Print this Article


විනයගරුකව භික්ෂූ ආකල්ප රැකගෙන සම්බුද්ධ ශාසනය බබළවන්න කටයුතු කරන්න

විනයගරුකව භික්ෂූ ආකල්ප රැකගෙන සම්බුද්ධ ශාසනය බබළවන්න කටයුතු කරන්න

උදාර පැවිදි දිවියක පියසටහන් ඔස්සේ මෙවර සාකච්ඡා මණ්ඩපයට වැඩම කරනු ලබන්නේ සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ විධායක කාරක සංඝ සභික හා සහකාර ලේඛකාධිකාරී දහම්පාසල් පිරිවෙන් භික්ෂු විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශයෙහි නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ශ්‍රී රෝහණ සංඝ සභා මූලස්ථානය ඇතුළු විහාර ගණයේ විහාරාධිපති ශාස්ත්‍රපති පණ්ඩිත ගෝණදෙණියේ තපස්සී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ ය.

අපේ නායක හාමුදුරුවනේ,

පුංචි කාලයේදී ම පැවිදිබවට පත්වුණ ඔබ වහන්සේ සුපේශල, ශික්ෂාකාමී යතීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් රෝහණ මහා සංඝ සභාවේ සහකාර ලේඛකාධිකාරී ස්වාමීන් වහන්සේ වගේ ම පිරිවෙන් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙනුත් විශාල ශාසනික කාර්යභාරයක් සිදුකරනු ලබනවා. ඒ පිළිබඳ අතීතාවර්ජනයක යෙදෙමින් සාකච්ඡාවට ප්‍රවේශයක් ලබා ගනිමු.

ගෝණදෙණිය ශ්‍රී මහා විහාරාධිපති ගල්පොත්තයායේ පුඤ්ඤරතන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේගේ ආචාර්යත්වයෙන් සංසාරගත පුණ්‍යශක්තියට අනුව ගෝණදෙණිය තපස්සී යන උතුම් ශාසනික නාමයෙන් ගෝණදෙණිය ශ්‍රී මහා විහාරස්ථානයේ දී පැවිදි ජීවිතයට ඇතුළත් වීමෙන් අනතුරුව පිරිවෙන් අධ්‍යාපනය සඳහා රෝහණ සංඝ සභා මූලස්ථානයට වැඩම කළා. එහිදී සියම් මහා නිකායේ ශ්‍රී රෝහණ මහා සංඝ සභාවේ නිර්මාතෘවර මහානායක පුරාවිද්‍යා චක්‍රවර්තී සාහිත්‍යශූරී දර්ශන විශාරද මහෝපාධ්‍යාය මහාචාර්ය කඹුරුපිටියේ වනරතනාභිධාන ශ්‍රීමත් මහානායක මා හිමිපාණන් වහන්සේගේ සෙවණේ, එම සංඝ සභාවෙහි මහා ලේඛකාධිකාරී ධූරය දරමින් වැඩ සිටි ඌරාපොල රතනජෝති විද්‍යායතනන පිරිවෙන් පරිවේණාධිපති අතිගෞරවනීය පොළොම්මාරුවේ හේමසිරි නායක මා හිමිපාණන් වහන්සේ යන ස්වාමීන්ද්‍රයන් වහන්සේලා යටතේ ඌරාපොල ශ්‍රී රතනජෝති පිරිවෙනේ අධ්‍යාපනය ලැබුවා. ශ්‍රීමත් මහානායක මා හිමිපාණන් වහන්සේ කෙරෙහි බොහොම ගෞරවයෙන් කටයුතු කළ නිසා කාලයාගේ ඇවෑමෙන් සංසාරගත පුණ්‍යශක්තියට මෙන් ශ්‍රීමත් මහානායක මාහිමිපාණන් වහන්සේගේ ප්‍රධාන උපස්ථායක ලෙස ඉතාමත් හොඳීන් එම කාර්යභාරය සිදු කළා. එම කටයුතු ඉතාමත් මැනවින් ඉටුකිරීම නිසා පැහැදීමට පත්වුණ ශ්‍රීමත් මහානායක මා හිමිපාණන් වහන්සේ ගේ හා හේමසිරි මා හිමිපාණන් වහන්සේගේ ශිෂ්‍යවරයකු ලෙස උපසම්පදා ශීලයෙහි පිහිටවනු ලැබුවා. ඒවගේ ම මූලික පිරිවෙන් අධ්‍යාපනයේ සිට විශ්ව විද්‍යාල අධ්‍යාපන දක්වාම ඌරාපොල ශ්‍රී රතනජෝති පරිවේණාස්ථානයෙන් අධ්‍යාපන කටයුතු සිදු කළා. උසස් පෙළ විභාගය සමත් ව රුහුණු විශ්ව විද්‍යාලයෙන් විශේෂවේදී උපාධිය ලබාගෙන විවෘත විශ්ව විද්‍යාලයෙන් පශ්චාත් උපාධිය හැදෑරීමට කටයුතු කළා. පශ්චාත් උපාධි ඩිප්ලෝමාවත් ,ශාස්ත්‍රපති උපාධියත් පාලි බෞද්ධ විශ්ව විද්‍යාලයෙන් ලබා ගැනීමට කටයුතු කළා.

හේමසිරි නායක මා හිමිපාණන් වහන්සේගෙන් පසුව රෝහණ සංඝ සභා මූලස්ථානයේ විහාරාධිපතිත්වයට පත් වුණා. ඊට ප්‍රථමයෙන් විධායක කාරක සංඝ සභික ධූරයටත්,පසුව විධායක සභාවටත් , සහකාර ලේඛකාධිකාරී ධූරයටත් පත්ව මේ දක්වාම රෝහණ සංඝ සභාවේ සහකාර ලේඛකාරධිකාරී ස්වාමීන් වහන්සේ ලෙස රෝහණ මහා සංඝ සභාවේ සියලු උපසම්පදා විනය කර්මවලට සහභාගිවෙමින් වගකීම් දරමින් ශාසනික සේවයෙහි නියැළෙනවා. 2010 වර්ෂයේ දී අධ්‍යාපන අමාත්‍යංශයේ පිරිවෙන් ශාඛාවෙහි සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හාමුදුරුවන් වහන්සේ ලෙස වැඩ භාරගෙන නැගෙනහිර පළාත, ඌව පළාත , කළුතර දිස්ත්‍රික්කය, දකුණු පළාත අදී වශයෙන් පළාත් කිහිපයක ම සේවය කිරීමෙන් අනතුරුව වර්තමානය වන විට අධ්‍යාපන අමාත්‍යංශයේ ද්විභාෂා හා සීලමාතා අධ්‍යාපන ආයතන භාර නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ස්වාමීන් වහන්සේ වශයෙන් කටයුතු කරනවා.

ශාසනභාරධාරී නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේ නමක් වශයෙන් ඔබ වහන්සේට පැවරී තිබෙන්නේ මොනවගේ කාර්ය භාරයක්ද? අපේ හාමුදුරුවනේ,

ශාසනභාරධාරී හාමුදුරුවන් වහන්සේ නමක් වශයෙන් ශ්‍රී රතනජෝති විද්‍යායතන පිරිවෙන, මා විසින් ආරම්භ කරන ලද වනරතන මූලික පිරිවෙන යන පරිවේණාස්ථාන දෙකෙහි ම  භාරකාරත්වය පැවරී තිබෙනවා. පැවිදි ශිෂ්‍යයන් වගේම ගිහි ශිෂ්‍යයන් විශාල පිරිසක් අධ්‍යාපනය ලබනවා. රෝහණ සංඝ සභාවෙහි උපසම්පදා පුණ්‍යෙීත්සව ඇතුළු විධායක කාරක සංඝ සභික රැස්වීම්වල සියලු වගකීම් සහගත කාර්යභාරයන් පැවරී තිබෙනවා.

ඊට අමතරව විශේෂයෙන් අධ්‍යාපන අමාත්‍යාංශයෙහි දහම්පාසල් පිරිවෙන් භික්ෂු විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍යාංශයෙහි නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ස්වාමීන් වහන්සේ නමක් ලෙස පිරිවෙන් සංවර්ධනය උදෙසා විශාල කැපකිරීමක් සිදුකරනවා වගේම රෝහණ සංඝ සභා මූලස්ථානයේ සංවර්ධන කටයුතු විශාල ප්‍රමාණයක් මේ වන විට සිදුකර තිබෙනවා. පහළ විජයල ශ්‍රී විජයාරාම විහාරස්ථානය හා අකුරුගෙඩ ශ්‍රී සමරනායකාරාම විහාරස්ථානය යන විහාරස්ථාන මගේ අධික්ෂණය යටතේ ජ්‍යෙෂ්ඨ ශිෂ්‍ය ස්වාමීන් වහන්සේලා විසින් ශාසනික කටයුතු හොඳීන් සිදුකරගෙන යනවා.

ගමේ දායක පින්වතුන්ගේ කුදු මහත් දායක කටයුතු සිදුකරමින් ප්‍රදේශයේ මහා සංඝරත්නයේ කටයුතු වෙනුවෙන් දායකත්වය ලබා දෙනවා.

පිරිවෙන් නියෝජ්‍ය අධ්‍යාපන අධ්‍යක්ෂ ස්වාමීන් වහන්සේ නමක් වශයෙන් පිරිවෙන් ක්ෂේත්‍රය තුළින් ලබාගත් අත්දැකීම් අනුව අපේ පුංචි හාමුදුරුවන් වහන්සේලාට ලබාදෙන අනුශාසනා මොනව ද? නායක හාමුදුරුවනේ,

විනයගරුක ශික්ෂාකාමී හාමුදුරුවන් වහන්සේ නමක් වශයෙන් හොඳීන් ධර්ම ශාස්ත්‍රීය අධ්‍යාපනය ලබාගෙන මේ රටටත් සම්බුද්ධ ශාසනයටත් විශාල සේවාවක් සිදු කළ යුතුව තිබෙනවා. විශේෂයෙන්ම පොඩි තැනක සිට මේ තැන දක්වාම ඉදිරියට ගමන් කිරීමට අපට පිළිසරණ වුණේ අපි අධ්‍යාපනය ලබාගත් පිරිවෙන. පිරිවෙන නිසා තමයි අපි මේ සියලු කටයුතු සිදුකරන්නේ. අපේ පොඩි හාමුදුරුවන් වහන්සේලාට සිහිපත් කරන්නට තිබෙන්නේ පාලි සංස්කෘත ඇතුළු ප්‍රාචීන අධ්‍යාපනය ලබමින් ප්‍රාචීන පණ්ඩිත, රාජකීය පණ්ඩිත උපාධිය හදාරමින් විශේෂයෙන් ප්‍රාචීන උගතකු විය යුතු බවයි. විශ්ව විද්‍යාල උපාධියකට වඩා ප්‍රාචීන,රාජකීය පණ්ඩිත උපාධියට මේ රටේ තවමත් විශාල පිළිගැනීමක් තිබෙනවා. එනිසා හොඳීන් පිරිවෙන් අධ්‍යාපනය ලබා ගෙන සම්බුද්ධ ශාසනයට හොඳ යතිවරයෙක් වන්න කියන පණිවුඩය තමයි ලබාදිය යුතුව තිබෙන්නේ. හොඳීන් අධ්‍යාපනය ලැබුවොත් ශාසනය තුළ ඉහළම තැනට යාමට අවස්ථාව තිබෙනවා.

මට මේ සියලු වරප්‍රසාද ලැබීමට හේතු වුණේ පැවිදිවීමත් ශාසනයේ විනයකර්ම භික්ෂුවක් ලෙස කටයුතු කිරීමත් ආදී සියලු කාරණා නිසයි. විනයගරුක ව භික්ෂූ ආකල්ප රැකගෙන ශාසනය බබළවන්න කටයුතු කරන්න. පිරිවෙන් අධ්‍යාපනය හොඳීන් ලබාගැනීම අවශ්‍යයයි.