අතර, උන් වහන්සේගෙන් පසු කෙසෙල්හේනා රාජමහා විහාරයේ අධිපති භාවය ජ්‍යෙෂ්ඨයා වූ කොබවක සුගතපාල හිමියන්ට පැවරුණු අතර, බුලත්සිංහල මහ පන්සලේ අධිපතීත්වය ඊළඟ ජ්‍යෙෂ්ඨත්වයෙහි ලා සිටි ඉඹුලේගොඩ සද්ධාතිස්ස හිමියන්ට පැවරුණි. මහ පන්සලේ මුල් ම විහාරාධිපතීත්වයට පත් වන්නේ නාරගල ශ්‍රී දේවමිත්ත හිමියන් ය. පසුව දේවමුල්ලේ ගුණානන්ද, ඉඹුලේගොඩ සද්ධාතිස්ස, බුලත්සිංහල නන්දාරාම යන හිමිවරු අධිපතිකම් දරා ඇත.

උන් වහන්සේලාගේ අපවත් වීමෙන් පසු නූතනයේ විහාරාධිපතිත්වය දරමින් බුලත්සිංහල නන්‍දදේව පස්දුන් රට සංඝ නායක නාහිමිපාණෝ දේවමිත්තාරාමයේ ස්වර්ණතම යුගය සනිටුහන් කරමින් සිටිති. බුලත්සිංහල දේවමිත්තාරාම මහ පන්සල පස්දුන් රටේ ජීවනාලිය යි. පින් කෙත යි.

තොරතුරු සහ සේයා රූ ලබා දුන් බුලත්සිංහල ජනාන්ද හිමියන් මෙහි ලා ගෞරවයෙන් සිහිපත් කරමි.