Print this Article


කවරයේ කතාව: සේරුවිල මංගල මහ සෑයේ වැඩ සිටින අසිරිමත් ලලාට ධාතුන් වහන්සේ

කවරයේ කතාව:

සේරුවිල මංගල මහ සෑයේ වැඩ සිටින අසිරිමත් ලලාට ධාතුන් වහන්සේ

භාග්‍යවතුන් වහන්සේගේ පරිනිර්වාණයෙන් පසු ද්‍රෝණ අටක් ධාතුන් වහන්සේ රන් දෙනේ ඉතිරි විය. ඒ අතරේ සුදෝ සුදට රැස් විහිදුවමින් පුළුල් නළල් තලය වැඩසිටි සේක. මහාකස්සප මහරහතන් වහන්සේ මල්ල රජ දරුවන්ට වදාළේ භාග්‍යවතුන් වහන්සේගේ අධිෂ්ඨානය මත ලක් දෙරණේ සේරුවිල සමීපයේ අනාගතයේ පහළවන කාවන්තිස්ස රජතුමා විසින් මහා ස්තූපයක් ඉදි කරන බවත්, ඒ සෑ රදුන්ගේ මෙම ලලාට ධාතුන් වහන්සේ තැන්පත් වන බවත් ය.

මල්ල රජදරුවන් ඒ කියමන පිළිගෙන ඉතාමත් හරසරින් ධාතුන් වහන්සේ කස්සප තෙරුන්ට ලබා දුන් අතර උන්වහන්සේ මහානන්ද තෙරුන්ට ලබා දී අනාගතයේ දී ලංකා ධරණීතලයේ සේරුවිල අසල ඉදිවෙන මහා සෑයේ මේ ධාතුන් වහන්සේ තැන්පත් වන නිසා එතෙක් මේ ධාතුන් වහන්සේ රැක බලා ගන්නා ලෙස වදාළ සේක.

ඉන්පසු මහානන්ද තෙරුන් ඒ උතුම් ධාතුන් වහන්සේ විසල්පුර මහා වනයේ කූටාගාර ශාලාවේ ශාස්තෘන් වහන්සේ වැඩසිටි ගන්ධ කුටියේ වඩාහිඳුවා පුද පූජා පවත්වා උන්වහන්සේ පිරිනිවන් පානා විට තම ශිෂ්‍ය චන්ද්‍රගුප්ත තෙරුන්ට ධාතු වංශය පවසා පිරිනිවන් පා වදාළ සේක. චන්ද්‍රගුප්ත තෙරුන් වහන්සේ දෙව්රම් වෙහෙරේ දසබලයන් වහන්සේ වැඩ විසූ ගඳකිලියට වැඩමවා ධාතු පූජාව පවත්වමින් බොහෝ කල් වාසය කළහ. උන්වහන්සේ පිරිනිවන්පාන විට තම ශිෂ්‍ය වූ භද්දසේන තෙරුන්ට ධාතු වංශය පවසා ධාතුන් වහන්සේ බාර කොට පිරිනිවන් පෑ සේක. භද්දසේන තෙරුන් වහන්සේ පිරිනිවෙන කල්හි තම ශිෂ්‍යවර ජයසේන තෙරුන්ට ධාතු වංශය පවසා ධාතුන් වහන්සේ භාර කළහ. ජයසේන තෙරනුවෝ ලලාට ධාතුන් වහන්සේ වේළුවන මහා විහාරයෙහි ශාස්තෘන් වහන්සේ වැඩ සිටි ගඳකිලියෙහි වඩා හිඳුවා සුවඳ මල් ආදියෙන් පූජා පවත්වා බොහෝ කල් වාසය කොට පිරිනිවන කල්හි තම ශිෂ්‍ය මහා සංඝරත්න තෙරුන්ට ධාතුන් වහන්සේ බාර දී ධාතුවංශය පවසා පිරිනිවන් පා වදාළ සේක. සංඝරක්ඛිත තෙරණුවෝ පිරිනිවන්පාන විට තම ශිෂ්‍ය වූ මහාදේව තෙරුන්ට ධාතු වංශය පවසා ලලාට ධාතුන් වහන්සේ භාර කොට පිරිනිවන් පා වදාළ සේක.

මහාදේව තෙරුන් ලලාට ධාතුන් වහන්සේ දෙවනපෑතිස් මහ රජුගේ සොහොයුරු මහානාග යුවරජු මාගම වාසය කරන කාලයේ හත්ථොට්ඨ නම් ජනපදයේ කුක්කුට පර්වතය අතරෙහි මහා සල් රුකක් සෙවණෙහි තබා අහසින් වැඩම කොට වන්දනා කළ සේක. ඒ උතුම් ධාතුන් වහන්සේ පිළිබඳ මහානාග රජුට ආරංචි විය. රජු ධාතුන් වහන්සේ සොයා ගෙන ගොස් "ස්වාමිනි, මටත් ධාතුන් වහන්සේ වන්දනා කරන්න අවසර දෙන්නැයි" ඉල්ලා සිටියේ ය.

මහානාග රජු සුවඳ පැනින් නා රාජාභරණයෙන් සැරසී ධාතුන් වහන්සේ වන්දනා කිරීමට පැමිණියේ ය. සුදු පාටින් රැස් විහිදවමින් ධාතුන් වහන්සේ වැඩ සිටි අතර ශ්‍රද්ධාවෙන් ඉපිලී ගිය රජු "ස්වාමිනි මට ධාතුන් වහන්සේ ලබා දෙන සේක්වායි" ඉල්ලා සිටියේ ය.

"රජතුමනි, අනාගතයේ පහළ වන කාවන්තිස්ස රජු නැගෙනහිර ප්‍රදේශයේ සේරුවිල සමීපයේ මේ ධාතුන් වහන්සේ තැන්පත් කර මහා සෑයක් ඉදි කරවන්නේ ය. එතෙක් ආරක්ෂා කරනු මැනයි" වදාළ සේක. රජතුමා එය රන්පතක ලියා ධාතුන් වහන්සේ රජ ගෙදරට වඩමවා මාළිගාවේ උත්තම ස්ථානයක ධාතුන් වහන්සේ තැන්පත් කරවීය.

කාලයකට පසු කාවන්තිස්ස රජු රජ විය. විහාරමහා දේවියගේ සොහොයුරු වූ චුල්ලපිණ්ඩපාතික තිස්ස තෙරුන් වහන්සේ කාවන්තිස්ස රජුගේ ආයුෂ දිවඇසින් දුටු සේක. රජතුමනි, සෑයක් ඉදිකොට ධාතුන් වහන්සේ තැන්පත් කිරීමට කාලය මෙය යැයි වදාළ සේක.

ඉන්පසු මහා ස්තූපය ආරම්භ විය. ධාතුන් වහන්සේ තැන්පත් කරන සෑ ගර්භය ඉදිවෙමින් පවතී. එය ඉතාමත් මනරම් ය. ඒ ගර්භය දෙවැනි වූයේ රුවන්මැලි මහා සෑයේ ගර්භයට පමණි. රජතුමා විසින් බුද්ධ චරිතයේ සියලුම දේ සෑ ගර්බයේ රන්, රිදී, මුතු, මැණික් ආදියෙන් අඹවා සුන්දර කෙරුණි. මේ ගර්භය මැද විශාල මාණික්‍යයක් මත ස්වර්ණ පිළිම වහන්සේ නමක් තැන්පත් වුණි. ධාතුන් වහන්සේ තැන්පත් වන දිනයේ රහතන් වහන්සේලා නාග ලෝකයෙන් කේශ ධාතුන් වහන්සේ දෙනමක් වඩමවා ඇති බව ද සඳහන් වේ.

ධාතුන් වහන්සේ තැන්පත් වන දිනයේ රජතුමා තුන් වරක් සෑය ප්‍රදක්ෂිණා කර කරඬුව හිසේතබාගෙන අධිෂ්ඨානයක් කළේය. "ස්වාමිනි භාග්‍යවතුන් වහන්ස, ඔබ වහන්සේගේ බුද්ධ ශාසනය බොහෝ කලක් සකල ලෝ සතට සෙත සලසන බව සැබෑ නම්, මාගේ ශ්‍රද්ධාව සැබෑ නම් මේ නව රියන් ප්‍රතිමා වහන්සේගේ ලලාට ධාතුන් වහන්සේ නළල් තලයේ පිහිටාවා!" ධාතුන් වහන්සේ ආකාසයට පැන නැංගාහ. බොහෝ දෙනා සාධුකාර දෙද්දී සුදුවන් රශ්මි දහරා නානා අයුරින් විහිදවමින් ප්‍රතිමා වහන්සේගේ තැන්පත් ව තිබූ ඌර්ණ රෝම ධාතුව ඉදිරියට මතු වී ලලාට ධාතුන් වහන්සේ නළලේ කිඳා බැසගත් සේක. අදටත් ඒ ආකාරයට ම ධාතුන් වහන්සේ පිහිටා ඇත. කේශ ධාතුන් වහන්සේ ද තැන්පත් විය. රහතන් වහන්සේලා පහන් දැල්වූහ. සුවඳ පැතිරුණේ ය. රහතන් වහන්සේලාගේ සෘද්ධි බලය සහ අධිෂ්ඨානයෙන් ඒ පහන් අදටත් දැල්වේ. ඒ සුවඳ අදටත් පැතිරේ.