Print this Article


ලොවට පිපෙන මල් - 02 කොටස: තමන්ගේ ජීවිතයට හැමෝම ආදරෙයි

තමන්ගේ ජීවිතයට හැමෝම ආදරෙයි

පසුගිය බුදුසරණ පුවත්පතින්, ඒ කියන්නේ වප් පුර පසළොස්වක පෝදා පුවත්පතින් අපි සිද්ධාර්ථ කුමරුගේ යහළුවෙක් හංසයකුට විද බිම දැමූ සැටිත්, කුමාරයා හංසයා බේරා ගත් සැටිත් කියවූවා මතකයි නේද? ඉතින් සිද්ධාර්ථ කුමාරයා ළඟ ඉඳලා හංසයා ඉගිලී යන හැටි මේ යාළුවා දැක්කා.

එයාට හොඳටම කේන්ති ගියා. එයා කුමාරයා ළඟට දුවගෙන ආවේ මෙයාට මං හොඳ පාඩමක් උගන්වනවා කියලා හිතාගෙනයි. මං බිම දාපු හංසයා බේරලා ඇරියා කියලා මහ හඬින් කෑගහනවා.

සිද්ධාර්ථ ඔබ කළේ වැරැද්දක්. හංසයා බිම දැම්මේ මම. මමයි එයාගේ අයිතිකාරයා

යහළුවා දත්මිටි කකා රව රවා කෑගහන්න ගත්තා. කලබලේ මොකක්ද බලන්න අනිත් යහළුවොත් එතෙන්ට ආවා.

මේ සිද්ධාර්ථ මගේ හංසයා අල්ලාගෙන යන්න ඇරියා. එයා මොකටද එහෙම කළේ, යහළුවා අනිත් යහළුවන්ට නඩුව කිව්වා.

හංසයා ඔබට අයිති නැහැ. මට අයිතිත් නැහැ. ඒ නිසා අසරණ සතා මරන්න ඔබට අයිතියක් නැහැ. එයාගේ ජීවිතය අයිති එයාට. ඒ ජීවිතය ආරක්ෂා කරලා දුන්නා මිසක් මං එයාව අයිති කර ගත්තේ නැහැ. ඔබ කැමතිද කවුරු හරි ඔබේ අතපය කපලා කොටලා මරා දානවට. සෑම දෙනාම තමන්ගේ ජීවිතයට ආදරෙයි. මගේ හොඳ මල්ලී සංසුන් වෙන්න. කේන්ති ගන්න හොඳ නැහැ. කියලා කුමාරයා කිව්වා. අනිත් යහළුවෝ හැම දෙනාම සිද්ධාර්ථ කුමාරයා කියන්නේ ඇත්තක් කියලා පිළිගත්තත් හංසයාගේ අයිතිය ඉල්ලපු යහළුවා ආයෙත් කෑගහන්න පටන් ගත්තා. යහළුවෝ දෙන්නෙක් එයාව වෙන පැත්තකට ඇදගෙන ගියා.

පුංචි දුවේ, පුතේ සිද්ධාර්ථ කුමාරයා මොන තරම් හොඳ දරුවෙක් ද කියලා ඔබට වැටහෙනවා නේද?

මිනිසුන් වගේ ම සතා සිව්පාවාත් තමන්ගේ ජීවිතවලට හුඟක් ආදරෙයි. ඒක නිසා තමයි බුදුපියාණන් වහන්සේ පුංචි දරුවන්ටත් සියලු සත්වයෝ නිදුක් වෙත්වා, නිරෝගි වෙත්වා, සුවපත් වෙත්වා දුකින් මිදෙත්වා කියන මෛත්‍රි භාවනාව උගන්වා තියෙන්නේ.

බුදුපියාණන් වහන්සේට ගෞරව කරන කිසිම දරුවෙක් කිසිමදාක සතෙක් මරන්නේ නැහැ. සතකුට හිරිහැර කරන්නේ නැහැ. තමන්ට පුළුවන් විදිහට කෑම ටිකක් වතුර ටිකක් දීලා බඩගින්න පිපාසය සංසිඳවනවා. අපිත්, අපට ඉන්නේ මොන තරම් හොඳ කරුණාවන්ත දරුවෝ ද කියලා හිතෙන කොට හිතේ ලොකු සතුටක් ඇති වෙනවා.