Print this Article


සැදැහැ සිතින් නමදිමි සිරිමහ බෝධී

සැදැහැ සිතින් නමදිමි සිරිමහ බෝධී

කරදර බාධක ජීවිතේට එනකොට අපි කියනවා ඒක අපල කාලයක් කියලා. අප විසින් කරන ලද අයහපත් ක්‍රියාවන්වල ප්‍රතිඵල ලැබෙන කොට අපේ ජීවිතවල සිද්ධ වෙන්නෙත් අයහපත් දේ. ඒවා සමහරවිට පෙර භවයන්වල කරපු පාප කර්මයන්ගේ විපාක හැටියටත් අපේ ජීවිතවලට බලපානවා.

පදීපදානං පාදාසිං - පරිවාරෙත්වාන බෝධියං
සද්දහන්තෝ පදීපානි - අකරිං තාවදේ අහං
යං යං සෝ නූපපජ්ජාමි - දේවදත්තං අථ මානුසං
ආකාසේ උක්කං ධාරෙන්ති - දීපදාදස්සිදං ඵලං
තිරොකුඩ්ඩං තිරෝ සේලං - සමතිග්ගය්හ පබ්බතං
සමන්තා යෝජන සතං - දස්සනං අනුභෝමහං

මම බෝධින් වහන්සේ වටා ප්‍රදීප දානයක් දුන්නෙමි. ඒ මොහොතේ මම ධර්මය ගැන විශ්වාසය ඇතිව පහන් දැල්වූයෙමි.

එතැන් පටන් මම දෙව්ලොව හෝ මිනිස් ලොව යම් තැනක ඉපදුණේ ද මට අහසෙහි ගිනිසිලු දරයි. මේ ප්‍රදීප දානයේ අනුසස් ය.

බිත්තිවලින් එහා, කඳුවලින් එහා, පර්වතයන් ඉක්මවා හාත්පස යොදුන් සියයක් දුර දකිමි.

අප ගෞතම සම්බුදු සසුනෙහි පැවිදි ව රහත් වූ පඤ්ච දීපක නම් රහතන් වහන්සේ නමක් වැඩ සිටියා. අපදාන පාලියෙහි එන උන්වහන්සේගේ පූර්ව චරිතාවර්ජනය සම්බන්ධ ගාථා කීපයක් සහ එහි අර්ථයයි ඉහතින් දක්වනු ලැබූවේ.

‘බෝධීන් වහන්සේ’ බෞද්ධ සිව්වනක් පිරිසගේ ම හදවත තුළ කිඳාබැස ඇති නාමයක්. ඒ නාමය සිහිපත්වන සෑම විටෙක ම අපමණ බුද්ධාලම්භන ප්‍රීතියක්, ශ්‍රද්ධාවක්, භක්තියක් අපගේ හදවතෙන් පැන නඟිනවා. බෝධීන් වහන්සේ අපට මෙතරම් සමීප වූයේ ඇයි?

බෝධීන් වහන්සේ පූජනීය වෘක්ෂයක් ලෙස සලකන ලද්දේ ප්‍රාග් ඓතිහාසික යුගවල පටන් ම යි.

බෝධි යන වචනයේ අර්ථය නිවැරැදි වූ ද, පැහැදිලි වූ ද, සම්පූර්ණ වූ ද දැනීම යන්නයි. එසේත් නැතිනම් අවබෝධය යි. දැකීම යි. මෙහි දැනීම, අවබෝධය, දැකීම යනුවෙන් අදහස් වන්නේ ඥාන දර්ශනය යි. ඒ අනුව බෝධි යන වචනයෙන් අදහස් කරන්නේ ලෝකෝත්තර මාර්ග ඥානය හා සර්වඥතා ඤාණයයි.

ලොව්තුරා බුදු බව පතන උත්තම බෝධිසත්වයන් වහන්සේට, සම්මා සම්බුද්ධත්වයට පත්වීම සඳහා විශේෂ ස්ථානයක් මේ මිහිමඬල තුළ පවතිනවා. ඒ, දඹදිව මධ්‍ය දේශයේ පිහිටි බෝධි මණ්ඩලය යි. සියලුම බෝධිසත්වයන් වහන්සේ බුදුබව ලබන්නේ යම් කිසි වෘක්ෂයක් මුල දී යි. සිද්ධාර්ථ බෝධිසත්වයන් මවු කුසින් බිහි වූ දිනයේ ම ඉහත කී ජය භූමියෙහි ඇසටු ගසක් පැන නැඟුණා. ඒ ඇසටු ගස පැන නැඟුණේ උන්වහන්සේට ලොව්තුරා බුදු වීම සඳහා ආධාර වීම පිණිසයි.

සම්බුදුරජාණන් වහන්සේගේ පරිනිර්වාණයෙන් අවුරුදු දෙසිය තිස් හතක් ගෙවී ගියා. එකල්හි ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව රැගත් සංඝමිත්තා මෙහෙණින් වහන්සේ ප්‍රධාන පිරිස ශ්‍රී ලංකාවට සැපත් වූවා. ලංකා ධරණී තලයෙහි පිහිටි බෝධීන් වහන්සේ සතියක් නොපෙනී තිබුණා. සත්වන දිනයේ බෝධීන් වහන්සේ දෘශ්‍යමාන වූවා. ඒ මොහොතේ දෙවන පෑතිස් රජතුමා ප්‍රධාන පිරිස විසින් මහත් ශ්‍රද්ධාවෙන් නමස්කාර පූර්වක ව හිස් මුදුනින් බෝධීන් වහන්සේ පිළිගනු ලැබුවා. බෝධීන් වහන්සේගේ මහා අතු පසෙහි වූ ඵල පසින් ඵලයකින් පැළ අටක් බැගින් පැන නැඟුණා. ඒ බෝධි අංකුරයන් ශ්‍රී ලංකා ද්වීපයේ ස්ථාන හතළිහක රෝපණය කරවූවා. මෙම බෝධි රෝපණය ශ්‍රී ලාංකීය ඉතිහාසයේ චින්තන විප්ලවයකට මඟ පාදා දුන්නා. එම චින්තන විප්ලවයෙන් බෝධි සංස්කෘතිය ඇරඹුණා. ඒ කියන්නේ බෞද්ධ සංස්කෘතිය. ඒ කාලයේ ලංකාව පුරා විවිධ ඇදහිලි ක්‍රම ව්‍යාප්ත වී තිබුණා. ඒ ඇදහිලි ක්‍රම යටපත් වූයේ බෝධි සංස්කෘතියත් සමඟයි. බොදු ජනතාව බෝ සෙවණෙහි පහස විඳීමින් තෙරුවන් ගුණ සිහි කරන්නට වූවා.

බෝධි වන්දනාවට හුරු පුරුදු වූ ශ්‍රී ලාංකික ජනතාව බෝධීන් වහන්සේගේ සෙවණ යට අප්‍රමාණ සැනසීමක් ලැබුවා. බුදුරජාණන් වහන්සේ සය අවුරුද්දක් අත්ථකිලමතානු යෝගයෙහි යෙදෙමින් දුෂ්කර ක්‍රියා කළ අයුරු සිහිපත් කරමින් තම ජීවිතවල ඇති දුෂ්කරතාවයන් එපමණ නැතැයි සිහිපත් කරමිනුයි ඔවුන් දුක් කරදර හමුවේ සිතට ශක්තිය ලබා ගත්තේ. තමන්ගේ දුක් කරදර බෝ සමිඳුන් ඉදිරියෙහි කියමිනුයි ඔවුන් සිතේ බර නිදහස් කර ගත්තේ. තෙරුවන් ගුණ සිහිපත් කරමින් ජීවිතයට ආශිර්වාද පැතු ජනතාව ලෙඩ දුක්, අපල උපද්‍රවයන්හි දී ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් තරම් පිහිටක් වෙන කිසිදු තැනකදී නොලැබෙන බව කල්පනා කළා. ප්‍රදීපයෙන්, සුවඳ දුමින්, ගිලන් පසින්, සුවඳ පැනින්, කිරි අහරින්, සුවඳ මලින්, බෝධින් වහන්සේට පුද පූජා කළා. වර්තමානයේ ද එසේමයි. එ පමණක් නොවෙයි. අපේ පැරැන්නෝ බෝධීන් වහන්සේ ආරක්ෂා කළේ තම දිවිහිමියෙනුයි. අනතුරුවලදී සහ ස්වභාවික ආපදාවන්වලදී බෝධීන් වහන්සේ සුරැකීම ඔවුන් තම පරම යුතුකමක් සේ සැලකුවා.

බෝධි වෘක්ෂයන්හි සම්බුදුවරයන් වහන්සේට අවබෝධය ලැබීමට උපකාර වන ශක්තියක්, අනුහසක්පවතිනවා. මහ බෝසත්වරු බුද්ධත්වය ලැබීම සඳහා බෝධි මූලයන්ට එළඹෙන්නේ ඒ නිසාමයි. ලොව්තුරා බුදුරජාණන් වහන්සේ බුදු වූ විගස ආසනයෙන් නොනැඟිට සතියක් ම බෝධියට පිට දී එතැන වැඩ සිටියා. තථාගතයන් වහන්සේ විසින් එසේ පරිභෝග කරනු ලැබීම නිසා ද බෝධීන් වහන්සේ පූජනීය වනවා. බුදුන් වහන්සේ විසින් ම අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් කරනු ලැබූ නිසා ද පූජනීය වනවා.

“බුදුවරුන් ඇති කල්හිත් නැති කල්හිත් බුදුවරුන් පරිභෝග කළ මහා බෝධිය චෛත්‍යය වන්නේ යැයි” දේශනා කළ, බුදුරජාණන් වහන්සේ තමන් වහන්සේ වෙනුවට සැදැහැවතුන්ට වන්දනාමාන කිරීම සඳහා ජේතවනාරාමයෙහි ආනන්ද බෝධිය රෝපණය කරවූවා.

මෙසේ පාරිශුද්ධ වූ බෝධීන් වහන්සේ උදෙසා කරනු ලබන සත්කාරයන්හි විපාකය අපමණයි.

නාගසේන තෙරුන් වහන්සේට මිළිඳු රජු පැරදවීමට සමත් මහා නුවණක් ලැබුණේ ඇමදීමේ කුසලයෙනුයි. විපස්සී නම් බුදුරදුන් කාලයේ බෝධීන් වහන්සේ දැක සිත පහදා ඇමදීම සහ සැදැහැ සිතින් කළ වන්දනාව නිසා සකිං සම්මජ්ජ නම් තෙරුන් වහන්සේ කල්ප අනූවකට පෙර කළ පින නිසා දුගතියකට නොවැටුණු බව සඳහන් වෙනවා. උප උපන් ජාතීන්හි සමෙහි රෝග නොවූ බව ද සඳහන් වනවා. අපදානපාලියෙහි මෙබඳු චරිත කථා බොහෝ තිබෙනවා. මුලින් ම දැක්වූයේ ද එබදු කතාවක්.

බෝධි රෝපණය කළ අසන නම් රහතන් වහන්සේගේ අපදානයක් ද වෙයි. තිස්ස නම් බුදුරජාණන් වහන්සේගේ කාලයේ සත් හැවිරිදි වයස් ඇති ව සිටි උන්වහන්සේ සතුටු සිතින් බෝධියක් රෝපණය කළා. අසන නම් වූ එම බෝධීන් වහන්සේට වර්ෂ පහක් උපස්ථාන කළා. ඒ පිළිබඳ ඇසූ තිස්ස බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළේ මෙ තෙම කල්ප තිහක් දෙව්ලොව රාජ්‍යය කරන බවයි. හැට හතර වාරයක් සක්විති රජ වන බවයි. මිනිස් ලොව ඉපිද ගෞතම සම්බුදු රජාණන් වහන්සේගේ කාලයේ දී රහත් බව ලබන බවයි.

ඉහත කෙටියෙන් සඳහන් කරන ලද්දේ බෝධීන් වහන්සේට ශ්‍රද්ධාවෙන් පුද සත්කාර කොට කුසලානිසංස ලැබූ උතුමන් පිළිබඳව යි. සියලු වෘක්ෂයන්ට උසස් වෘක්ෂය වන බැවින් මහා බෝධි නම් වූ ලොව්තුරා සම්මා සම්බුදුරජාණන් වහන්සේ විසින්, සෝවාන් සකදාගාමී අනාගාමී අරිහත් උතුමන් විසින්, දිව්‍ය බ්‍රහ්ම ආදීන් විසින් රාජරාජ මහාමාත්‍ය ආදීන් වැඳුම් පිදුම් කරනු ලැබූ, වැඳුම් පිදුම් කරනු ලබන ජය ශ්‍රී මහා බෝධි රාජයාණන් වහන්සේ පින් කැමති සෑම දෙනෙකු විසින් ම මහත්, ශ්‍රද්ධාවෙන් පුද සත්කාර වන්දනාමාන කළ යුතු බව කල්පනා කළ යුතු වනවා.

නිවැරැදි ව බෝධි පූජාවන් සිදු කරන්නේ කෙසේ දැයි? විමසා බැලීම ද ඉතාම වැදගත්. වර්තමානයේ නොයෙක් දෙනා නොයෙක් අයුරින් බෝධි පූජා පින්කම් සිදු කරනු දකින්නට ලැබෙනවා. කොයි ආකාරයෙන් සිදු කළත් සිදුවන්නේ පූජා ක්‍රම දෙකකටයි. ඒ වස්තු පූජාව සහ ස්තූති පූජාව වශයෙනුයි. පූජාව ද දානමය කුසලයට අයත් පින්කමක්. ලබන තැනැත්තාගේ හෙවත් ප්‍රතිග්‍රාහකයාගේ ගුණ සලකාගෙන ගෞරවාදරයෙන් දීම පූජාව වශයෙන් සැලකෙනවා.

බෝධි පූජාවක දී මල්, පහන්, සුවඳ දුම්, ගිලන්පස, දැහැත්, බෙහෙත්, කිරි ආහාර, ආදී වශයෙන් වස්තු පූජාවන් සිදු කරන අතර, ගුණ කීම් ආදී වශයෙන් ස්තූති පූජාවන් සිදු කරනු ලබනවා. මෙසේ කරනු ලබන පූජාවක දී ඉතා ම වැදගත් වන්නේ බාහිර සහ අභ්‍යන්තර පිරිසිදු බවයි. පළමුවෙන් ම අපි බාහිර පිරිසුදු බව ගැන සලකා බලමු. පූජාව සිදු කරන විට ශාරීරික වශයෙන් පිරිසිදු වී සිටිය යුතු යි. බාහිර පිරිසිදු බව ශරීරයට පමණක් සීමා වන්නේ නෑ. පූජාව සිදු කරන ස්ථානය ද පිරිසිදු විය යුතුයි. වර්තමානයේ බොහෝ බෞද්ධයන් සිදු කරන්නේ වටපිටාව අතුගා සුද්ධ පවිත්‍ර නොකොට තමන් ගෙනෙන දේවලින් වටපිටාව අපිරිසිදු කොට යෑමයි. එසේ නොකොට පුළුවන් ශක්ති ප්‍රමාණයෙන් පරිසරය පිරිසිදු කළ යුතු වෙනවා.

පහන් දල්වන කොට බෝධීන් වහන්සේට ඉතා ම ළඟින් පහන් දැල්වීම නොකළ යුතු යි. මොකද එය බෝධීන් වහන්සේට කරන හානියක්. ඒ වගේ ම අපි දල්වන පහන් සහ පහන් වැට පිරිසිදු කොට පහන් දල්වන්නේ නම් ඉතාම යහපත්. මල් පූජාව ගෞරව දැක්වීම සඳහා අතීතයේ සිට ම කරන උතුම් පූජාවක්. මල් නෙළීමේ සිට ම ඒ ගැන සැලකිලිමත් විය යුතුයි. ගසකින් මලක් නෙළා ගන්නා විට මල් ගසට හානියක් නොවෙන්නට එය කළ යුතු වනවා. ඒ වගේ ම නෙළා ගන්නා මල් ඉතාමත් අලංකාර ව ඇසට ප්‍රියමනාප වෙන අන්දමින් සකසා පූජා කළ යුතුයි. පූජා කරන ලද මල් අපවිත්‍ර වන ආකාරයට තැන් තැන්වල දැමීමත්, මල් ආසන වල ඒ අයුරින් ම පරවෙන්නට තැබීමත්, පරමල් උඩ ම අලුත් මල් තබා පිදීමත් නුසුදුසු යි. ඒ අයුරින් අනෙක් පූජා ද්‍රව්‍යයන් ද සකස් කර ගැනීමේ දී පිරිසුදු භාවයත්, ප්‍රියමනාප භාවයත් පිළිබඳ සැලකිලිමත් විය යුතු වනවා. සිදුකරන පූජාව කොතරම් විශාල වුවත්, කොතරම් කුඩා වුවත් ඉහත කී කාරණා පිළිබඳ සැලකිලිමත් වෙමින් කරන්නේ නම්, තමාගේ සිත ද සතුටු වෙනවා. දෙවි මිනිසුන් ද සතුටු වනවා. මීළඟට අප විසින් සිදු කරන පූජාව නම් ස්තූති පූජාව හෙවත් ගුණ කීමයි. මෙහිදී විශේෂයෙන් සැලකිලිමත් විය යුතු කාරණාවන් කීපයක් තිබෙනවා. වර්තමාන කාලයේ බෝධි පූජා ගාථා, කවි අතර මල් පහන් පූජා කරන ගාථා කවි, තෙරුවන් වන්දනා කරන ගාථා සහ කවි, බෝධීන් වහන්සේගේ ගුණ ගායනා කරමින් වන්දනා කරන කවි සහ ගාථා, නොයෙක් ප්‍රාර්ථනාවන් සිදු කරමින් ගායනා කරනු ලබන කවි සහ ගාථා ආදිය බොහෝ පොත්පත් වල දැකිය හැකි වනවා. නොයෙක් දෙනා නොයෙක් අරමුණු ඇති ව බෝධි පූජා සිදු කරනවා.

එම අරමුණු අතර බොහෝ අරමුණු ලෞකික ප්‍රාර්ථනාවන්. බෝධි පූජාවන් තැබූ පසු ඒවා ඉෂ්ට වෙන බව අපි හැමදෙනා ගේ ම විශ්වාසය යි. එසේ ඉෂ්ට වන්නේ නම් ඒ කුමක් නිසා දැයි විමසා බැලිය යුතුයි.

කරදර බාධක ජීවිතේට එනකොට අපි කියනවා ඒක අපල කාලයක් කියලා. අප විසින් කරන ලද අයහපත් ක්‍රියාවන්වල ප්‍රතිඵල ලැබෙන කොට අපේ ජීවිතවල සිද්ධ වෙන්නෙත් අයහපත් දේ. ඒවා සමහරවිට පෙර භවයන්වල කරපු පාප කර්මයන්ගේ විපාක හැටියටත් අපේ ජීවිතවලට බලපානවා. එහෙම අවස්ථාවන්වල සිත පිරිසුදු කර ගෙන යහපත් පුණ්‍ය කර්මයන් කළා ම පාප ශක්තිය යටපත් වෙලා, පුණ්‍ය ශක්තීන් මතු වෙලා අපේ අරමුණු ප්‍රාර්ථනාවන් ඉෂ්ට සිද්ධ වෙනවා. එහෙම කල්පනා කරන කොට ඔබ විසින් සිදු කළ පුණ්‍ය කර්මය, තෙරුවන්ගේ ගුණ මෙනෙහි කිරීම, ගුණ ගායනා කිරීම පූජාවන් සිද්ධ කිරීම වැනි ක්‍රියාවන් හේතු කොටගෙන ජීවිතයට යහපත් දෙයක් සිදු වුණා නම්, අනවශ්‍ය ප්‍රාර්ථනාවන් ඉවත් කරලා එකඟ කරගත්තු හිතකින් තෙරුවන් ගුණ පිළිබඳ සිහි කළොත්, ශ්‍රද්ධාවෙන් පිරිසුදුව පූජාවන් සිද්ධ කළොත් කොපමණ ආනිසංසයක් ලබන්නට පුලුවන් ද?

ඒ නිසා නිවැරැදි ව බෝධි පූජාවක් සිද්ධ කරනවා නම්, වඩාත් හොඳ ආශිර්වාදයක්, පුණ්‍ය ශක්තියක් ලබා ගන්නවා නම් කලින් කියපු විදිහට බාහිර පරිසරය පිරිසිදු කර ගෙන හිත එකඟ කර ගෙන බෝධිරාජයාණන් වහන්සේගේ වටිනාකම සිහිපත් කරලා තමන් සූදානම් කර ගත්තු පූජා වස්තූන් කටින් නිකන් ම වචන විදියට විතරක් කියන්නේ නැතුව මුළු හිතින් ම පූජා කරමි පූජා වේවා කියන අදහසින් පූජා කළ යුතුයි. තෙරුවන් ගුණ සජ්ඣායනය පමණක් නො කර දන්නා පමණින් ගුණ සිහිපත් කළ යුතුයි. මහත් ශ්‍රද්ධාවෙන් ත්‍රිවිධ චෛත්‍යයන් සිහිපත් කරමින් වන්දනා කළ යුතුයි. පිරිත් ආදිය කියා මෛත්‍රී භාවනාව ආදී යම් භාවනාවක් වැඩිය යුතුයි. මේ අයුරින් සිදු කිරීමේ දී මහත් පුණ්‍ය ශක්තියක් ඒකරාශී වෙනවා. ඒ තුළින් ඉබේ ම තමන්ගේ අපල උපද්‍රව ආදිය දුරු වෙනවා. අමුතුවෙන් ප්‍රාර්ථනා කළ යුතු වන්නේ නැහැ. ඒ නිසා අනෙක් අය කරන්නන් වාලේ පූජාවන් නො කොට පිනක් කර ගන්නට, පුණ්‍ය ශක්තියක් ඒකරාශී කර ගන්නට පුලුවන් වෙන ආකාරයට බෝධි පූජාවන් සිදු කරන්නට හැම දෙනා ම කල්පනා කළ යුතු යි. එවිට ඔබගේ ජීවිතයට යහපතක් සිදු වේවි. සංසාරේ කෙටි කර ගන්නට හැකි කුසල ශක්තියක් වේවි.